දරුවන්ගේ ලෝකයට අලුත් වැස්සක් අවැසිය

Avatar Nisanka Weheraduwa | March 11, 2020 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

තිරගතවීම් අවසන්වූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ, “විෂම භාග” චිත්‍රපටය පිලිබඳ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ සීතා රංජනී ඇගේ Facebook පිටුවේ ලියූ සටහනක්.

වහින්න වැස්සක් වහින්න!  අලුත් වැස්සක්!
දරුවන්ගේ ලෝකයට අලුත් වැස්සක් අවශ්‍ය වී තිබේ. අලුත් දැක්මක් අවශ්‍ය වී තිබේ. ගුරුවරයා කඩපාඩම් කරන අධ්‍යාපන ක්‍රමය තුළ, එයට අසමත් දරුවාට විඳින්නට සිදුවන ගැහැට අපමණය. දරුවන් කැමැති දේ උගෙනීමට නොව අධ්‍යාපන ක්‍රමය තුළින් අනිවාර්ය කර දෙන විෂයයන් ඉගෙනීමට යෑමෙන් අධ්‍යාපනයද එපා කර ගන්නා දරුවන් අපමණය. අකමැති විෂයයක් කැමැති ආකාරයට පහදා දෙන්නට අසමත් හා තමා වහරණ වචන දරුවා තේරුම් ගත යුතු ම යැයි සිතන ගුරුවරුන් නිසා දරුවන්ගේ අකමැත්ත අකමැත්තම වෙයි. ඉතා සංවේදී ආකාරයෙන් ප්‍රේක්ෂක මනස අවදි කරවන, ලලිත් රත්නායක විසින් ශක්තිමත් පිටපතක් ලියා අධ්‍යක්ෂණය කර ඇති විෂමභාග චිත්‍රපටයේ මූලික තේමාව වී ඇත්තේ කටපාඩම් කර ගත් වචන ටික එක හැන්දකට දමා දරුවන්ට පොවන්නට යන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ පීඩාවයි.

පවුල, පරිසරය, කලාව සම්බන්ධයෙන් සංවේදී දරුවකුත් එවැනි දේ ගැන එතරම් සංවේදී නොවන බව පෙනෙන එකම පවුලේ තවත් දරුවකුත් මේ ගැටලුවට වෙනස් ආකාරයකට මුහුණ දෙන ආකාරය  චිත්‍රපටයේ ගැටලුවේ කේන්ද්‍රය වී ඇත. දරුවන් දෙදෙනා නිවුන් දරුවන් ය. අසල්වැසියන්ට පවා හඳුනා ගැනීමට අපහසු එක හා සමාන පෙනුමක් ඇති නිවුන් දරුවන් ය. විනාඩියකින් හෝ කලින් උපන් බැවින් වැඩිමල් වන දරුවා සංගීතයට ගායනයට ඉතා දක්ෂය. ඉතා කැමැතිය. ඉතා දුර බැහැර ගොස් තමා තරම් විශාල බූලියක් පුරවා ජලාශයකින් පාන්දර හෝ කලුවරේ හෝ ජලය ගෙනැවිත් දී මවට සහාය වෙයි. සීයාට සහාය වෙයි. නිවුන් දෙන්නාගේ අනෙක් භාගය වූ බාලය ඊට වෙනස්ය. ඔහු ගුරුවරයාගේ කටපාඩම් වචන ඔස්සේ ගණිතයට දක්ෂය. අනෙකුත් කිසිදු දෙයක් ගැන අවධානයක් ඇති බව පෙනෙන්නේ නැත. නිවසින් යන විට බලා සිටින සීයාට අයියා මෙන් ‘යන්නම් සීයේ‘ කියන්නේ ද නැත. අයියාට පළමුව පිටත්ව යයි. අයියා මල්ලී පසුපසින් යයි. දුෂ්කර ගම්මානයේ වියළි කෙත් වතු හරහා දිවෙන දිගු බොරලු පාරේ පාසලට ඇවිද යන විට දකින භික්ෂූන්වහන්සේගේ පවා වෙනසක් බාලයට වැටහෙන බවක් නොපෙනේ. වැඩිමලා භික්ෂුව දෙස මොහොතක් නැවතී බලා සිටී. (මෙම භික්ෂුවකගේ දර්ශනය එක් කිරීම ගැන අදාලත්වයක් එතරම් නොදැනේ.)

නිවුන් දරුවන් දෙදෙනෙකු වුවත් එක් දරුවෙකුගේ හැකියාවන් වෙනස්ය. අනෙකාගේ හැකියාවන් ඔහුට වෙනස්ය. නිවුන් දරුවන් දෙදෙනෙකු වුවත් හැකියාවන් විෂමය. සියලු දරුවෝ හැකියාවෙන් සමාන නොවෙති. දරුවන්ගේ දක්ෂතා විවිධය. කැමැත්ත විවිධය. එහෙත් ගණිතය ගුරුවරයාගේ කැමැත්ත දරුවන්ට ගණිතය පෙවීමය. එය එසේද නොවේ. ගණිතයට අසමත් දරුවා සමත් කිරීමේ උත්සාහයක් සම්බන්ධ විකල්පයක් ද නැත. ඔහුගේ විෂයයට පරිබාහිර විෂයයක් වූ සංගීතයට ඉතා දක්ෂ බව පෙන්නුම් කර ඇති දරුවා සම්බන්ධයෙන් වූ නොරිස්සුම වඩා ප්‍රබලය. එය ඔහුට මදිකමක් සේ සලකන බවක් පෙනේ. පන්තියේ තවත් ගණිතයට දුර්වල දරුවන් සිටිය හැකි වුවත් ඔහුගේ විෂයය නොවන සංගීතයට සමත් දරුවා ඔහුගේ කෝපයේ ඉලක්කය වන්නේ එනිසාය. සංගීත ගුරුවරිය පවා එයට ගොදුරු වේ. අවසානයේ විෂමභාග හදන හැටි ඊළඟ දවසේ බෝඩ් එකේ හදා නොපෙන්නුවොත් දරුවා හතරේ පන්තියට යවන බවට ගුරුවරයා තර්ජනය කරයි. මේ දරුවන් දෙදෙනාම පස් වෙනි පන්තියේ දරුවන් බව එහිදී ගම්යව වේ. ගැටලුවේ ඇති බරපතලකම පරිපාකයට පත් වන්නේ ගුරුවරයාගේ මේ තර්ජනයෙන් පසුවය.

