දැවී අළුවී යා නොහී රැකගත යුතු කුසුම්ලාගේ සටන – කුමාරි කුමාරගමගේ

Avatar Nisanka Weheraduwa | October 15, 2018 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

උපුටා ගැනීමකි.
සටහන : කුමාරි කුමාරගමගේ

************************************************************

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳව ලෝකය දැනුවත් වන්නේ 1941 දෙසැම්බර් 07 දාතමින් හිට්ලර් විසින් නිකුත් කරන ලද “Nacht und Nebel Erlass” (the Night and Fog Decree) සමගිනි. ඊට පෙර ස්ටාලින් විසින් කරන ලද රහසිගත සිරබාරයට ගැනීම් කෙරෙහිද හිට්ලර් උද්දාමයට පත්ව සිටි බව සඳහන් වේ. ඉන් පසුව 60 දශකයේ අගභාගයේ ලතින් ඇමෙරිකානු මිලිටරි රාජ්‍යයන් කිහිපයක් විසින් පටන් ගන්නා ලද පුද්ගල අතුරුදහන් කිරීම් 70 දශකය පුරාමත් 80 දශකයේ මුල් භාගය තුලත් ඒ ප්‍රදේශයේ බොහෝ රටවල පොදු ලක්ෂණයක් බවට පැතිර ගිය බව පෙනේ. පසුව ලතින් අමෙරිකාවෙන් එළියට ගමන් කළ මේ කෲරත්වය ඉරාකය, පැරණි යුගෝස්ලෝවියා හා ලංකාව වැනි රටවල් තුල භයානක ලෙස බෝ ව ගියේය. මේ වනවිට ආජෙන්ටිනාව, ගෝතමාලාව, බංගලාදේශය, පකිස්ථානය, සිරියාව පමණක් නොව ඊජිප්තුවද බලහත්කාර අතුරුදහන් කිරීම තම දේශපාලන පසමිතුරන් පොළොවෙන් අතුගා දැමීමට වඩා පහසුම උපක්‍රමය බවට පත්කොට ගෙන ඇති බව පෙනේ. කෙතරම් සාහසික ම්ලේච්ඡ කාර්යයක් වුවද බලයේ සිටින්නන් විසින් එය තමනට අවම හානි සහිත ක්‍රමය බවට සලකන බවක් හැඟේ. අද වනවිට ලෝකයේ අතුරුදන් කිරීම් පිළිබඳ මුල් පෙලේ සිටින රටවල් කිහිපයකින් එකක් ලෙස බුදුන් තෙවරක් වැඩම කළ බව සැලකෙන ලංකාවද පත්ව සිටීම ඛේදයක්මය.
සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් රිදී තිරය හරහා අපට මුණ ගැහෙන්නේ මෙවන් පසුබිමක් තුලය. 1988 – 1989 සමයේ ලාංකික දකුණේ සිදු වූ, ජන ජීවිතය හිරිවැට්ටවූ පුද්ගල අතුරුදන් කිරීම් ප්‍රධාන තේමාව කොට ගත්, සිංහල භාෂාවෙන් කරන ලද මුල්ම චිත්‍රපටය ලෙස දැවෙන විහඟුන් මේ මොහොතේ නැවතත් අපව හිරිවට්ටවමින් සිටියි. විශේෂයෙන්ම, බලහත්කාර අතුරුදන් කිරීමක් මුල් කොට ගැනීමක් පමණක් නොව අතුරුදන් කිරීමේ මානව විරෝධී බව හා බිහිසුණු බව බලවත්ව සනිටුහන් කෙරෙන චිත්‍රපටයක් මේ මොහොතේ පවා අපේ සමාජයට විවෘත කිරීම ලෙහෙසි පහසු කාරියක් නම් වන්නේ නැත.
චිත්‍රපටයක් ලෙසින් දැවෙන විහඟුන් අපේ සම්ප්‍රදායික හා සුපුරුදු කතා කීමේ හා ඇසීමේ පුරුද්ද විනාශ කර දමන්නේ හිත් පිත් නැති ලෙසකට බව සත්‍යයකි. එක් අතකින් එය අපට නැවුම් අත්දැකීමකි. එය මුළු ව්‍යසනයම අප වෙත ගෙන එන්නේ සුදු කැන්වස් මත අඳුරු පැහැයන් තැවරූ චිත්‍ර පෙරහැරක් ලෙස යැයි මට සිතේ. ඒ චිත්‍ර එකිනෙක හා යා වෙන දම්වැල් හෝ නූල් පිලිබඳව ප්‍රේක්ශකයාට තීන්දුවක් ගත හැකිවන්නේ තමාගේ මනෝ භාවයන් හා නිර්මාණ ශක්තීන්ට සාපේක්ෂව විය හැක.
