Sri Lanka's Best Cinema Portal

 

‘දැවෙන විහඟුන්’ “පිච්චෙන කුරුල්ලන්” වීම – සඳුන් ප්‍රියංකර විතානගේගේ සටහනක්

0
Posted July 10, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
Burning-Birds-_large

සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ

**********************************************

සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නැරඹීම වෙනුවෙන්, කලා සංස්කෘතික අවකාශයෙහි නිබඳව හැලහැප්පෙන පිරිස කල්බලා සිටියා යැ යි කිවහොත් එය මුසාවක් නොවේ. අදහස් විසමතාවන් කවරක් වේවා, සංජීව මෙරට නූතන තරුණ සිනමා පරම්පාරව නියෝජනය කරන දක්ෂයෙක් බව ද බොහෝ දෙනා දැරූ අදහසකි. ‘ඉගිල්ලෙන මාළුවෝ’ සිනමාපටයේ දී ඔහු දැක්වූ නිර්භයභාවය ආදියත් සිනමා භාවිතයෙහි තිබූ සමහර ශූරත්වයනුත් ඊට බලපෑවේ යැ යි කිව හැකිය. අනෙක් අතට ඔහු සිනමාව විෂයක් ලෙස විධිමත්ව හදාරමින් සිටින බව දැනගැනීමත් සංජීව කෙරේ බලාපොරොත්තු දල්වා ගැනීමට අදාළ තවත් කරුණකි. විදේශ සම්මාන උළෙලවල දී තරඟකාරී අංශවලට ඇතුළත්වීමත්, සම්මාන දිනාගැනීමත් නිසා සිනමාපටය ප‍්‍රදර්ශනය වන තෙක් බොහෝ අය සිටියේ නොඉවසිල්ලෙනි.

දැන් සිනමාපටය ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. සිනමාපටය අසාර්ථක බව පළමුකොට කිව යුතු ය. දෙවැනුව ඒ මතින් විදේශ සිනමා උළෙලවල පරාමිතීන් සම්බන්ධයෙන් අවිශ්වසනීයත්වයක් ඇතිවන බව කිව යුතු ය.

සිනමාපටය දිවෙන්නේ, 88-89 මෙරට සිදුවූ තරුණ කැරැල්ල පසුබිමේ තබාගෙනය. එය මුල් අර්ධයේදී ම ගුවන්විදුලි ප‍්‍රවෘත්ති විකාශයක අනුසාරයෙන් සිනමාකරුවා අපට කියයි. ඒ අනුව සන්දර්භය අතිපැහැදිලි ය. කාලය 88-89 යි. මෙකී භීමසමය සහ උතුරේ යුදසමය අරභයා මෙරට බිහිව ඇති නිර්මාණ කෘති අදාළ ප‍්‍රස්තූයන්හි දැවැන්තකමට සාපේක්ෂව අතිඅල්පය. අනුභූති කෝෂ්ඨාගාර වන මේවායෙන් හෘදකම්පනකාරී නිමැවුම් බිහිකළ හැකිවීම ගැන කතා දෙකක් නොවේ.

