දැකල පුරුදු කෙනෙක් එක්ක විවාහ සංස්ථාව අර්බුධයක

Avatar Nisanka Weheraduwa | April 3, 2019 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමාපටය නරඹා පිටව යත්දී එකවන ම මා හිසට නැංගේ පැරණි කෘතියක නමකි. ‘විවාහ සංස්ථාව අර්බුදයක’ යනු එයයි. එහි කතුවරයා අමතකව ගොසිනි. සමහරවිට ජිනදාස දනන්සූරිය වන්නට පුළුවන. මෙරට කලා සංස්කෘතික සමාජයේ කතාබහට ලක් ව තිබුණ ද මේ සිනමාපටය ප‍්‍රසිද්ධ තිරගත කිරීමකට පැමිණියේ මේ නොබෝ දා ය. කිසිදු කොන්දේසියකින් තොරව සිනමාපටයේ තේමාව සමකාලීන විවාහ සංස්ථාවේ අර්බුදය යැ යි කිව හැකි ය. මෙම තේමාව නූතන සමාජ මාධ්‍ය පුපුරාගොස් ඇති යුගයේ වඩාත් මථනයකට හෙවත් කැළඹීමකට ලක්ව තිබෙන්නකි.

‘දැකල පුරුදු කෙනෙක්’ නරඹන සෑම කෙනෙක්ට ම පාහේ නරකයි කිව නොහෙන සිනමාපටයක් වන්නේ කෙසේදැයි සිතමි. නරඹන සෑම ඇසක් ම පාහේ සචිත‍්‍ර හෝ දිනිති හෝ නාඳුනන පෙම්වතා විය හැකියාව විසින් එය සිදු කරන බව අපගේ හැඟීම ය. මේ එල්ලකර ඇත්තේ අප කාගේත් වුව එක්තරා ජීවන මොහොතක විය හැකියාවට ආලෝක කදම්භයකි.

ඒකභාර්යා ව‍්‍රතය පැනනැගුණේ දේපළ සබඳතා නිසාවෙන් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒකභාර්යා ව‍්‍රතය සමපාත වන්නේ අර්ථක‍්‍රමය මත්තේ ය. අද මේ අප දකින පවුල් සංස්ථාව සදාකලික ලෙස පැවත ආවක් ද? න්‍යායධර එංගල්ස් පිරිපහදු කළ ‘පවුල පෞද්ගලික දේපළ සහ රජය ඇති වූ සැටි’ හි තර්කානුකූලව ඓතිහාසිකව සහ විෂයමූලිකව දැක්වෙන පරිදි ඒකභාර්යා ව‍්‍රතය හෙවත් මේ න්‍යෂ්ටික පවුලට ඇත්තේ වසර තුන්දහසක ඉතිහාසයකි. එහි තැනෙක මෙසේ එයි. එය අප සාකච්ඡාව කෙරෙහි ලගන්නාසුළු කරුණකට මග පාදයි.

‘‘ඒකභාර්යා ව්‍රතය නිසා පළමුවරට ආධ්‍යාත්මික දියුණුවක් ඇති විය. එබැවින් අපි ඒකභාර්යා ව්‍රතයට ණයගැති වෙමු. ඒකභාර්යා ව්‍රතය තුළින් හෝ ඊට සමාන්තරව හෝ ඊට විරුද්ධව හෝ ඒ ඒ තත්වයන් අනුව මුළුමහත් ලෝකයම කලින් නොදැන සිටි දෙයක්, එනම් පෞද්ගලික ලිංගික ආලය ඇති විය.’’
(අවධාරණය අපෙනි.)

මේ කෘතිය කියවන්නෙක් සමාන්තරව කියවිය යුතු කෘතියකි, රහුල් සංකෘත්‍යාන ලියූ ‘වොල්ගා සිට ගංගා තෙක්’ නම් කෘතිය. එය මෙකී කරුණු සිත්ගන්නා ඓතිහාසික ප‍්‍රබන්ධයක බහාලයි.

පෞද්ගලික ලිංගික ආලය සේ ම මේ සමගින් පැනනැංගේ ලිංගික මාතසර්්‍යය හෙවත් ලිංගික ඊර්ෂ්‍යාවයි. දේපළ සබඳතාහි ස්වභාවය අනුව පිරිමියාට ‘විශේෂ ජයග‍්‍රහණ’ ලැබී ඇති බව එංගල්ස් ලියුවේ ය. ‘දැකල පුරුදු කෙනෙක්’ හි සචිත‍්‍ර තවදුරටත් භුක්ති විඳිමින් සිටින්නේ ඒ ජයග‍්‍රහණයි.