ලෝකය පුරාමත් බොහෝ සේ අතුරුදන් කරනු ලබන්නේ පවුලේ පිරිමියාය. එක්කෝ ගෘහ මූලිකයා හෙවත් පියාය. ඔහු බත සපයන්නාය. එසේ නැතහොත් ගෙදර බලාපොරොත්තුව වන ලොකු පුතාය, බොහෝ විට එකම පුතාය. ඔවුන් මියගියෝ නම් එය මහා වියොවක් වනමුත් සියල්ලන් එක්ව සංවේගය බෙදා ගනිමින් උදව් උපකාර කරමින්, වත් පිළිවෙත් හරහා දුක සමනය කරගැනීමට මාර්ගයන් සොයා ගනී. එය සංස්කෘතික ආගමික කාර්යයක් බවට පත්වේ. ඔහු නිරපරාදේ සිරගතකළා වුවද, එවිටද අවුරුදු ගණනාවක් හෝ බලා සිටිය හැකිය. එහෙත් අතුරුදහන් කිරීම! කෙළවරක් නැති බලා සිටීමකි, කෙළවරක් නොවන රිදුමකි, සමහරවිට වරදකාරී හැඟීමකි, ඒ මදිවාට ලොවම/සමාජයම ඒ පවුලෙන්ම දුරස්ව සිටින්නට උත්සාහ කරන්නේ ඔවුන් භයානක බෝවන රෝගයක් රැගත් වාහකයන් ලෙසය.
ආර්ථිකමයව පමණක් නොව ආදරය, සතුට, ගෞරවය, ආරක්ෂාව යන සියළු දේ සඳහා සම්පූර්ණයෙන්ම පියා මත යැපුන පවුලක එම පියා ඒ පවුලේ සියල්ලන් ඉදිරියේ පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ කලෙක, එම ගැහැණිය/ගැහැණුන් අත්විඳින භංගත්වය තම චිත්‍රපටය හරහා සංජීව උපරිමව අපට දැකගන්නට සලසයි. එය මුළු පවුලේම ජීවිතයේ බිඳ වැටීමක්, බිරිඳට පිරිමි සමාජය තුල අතරමංවීමක්, මහළු මවකට තම ජිවිතයේ හේතුව අහිමි වීමක්, දියණියකට තම අනාගතය හා හීන උදුරා ගැනීමක්, වැනි බොහෝ දේ රැගත් වචනේ පරිසමාප්තියෙන්ම ඛේදවාචකයකි. මේ සියල්ල මධ්‍යයේ සංජීව ගැහැණියගේ නොසැලෙන ධෛර්යය, අධිෂ්ඨානය හා ශක්තිය පිරිමි වූ සමාජයට බලවත් අභියෝගයක්ව ගෙන ඒ.
මහළු මව අයත් පරම්පරාවට තම එකම බලාපොරොත්තුව වූ පුතු අහිමි වීමේ ශෝකය මදිවාට තමාගේ මෙන්ම තම පුතුගේ ගෞරවය අහිමිවීමේ තැවුල තව දුරටත් දරා ගැනීමට නොහැකිය. ඇය ඉතිරි සියල්ලන් අතැර තම ජීවිතය කෙරෙහි තීන්දුවක් ගනී. දියණියගේ පරම්පරාව ඉක්මන් තීරණ ගනී. ඇයට ඇත්තේ එකම කැප කිරීමකි. තම ඉගෙනීම නතර කොට මවගේ ජිවිත සටනට සහය වීමට රැකියාවක් සොයා ගැනීමයි ඒ. විවෘත වෙළෙඳපොළ සමග කොළඹට ආ ඇඟලුම් කර්මාන්තශාලා එවන් දියණියන් තලා පෙලා රුහිරු උරාගන්නට ඕනෑම විටක තම දොර විවර කොට බලා සිටී. ඉතිං කුමට ලතවෙමින් බලා සිටින්නද? ඇයට ඇත්තේ බසයක නැගී කොළඹ ඒම පමණමය. එහෙත් කුසුම්ලා සැබෑ සටන කල යුතුය. ඔවුන් කිසිවක් හෝ කිසිවෙකු අත් හරින්නේ නැත, කැප කිරීම් කිරීමට ඉඩ දෙන්නට කැමැත්තක් ද නැත. ඔවුන් තනිව අවසන් මොහොත