සංජීව තෝරාගන්නේ එකී භීමසමයේ පවුලක පියාගේ ඝාතනයෙන් අසරණවන දරු කැළතකගේ ජීවන ඛේදයයි. වෙසෙසින්ම මවක් ලෙස එකී පවුලේ කුසුම් නම් ගැහැනියට මුහුණ දෙන්නට වන අතෝරයයි.
සිනමාකෘතිය එක්තරා කාල අන්තරයක නිශ්චිතව පිහිට වූ පසුව පිස්සු කෙළින්නට සිනමාකරුවාට හැකි ද? 88-89 යනු පෙර රජ දවස නොවේ. මේ දැනුදු හුස්ම හෙළනා මිනිසුන් ඒ සමය අත්දැක්කෝය. ඒ කඨෝරත්වයට මුහුණ දුන්නෝය. මේ ලියුම්කරුට ද එවැනි අත්දැකීමක් තිබේ. ඒ හද සසලවන පෙර මතකය ශත සහස‍්‍ර ගුණයකින් නැවත මතු කරන්නට සිනමාකරු සමත් විය යුතුය. මෙහි නම් එවැන්නක් නොඒ. පියා පැහැරගෙන ඝාතනය කරන සිදුවීම සිනමාපටයේ තීරණාත්මක සිදුවීමක් වුවත් එය අති ඕලාරිකය. කිසිදු හැඟීමක් ජනනය නොවේ. අනෙක් අතට මිනිසුන් පැහැරගෙන ඝාතනය කළේ ඔතරම් සුනම්‍ය ලෙස නොවේ. සන්දර්භය තිබුණේ ද ඔතරම් සුකොමල ලෙස නොවේ. මිනිසෙකු පැහැරගෙන එලෙස ඝාතනය කරන්නට තරම් වටපිටාවක් සිනමාපටයේ පෙන්වන්නේ නැත. හැමෝම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටිති. මස්මඩුවේ වැඩ අපූරුවට කෙරෙයි. ගල්කොරියද වැසෙන්නේ කැරලිකාර තුණ්ඩුවක් නිසා නොව බලපත‍්‍රයේ අවුලක් නිසා ය. (සභාවේ සිනාය.) පාසල කිසි අවුලක් නැතිව පැවැත්වේ. සමාජ, සංස්කෘතික සංස්ථාවේ කිසිදු අලකලංචියක් වන්නේ නැත. මෙලෙස සුනම්‍ය ලෙස ගලා ගෙන යන සමාජයක් අවුල් කළේ නම් අර මිනිහා මැරූ එක අවුලක් නැතැයි කිසිවෙක්ට කියන්නට ඉඩකඩ තිබේ. කොටින්ම කුසුම්ගේ පවුලට හැරෙන්නට අනෙක් කිසිදු තැනක භීමකාරී තත්වයක් ඇත්තේ නැත. ඉදින් පේ‍්‍රක්ෂක මනසේ කම්පනයක්වත් එකී සිදුවීම තාර්කිකවත් වන්නේ නැත. අතිඅභව්‍ය වීම පමණි.

ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ ‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ සිනමාපටය මේවේලෙහි සිහියට නැගෙයි. දෙවන ලෝක යුද සමයේ අනුභූතියක් වටා ගොඩනැගුණු එම සිනමාපටය 1993 දී නිර්මාණය කරන්නේ කලු-සුදු සිනමාපටයක් ලෙස ය. එම ද්විවර්ණ භාවිතය ඔහු විශද කරනා ප‍්‍රස්තුතයට කෙතරම් සේවය කරන්නේදැයි නරඹා වටහා ගත හැකිය. මුළු සිනමාපටය පුරාවට ම වර්ණ භාවිතා කරන්නේ එක් නිමේෂයකට පමණි. කිසිදු දොසක් නොවී පේ‍්‍රක්ෂාව සිනමාපටය පුරාවටම දිවි ගෙවන්නේ දෙවැනි ලෝක යුද සමයේ ය.

‘දැවෙන විහඟුන්’ කලා අධ්‍යක්ෂණය කියා දෙයක් ගැන දශමයක්වත් සලකා නැත. වරිච්චි බිත්තිගෙවල්වල ජීවත්වීම ගැන පුවත්පත් සාකච්ඡාවල දී කියන සංජීව නිර්මාණය කරන කුසුම්ගේ නිවස අමුතුම ජාතියේ එකකි. එකින් එක කියන්නේ නම් අභව්‍ය සිදුවීම් ටොන් ගණනකි. කුසුම්ගේ බාල දරුවන් දෙදෙනාගේ වයස් පරතරය විමතිය දනවන සුළුය. ඔවුන්ගේ වයස වහා බැලූ කල පෙනෙන අයුරු සලකතත් එකෙක් කුසේ සිටිය දීම අනෙකා පිළිසිඳගත්තා වන. කඩවල්වල සැෂේ පැකට්, මයිලෝ පැකට්ය. ඒ මදිවාට ‘මිනරල් වෝටර් බොට්ල්’ ය. මෑත රතුපාට කළ ශ‍්‍රීලංගම බස්ය. ඈත ඩිජිටල් පුවරුවැති සම්බාහන මධ්‍යස්ථානය. අති විශාල ටාටා ලොරිය. අප මිත‍්‍ර අජන්ත අලහකෝන් බුක් ලෝන්ච් එකකට පැමිණෙන නියායෙන්ම පැමිණ කුසුම්ව පැහැරගෙන යයි. ගෝනි බිල්ලා ලෙස ගොඩ නංවා ඇති විදුහල්පති චරිතය අමුම අමු විකාරයකි. ඔහු ගෝනි බිල්ලෙක් බව හැමෝම දන්නා බව පෙනේ. ඔහු අර්ධකාලීන රැකියාවක් ලෙස ගෝනිබිල්ලෙක් ව සිටිනවා වැන්න. මේ ජාතියේ නෝංජල් ගෝනි බිල්ලන් සිටියේ නම් 88-89 කාලයේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට රටේ බලය ලෙහෙසියෙන්ම අල්ලාගන්නට තිබුණි. ඔවැනි චරිත ක‍්‍රියාකළ ආකාරය දැනගන්නට නම්, ඒ කාලයේ ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය ජාතික පාසලේ වැඩ කළ ආකාරය කියවිය යුතු ය.

