තෙල් නිධියක මිනීමැරුම් සොයා යන Killers of the Flower Moon
ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ සිනමාකරුවෙකු වන Martin Scorseseගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම චිත්‍රපටය, Killers of the Flower Moon මේ වසරේ අග භාගයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැනි අතිශය දැවැන්ත පිරිවැයක් යොදා නිෂ්පාදනය වන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ Leonardo DiCaprio සමඟින් Jesse Plemonsයි.
Dune, A Star is Born, Forrest Gump වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රැසක තිර පිටපත් රචනා කළ එරික් රොත් විසිනුයි මෙම චිත්‍රපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ. නමුත් මෙය ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවෙයි. ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ඩේවිඩ් ග්‍රෑන් විසින් රචනා කළ ප්‍රබන්ධ නවකතාවක් ඇසුරෙනුයි. Killers of the Flower Moon චිත්‍රපටය නිර්මාණය වන්නේ.
ඔහු විසින් රචනා කළ “Killers of the Flower Moon: The Osage Murders and the Birth of the FBI” නැමැති රහස් පරීක්ෂක නවකතාව මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
තවත් සුවිශේෂීත්වයක් වන්නේ මෙය Martin Scorsese සහ Leonardo DiCaprio සුසංයෝගයෙන් නිර්මාණය වන හයවන සිනමාපටය වීමයි. මාටින් ස්කොසෙසි මීට පෙර අධ්‍යක්ෂණය කළ Gangs of New York (2002), The Aviator (2004), The Departed (2006), Shutter Island (2010) සහ The Wolf of Wall Street (2013) යන චිත්‍රපට පහේම ප්‍රධාන චරිත නිරූපණය කළේ ලියනාඩෝ ඩිකැප්රියෝයි.
එසේම එම චිත්‍රපට පහම සාර්ථක බොක්ස් – ඔෆිස් ආදායම් වාර්තා කළ අතර Golden Globes ඇතුළු ජාත්‍යන්තර සිනමා සම්මාන ගණනාවක්ම දිනා ගත්තා. ඒ නිසාම මාටින් ස්කොසෙසි සහ ලියනාඩෝ ඩිකැප්රියෝ එකතුවෙන් නිර්මාණය වන මෙම 06වන චිත්‍රපටය ගැනත් ලෝ පුරා සිනමා රසිකයින්ගේ දැඩි අවධානයක් සහ උනන්දුවක් දැකගන්නට පුලුවන්.
Killers of the Flower Moon චිත්‍රපටයට පාදක වන්නේ ඝාතන දාමයක සුලමුල සොයාගන්නට උත්සාහ දරන FBI රහස් පරීක්ෂකයින් පිරිසකගේ කතාවකුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ Osage Nation නැමැති පාරම්පරික ගෝත්රවැසියන් පිරිසක් ජීවත් වන ප්‍රදේශයක සිදුවන මෙම මිනිමැරීම් දාමය පසුපස සොයා යන FBI පරීක්ෂකයින් එහි සුලමුල විසඳාගන්නා ආකාරය වටායි මෙම චිත්‍රපටයට ගෙතෙන්නේ. මෙම ඝාතන රැල්ල ආරම්භ වන්නේ එම මිනිසුන් ජීවත් වන ප්‍රදේශයෙන් තෙල් හමුවීමත් සමඟයි.
ලියනාඩෝ සහ ජෙසීට අමතරව Robert Di Niro, Lily Gladsone, Tantoo Cardinal, John Lithgow වැනි වර්තමාන සිනමාවේ දැවැන්ත නිසමා පෞරුෂ ගණනාවක්ම Killers of the Flower Moon චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මාටින් ස්කොසෙසිගේ චිත්‍රපටයකට Robert De Niro එක් වන එකොළොස්වන අවස්ථාව වන්නේ මෙයයි. පසුගිය ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත් Brendon Fraserත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එක්වනවා.