දක්වා සටන් කරයි. සන්ධ්‍යාලා, කරුණේ අම්මලා, තංගම්මලා, ෆරීසලා, අමලනායකීලා, දීපලා, බබා නෝනලා සියල්ලෝ කරන්නේ එයය. ඒ සටන ඔවුන්ගේ සමාජ තත්ත්වයන්, පරිසරයන්, සහයට ඉදිරිපත්වන්නන් පමණක් නොව හුදෙකලාව හා දුෂ්කර ප්‍රදේශයක ජීවත්වීම වැනි බොහෝ දේට අනුව බොහෝ විවිධාකාර විය හැක. ඒ තත්ත්වයන් කුමක් වුවද ඔවුනට එය තම මිනීවල දක්වාම කෙරෙන සටනකි. තම කාලය, ශ්‍රමය, හැකි නොහැකි බව, සුදුසු නුසුදුසු බව, ගෞරවය යනාදිය මතු නොව තම ගැහැණුබව, ශරීරය හා ආත්මයමද පුද කොට කරනා සටනක් විය හැක. එසේ නොමැතිව ඔවුන් එතැන් සිට කළ යුතු වන්නේ වෙන කුමක්ද?
ලෝකය පුරාම සිදුවන අතුරුදන් කිරීම් නම් වූ මේ සාපරාධී අපරාධයේ ප්‍රධාන ගොදුර අතුරුදන්වන්නා වුවද පවුලේ සියල්ලන්ද මුළු සමාජයමද එහි ගොදුරු බවට පත්වන බව අප සියල්ලෝ ඉතා හොඳින් දන්නෝ වෙමු. එහෙත් නොදන්නෝ ලෙස ඔහේ සිටින්නෝ වෙමු. (නොදන්නා අයට සංජීව එය ඉතා පැහැදිලිව වටහා දෙයි.) ඒ අතර වැඩිහිටි අප සියල්ලෝ වරදකාරයා/කාරයන් කෙරෙහි ලෙහෙසියෙන්ම ඇඟිලි දිගු කරමින් සිටිමු. (බොහෝ විට ඒ ද හොර රහසේය). කිසිවකු කෙරෙහි එක් ඇඟිල්ලක් දිගු කරද්දී ඉතිරි ඇඟිලි තුනක්ම අප වෙතම දිගු කරගන්නට සිදුවනවා නොවේදැයි දැවෙන විහඟුන් අපට සිහි කරනා මෙනැයි මට හැඟේ.
මට සිහිවන්නේ ‘සැබෑ නාමයන්ගෙන් මා අමතන්න‘ (Please call me by my true names) ලෙස ලියවුනු තිච් නාහ් හන් හාමුදුරුවන්ගේ කවි පන්තියකි. මේ එහි කොටසක සිංහල අනුවාදනයයි.
උගන්ඩාවේ දරුවෙක්මි මා
මස් කළඳක් නොමැති
හම හා ඇට පමණි
උණ බම්බු දෙකක් මෙන් වූ
දෙකකුල් සහිත වෙමි…..
උගන්ඩාවට මරණීය අවි විකුණනා
තර වූ
ආයුධ වෙළෙන්දා
මම ම වෙමි!
දේශපාලන කාරක සභාවේ සභිකයෙක් වෙමි මා
ඇති තරම් බලය අතැති වෙමි
බලහත්කාර වූ ශ්‍රම කඳවුරෙහි කඹුරමින්
ජනතාවට මාගේ රුධිරයෙහි ණය ගෙවමින්
දිවියම වහල් බවෙහි ගිලී ඒ මිනිසා
මමම වෙමි.
මාගේ සතුට වසත් සමය මෙනි
උණුසුමට දස අතම මල් පිපෙයි
මාගේ ශෝකය කදුළු පිරි ගංගාවක් සේය
දෙගොඩ තලා ගලමින්
පුරවයි එය
සත් මහා සමුදුරු!
කරුණාකර
අමතන්න මා මගේ සැබෑ නාමයන්ගෙන්
හැකිවේවි එවිට මට අසන්නට
මගේ විලාපයන් ද සිනාවන් ද එක වරම
හැකිවේවි දකින්නට
මගේ වේදනාව ද සතුට ද එකක් ම වන බව
අමතන්න මා මගේ සැබෑ නාමයන්ගෙන්
හැකි වේවි අවධි වන්නට මට එවිට
හැකි වේවි හැර තබන්නට
මා හදවතේ දොරගුළු
මෛත්‍රීයෙහි දොරගුළු!
මෙය තේරුම් ගන්නට හැකිවන දිනෙක කුසුම් ලා අපේම ජීවිතයේ කොටසක් වනු ඇත. කුසුම්ලාගේ සටන අපේම සටන වනු ඇත!
….කුමාරි කුමාරගමගේ…
Share

39 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.