ගණිතය දක්ෂ මල්ලීගෙන් උදව් ඉල්ලුවද, ඔහුට ඇත්තේ ද තේරුම් කළ හැකි ක්ර්මයක් නොව ගුරුවරයා පුනරුච්චාරනය කළ වචන ම පමණි. සමාන භාගවලදී සීයා පුවක් ගෙඩියක් කපා ගණිතය උගන්වයි. ගුරුවරයාට පොතේ වචන මිස නොතේරෙන දරුවකුට වෙනත් උදාහරණ නැත. මල්ලී අයියාට උදව් කරන්නට උත්සාහ කරන්නේ ලෙහෙසියෙන් කිසිවකුට හඳුනාගත නොහැකි සමාන නිවුන් ස්වරූවය භාවිත කරමිනි. අයියාට පෙර නිවසින් පිටත් වූ මල්ලී පඩි පෙළ අසල සිට අකමැත්තෙන් හා බයෙන් එන අයියාගේ පොත් බෑගය (මල්ලීට වඩා වෙනස් පාටක් ඇති) මාරු කරගෙන අයියා වෙනදා වාඩි වන පසු පෙළ අසුනේ වාඩි වෙයි. අයියා මල්ලීගේ ස්ථානයේ වාඩි වෙයි. ගුරුවරයා පුරුදු පරිදි විෂමභාග පාඩම පටන් ගෙන තමන්ගේ විෂයය නොවන සංගීතයට ලැදි අයියා ගැන කෝපය පිරිමසා ගැනීමට එම අසුන දෙස බලයි. කාට හඳුනාගත නොහැකි වුවත් තමාගේ විෂයයට දුර්වල නමුත් වෙනත් විෂයයකට දක්ෂ දරුවාගේ වෙනස ඔහුට දැනේ. දරුවාට ගුරුවරයාගෙන් ගැලවීමක් නැත. පහේ පන්තියේ සිට හතරේ පන්තියට මාරුවීමේ වේදනාවෙන් පෙළෙන දරුවා අසීරුවෙන් නැගිට කිසිදු අසීරුවකින් තොරව සීයා කියනු අසා සිටි කවියක් කියයි.
‘‘ගලේ වැනුව මල් කාලා නොවේ
කුරුලු පැටියා මළේ
පමා වෙලා වැටුණු වැස්සේ
මල් පිපුණා ගලේ.
නුඹේ අතේ වරද නැතේ කොබෙයි ලියේ
නාඬා ඉඳින් දුක් බොහොමයි සංසාරේ
පුබ්බුරු පුතේ පුබ්බුරුයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද?

පසුපස අසුනේ සිටින මල්ලී අයියා තරම් සංවේදී නොවන බව පෙනුණද එය එසේද නොවේ. අයියාට උදව් කරන්නට ඔහු උත්සාහ ගනී. ඒ වේදනාබර ගායනය සමඟ පන්තියේ අනෙක් දරුවන්ගේ මෙන්ම මල්ලීගේ ද ඇස්වලින් කඳුළු ගලා හැලේ. දරුවන්ගේ හැකියාවන් හා ගතිගුණ විවිධය. විෂමය. ඒවා පෙනෙන ඒවා මෙන්ම එතරම් නොපෙනෙන ඒවාද විය හැකිය. වැදගත් වන්නේ එය තේරුම් ගැනීමයි. මේ දරුවාගේ වේදනාබර ගායනයෙන් ගුරුවරයාගේ ද මුහුණ වෙනස් වේ. විෂමභාග හැදීම පසෙක තබා අලුත් ගණන් පාඩමක් පටන් ගනී. පරිමාව සහ ධාරිතාව ඒ අලුත් පාඩමයි. ගලේ වැනුව මල්වල පරිමාව වෙනස් වුණේ කුරුලු පැටියාගේ වරදින් නොවේ. එයට නොයෙකුත් හේතු තිබිය හැකිය. ගුරුවරයාට එය නොවැටහුණා විය නොහැකිය. එහෙයින්.. ගුරුවරුන් මෙන්ම දෙමාපිය වැඩිහිටියන් විෂමභාග නරඹා ගැටලුව තේරුම් ගතහොත් දරුවන්ගේ ලෝකය වඩාත් ලස්සන කළ හැකි වනු ඇත. කතන්දරයක් ලෙස ගැලපීමට අසීරු හැඟීම් සමුදායක් සහ දැක්මක් සහිත පිටපතේ ශක්තිමත් බව අලංකාරවත්ය. පන්සිළු හා පන්කජ යන නිවුන් දරුවන් දෙදෙනාගේත්, ගණිත ගුරුවරයා වන ජැක්සන් ඇන්තනීගේත් රඟපෑම් චිත්‍රපටයට ප්‍රාණයක් එක්කර තිබිණි.


සටහන : සීතා රංජනී

 

Share

40 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.