අර්ථක‍්‍රමය එසේ ම තිබිය දී සංවර්ධනය වී ඇති නිෂ්පාදන බලවේගවල දියුණුව ‘විවාහ සංස්ථාවේ අර්බුදයට’ බලපාන අයුරු මෙවක වඩාත් විද්‍යාමාන ය. කාන්තාව සමාජයට නිරාවරණය වීම, දුරකතන සබඳතා, සමාජ මාධ්‍ය දියුණුවේ පුපුරායෑම් වැනි වැළකිය නොහෙන දියුණුවීම් විසින් අර්බුදය වඩාත් උග‍්‍ර කරයි. භගවාන් රාජ් නීෂ් කී ලෙසට ස්වභාවිකත්වය එළියට එමින් තිබේ.

70-80 දශකයේ රසිකයෙකුට මාලිනී ෆොන්සේකාට ‘හායි’ කිව හැක්කේ සිහිනයෙන් වුව ද අද සමනලී ෆොන්සේකාට ඍජුව ‘හායි’ කීමට අවකාශයන් ඇති ව තිබේ. එය සචිත‍්‍රගේ දුබල අගුලෙන් පාලනය කළ හැක්කක් නොවේ. තමන්ගේ සිහිනලෝකවල සිටින තාරකා වෙත පවා ළංවීමට මිනිසුන්ට ඇති ආලෝක වර්ෂ ප‍්‍රමාණය අතිශයින් අඩු වෙමින් තිබේ.

වසර 3000කට පසු යුගයක පවා මේ අර්බුදය ‘විවාහ සංස්ථාව’ රිදවමින් තිබෙයි. දිනිති සංඛ සමග කියා සිටින්නේ තමාට සැබෑ ආදරය හමු වුණු බව ය. ‘හැබැයි ඇත්ත ආදරේ මොකක්ද කියල මගෙන් අහන්න එපා’ කියමින් ඈ ඊට ඌනපූරණයක් එක් කරයි. සැබෑ ආදරයක් සොයාගත නොහැකි බැව් ඊට පිළිතුර සිංහල සිනමාව ඔස්සේ ම ධර්මසිරි බණ්ඩාරනායක දුන්නේ ය. ‘හංසවිලක්’ යනු එයයි.

‘ගෑනුන්ට පුළුවන් දේවල් අමතක කරල හිත හදාගෙන සම්බන්ධයක් ඉස්සරහට ගෙනියන්න. හැබැයි පිරිමින්ට බෑ ඒක කරන්න’ ආදී වශයෙන් නදී කම්මැල්ලවීරගේ දෙබස් හරහා කියැවන්නේ පෙරකී පිරිමියා ලද විශේෂ ජයග‍්‍රහණ මතින් ආ පරාජයයි.

‘දැකලා පුරුදු කෙනෙක්’ කියා සිටින්නේ දේපොළ අහිමි සමාජයකදී විසඳීමට නියමිතව ඇති අර්බුදයක එක්තරා ප‍්‍රකාශනයකි. එය ධනේශ්වරයේ දියුණුව අස්සේ විසඳෙනවා යැ යි සිතීම මුලාවක් බව ඇමරිකාව වැනි රටවල් ඕනෑවට වඩා පෙන්වා දී තිබේ. මෙයට සිනමාත්මක උදාහරණ ‘ඇමරිකන් බියුටි’ නම් සිනමාපටයෙන් ගත හැකි ය. එහි සමස්ත පවුල ම මුහුණ දෙන ලිංගික ආලමය සිදුවීම් වෙත ඔවුන් දක්වන ප‍්‍රතිචාරත් වටඅවට සමාජය දක්වන ප‍්‍රතිචාරත් පරිධියේ රටකට දෙවැනි නොවන බව දකිත හැකි ය.

සිනමාපටය අස්සේ සචිත‍්‍ර වෙත ද සබඳතාවක් පටලවන්නට බූපති සමත් වී නම් අප වඩාත් කැමති ය. මන්දයත් සමකාලීන පිරිමියා ගැහැනියට මෙබඳුව තහංචි දමන්නේ තමන් ද ඒ මත ම සිටිමින් නිසා ය.

දේපළ සබඳතා මතින් පැන නැගි පෞද්ගලික ලිංගික ආලය සහ පෞද්ගලික ලිංගික මාත්සර්්‍යය දේපළ රහිත තත්වයක දී වියැකී යනු ඇත්තේ ද බොහෝ සෙමෙනි. වසර 3000ක අතීතය නිසා එය බොහෝ පමා වනු ඇත. ‘දැකල පුරුදු කෙනෙක්’හි සහ අප හැමදා දැක පුරුදු ඔබ අප මුහුණ දී ඇත්තේ ස්වභාවිකත්වය සහ කතිකාව ඔස්සේ සිරගත කර ඇති වංගගිරියට ය.

එහෙත් අප ඕෂෝ වෙත පසුබසින්නේ නම් සංකීර්ණතා විසඳෙනු කෙසේ වෙතත් යම් සහනයක් ලැබෙනු ඇත. විවාහය, පේ‍්‍රමය සහ දරුවන් ගැන මනබඳන ප‍්‍රකාශයන් ඔහු හමුවේ වෙයි. විවාහය ස්වභාවික නොවන තත්වයකැ යි ඔහු කියා සිටියි.