චිත්‍රපටය නිෂ්පාදන කරන්නේ ද අධ්‍යක්ෂක මාටින් ස්කොසෙසි සහ රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ නිෂ්පාදන ආයතනවල එකතුවෙනුයි. මෙතෙක් ඔක්ලහෝමා ප්‍රදේශයේ රූපගත කෙරුනු දැවැන්ත චිත්‍රපටය ලෙස හැඳින්වෙන්නේත් ඩොලර් මිලියන 200ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන මෙම Killers of the Flower Moon නිර්මාණයයි.
එළඹෙන මැයි 20වනදා පැවැත්වීමට නියමිතව තිබෙන 76වන Cannes Film Festival හිදී මෙහි පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය සිදු කිරීමට නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන අතර ඉන්පසුව ඔක්තෝබර් 06 වනදා තෝරාගත් සිනමා ශාලා කිහිපයකදී පමණක් තවත් විශේෂ දර්ශනවාරයක් පැවැත්වීමට නියමිතයි.
ලෝ පුරා සිටින සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට සිනමාපටය නැරඹීමට ලැබෙන්නේ ඔක්තෝබර් මස 20 වනදා සිටයි.
Killers of the Flower Moon සිනමාපටය වසර 07කටත් වැඩි කාලයක් තිස්සේ නිෂ්පාදන කටයුතු සිදු කෙරුනු සහ, සෙසු චිත්‍රපටවලට සාපේක්ෂව දීර්ඝ කාලයක් පුරාවට රූපගත කළ නිර්මාණයක්. මෙහි පළමු නිල නිවේදනය නිකුත් කළේ 2016 තරම් ඈතකදීයි. ඩේවිඩ් ග්රෑන්ගේ Killers of the Flower Moon ග්‍රන්ථය ආශ්රයෙන් සෑදෙන චිත්‍රපටයක් සඳහා අවසරය ලබා ගත් බවත්, ඒ සඳහා Leonardo DiCapro | Robert De Niro | Martin Scorsese නිල වශයෙන් ගිවිසුම්ගත වූ බවත් 2017 වසරේදී නැවතත් මාධ්‍යයට අණාවරණය වුනා.
2018 වසර මුල භාගයේදී රූපගත කිරීම් ඇරඹීමට තිබුනත්, මාටින් ස්කොසෙසිගේ The Irishman නැමැති සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අවසන් කිරීමට යෙදී තිබුනු නිසා 2018 ඔක්තෝබර් වෙනතෙක් යළිත් මෙහි රූපගත කිරීම් කල්ගියා.
ඉන්පසුව 2019 වසර මුල භාගයේ සිට නැවතත් රූගත කිරීම් ඇරඹුනු අතර 2020 වසර අග වනවිට චිත්‍රපටයේ දර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කිරීමටයි ඔවුන්ගේ සැලසුම වී තිබුනේ. නමුත් ගෝලීයව ව්‍යාප්ත වූ කෝවිඩ් වසංගතයේ බලපෑම මත රූගත කිරීම් නැවතත් postponed වූ අතර එහි වැඩ කටයුතු යළි ඇරඹුනේ 2021 පෙබරවාරි මාසයේදීයි.
Martin Scorseseගේ චිත්‍රපට බොහෝමයක සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන Robbie Robertson මෙම සිනමාපටය සඳහාත් එක්ව තිබෙන අතර මෙහි සංස්කරණ ශිල්පියා වන්නේ Rodrigo Pietoයි. ස්කොසෙසිගේ The Wolf of Wall Street සහ The Irishman චිත්‍රපට ද්විත්වය සඳහාත් ඔහු මීට පෙර සංස්කරණයෙන් සම්බන්ධ වුනා. වාර්තා වන අන්දමට මෙම Killers of the Flower Moon සිනමාපටයේ සම්පූර්ණ ධාවන කාලය පැය 04කටත් වැඩි විය හැකියි.
එසේ වුවහොත්, ස්කොසෙසිගේ චිත්‍රපට අතුරින් වැඩිම ධාවන කාලයත් සහිත චිත්‍රපටය බවට මෙය පත් වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ පැය තුන හමාරක ධාවන කාලයක් තිබූ The Irishman චිත්‍රපටයයි.
Written by Kavinu Weerakkody