‘‘අසාර්ථක විවාහයකට හේතුව විවාහය යන සංකල්පය තුළ බලාපොරොත්තු වූ තත්ත්වයට ලඟාවීමට ඔබට නොහැකි වීමයි. ඔබ රාගාධික වූවා, ඔබේ කුඩුකේඩුකම ඉහවහා ගිය තරමයි, ඔබේ තදබල ආශාවන්ට නිමක් තිබුණේ නැහැ, සැබෑ ආදරය ගැන අදහසක් ඔබට කවදාවත් තිබුණේ නැහැ. ආදරයේ නාමයෙන් ඔබ කරන්න උත්සාහ කළ සෑම දෙයක් ම එහි අර්ථයට ඉඳුරා ම වෙනස් දේවල් වුණා. ස්වාමීත්වය, අධිපතිත්වය, බලය!

විවාහය දෙදෙනෙකු ආධිපත්‍ය පතුරවා ගැනීමට සටන් වදින යුධ බිමක් බවට පත් වූවා. ඔව් ඇත්ත! පිරිමියාට තමන්ගේ විදිහක් තිබෙනවා. රළු සහ වඩා ප‍්‍රාථමික හැසිරීමක්. ගැහැනියටත් තමන්ගේ ම විදිහක් තිබෙනවා. මෘදු, වඩා ශිෂ්ටසම්පන්න, යටත්කර ගැනීමේ හැකියාවක් සහිත හැසිරීමක්. නමුදු උද්ගත වූ තත්ත්වයේ වෙනසක් වන්නේ නැහැ. දැන් මනෝ විශ්ලේෂකයින් විවාහය, ලෙන්ගතු දෙදෙනෙකු අතර ඇතිවන එදිරිවාදීකමකට සමාන කරමින් කතා කරනවා. විවාහය විහින් ම එය සත්‍යයක් බව පෙන්වා දී තිබෙනවා. සතුරන් දෙදෙනෙකු එකට ජීවත් වෙමින් එකිනෙකාට ආදරය කරන බව හඟවමින්, එකිනෙකාගේ ආදරය අපේක්ෂාවෙන්, කාලය ගෙවී යනවා. නමුත් කිසිවෙකු ලබාදීමට සූදානම් නැහැ, ඒ කිසිවෙකු සතුව එය නොමැති නිසා.
ඔබ කෙසේ ද ආදරය ලබා දෙන්නේ, ඔබ සතුව එය නොමැති නම්?’’
– භගවාන් ශ‍්‍රී රාජනීෂ් හෙවත් ඕෂෝ දේශනාවකින් උපුටාගත්තකි.

එකවිට ම විචාරකයෙකු ද වෙමින් තිරපිටපත රචනය කිරීමේ අභියෝගය භාරගත් බූපති නලින් කිවයුත්ත අඩුත් නැති වැඩිත් නැති ලෙස කැටි කර කීම ප‍්‍රශංසාවට භාජනය විය යුතු ය.

එදිනෙදා ජීවිතයේ සිදුවීම් පෙළක් ධාවන කාලය පුරා බලා සිටින්නට පොළඹවන ලෙස තිරකතාව ගොඩනැංවීම පහසු නොවේ. වහා නොපෙනෙන ගැටුම් ය. ගැටුම දකින්නට ඇත්තේ රංගනයන්හි ය. සිදුවීම් මතින් ගැටුම් ගොඩනගනවා වෙනුවට මලිත් හෑගොඩ ගැටුම් ගොඩ නගා ඇත්තේ නළු-නිළියන්ගේ මුහුණුවල ය. සමාධි, බිමල්ගේ සිට ආනන්ද කුමාරඋන්නැහේගේ සිට එසේ ය. තකට තක නොපෑහෙන්නේ ත‍්‍රීවිල් චමින්ද සහ කුඩා දියණියගේ රංගනයන් පමණි.

සිනමාපටයේ දෙවැනි අර්ධයෙහි ඇත්තේ ඇදී යන ගතියකි. උත්ප‍්‍රාසකාරී හෝ කූටප‍්‍රාප්තිගත අවසානයක් කිසි විටෙකත් දිය නොහැකි සිනමාපටයක් වන මෙහි අවසානය යොදා ඇති අයුරු ගැලපෙන්නකි. නමුත් ඒ අවසානය අවසන් අර්ධයේ මඳක් තැන් ගිය පසු ගත හැකි ව තිබිය දී කෘත‍්‍රීමව තවත් ඇදගෙන ගියා සේ ය. රූප සහ වර්ණ ද කැමරා භාවිතයද සංගීතය ද ඈ සියල්ල පාහේ අගය කළ හැකි, සමස්තයක් ලෙස හොඳ යැ යි කිවැකි සිනමාපටයකි.

මෙවැනි සිනමාපටයක් ‘ගැප්’ එකක ඔබා ප‍්‍රදර්ශනය කරන්නට සිදුවීම කණගාටුව ඇති කරන්නකි.

සඳුන් ප‍්‍රියංකර විතානගේ

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.