දෙබස් භාවිතය කිසිදු ලෙසකින් ජන ජීවිතයට සමපාත නැත. මෘදු සිනිඳු නාගරික බස්වහර හැමතැනම පොළාපැන තිබේ. ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයට ගොස් 80 දශකයේ පුවත්පත් ටික පෙරළා බලන්නට කාලය ගත්තා නම් සංජීවට මෙයට වඩා හොඳින් සිනමාපටය නිමවන්නට හැකිවනු ඇත. රුපියල් 350ක බඩු ඒ කාලයේ ගන්නට නම් අනෝමා ජිනා මැඩම් විය යුතුය. ඒකරේඛීය ලෙස ගලායන සිදුවීම් කෙසේවත් කිසිදු හැඟීමක් දනවන්නට සමත් වන්නේ නැත. වෙරළේ ‘පික්නික්’ අවස්ථාවේ ‘බයිලා ගමුද රීමික්ස් කරලා’ වයනවා සේම ය.

දැනෙන එක් කම්පනයක් පමණක් තිබේ. හුදු මානුෂීයත්වය නිසාම පොඩි දරුවන් කුසගින්නේ වැළැපෙන දර්ශන දකිනවිට දැනෙන දුක්බර හැ`ගීමය. ඒ නම් සිනමාපටයේ තිබෙන අපූරුවක් නිසා නොවන්නකි. හැන්දෑවට බොරැුල්ල උමංමාර්ගය අසල කුඩාවුන් කෑමට අයදින අයුරු දැකීමෙන්ද දැනෙන දුක්බර හැඟීමයි.

මෙලෙස අසාර්ථකභාවයෙහි සීමා තව තවත් දිගට ලියාගෙන යා හැකිය. සුනිල් ආරියරත්න සිනමාකරුගේ සමකාලීන සිනමාභාවිතයෙහි අකෘතිය සහ සංජීවගේ සිනමා ආකෘතිය වෙනස් වන්නේ අනුභූතිවලින් පමණකැයි කියන්නට සිදුවන තරමට ඒවා සමානය. නිකන්ම කතාවස්තුවක් ඕලාරිකව කියා පෑවා පමණි.

සිනමාරූප භාවිතය ගැන සැලකුවද වර්ණනාවක් කරන්නට තරම් දේවල් හමුනොවීම ඛේදයකි. ‘බිම්බාදේවී හෙවත් යශෝධරා’හි මෙයට වඩා හැඩ සිනමාරූප භාවිත කර තිබේ. රංගනය ගැන ද එසේ ම ය. අනෝමා ජනාදරීගේ පෙර රංගයන් මේ මතින් ඉක්මවා යන්නේ නැත. මතක සිටිනායුරින් රංගනයක් කිසිම තැනක දකින්නට නොවේ. චිත‍්‍රපටයේ චරිතය වෙනුවට එහිදී අපට හමුවන්නේ චාන්දනී සෙනවිරත්නය.
සිනමාකෘතිය විෂයෙහි ‘ගෙදර වැඩ’ නොකිරීම මෙහි ප‍්‍රධාන දුබලතාව ලෙස පෙනෙයි. ලාබ වැඩකි. පෙර භාවිතයන්ගෙන් උපයා ගත් කීර්තිය පැහැදිලි ලෙසම මෙහිදී දියකර හරින්නට සංජීව පුෂ්පකුමාර වැඩකටයුතු කරගෙන තිබේ. සිනමාපටය මෙහිදී කප්පාදු කළේ යැයි කියා ගැලවෙන්නට ද ඔහුට හැකියාවක් නැත්තේ මෙය ප‍්‍රදර්ශනය කෙරෙන්නේ ඔහුගේ කැමැත්ත අනුව නිසාවෙනි.

‘දැවෙන විහඟුන්’ ලෙස නම් කර තිබුණ ද එහි හැඩතල අනුව අප දැක්කේ ‘පිච්චෙන කුරුල්ලන්’ය. තනිකරම පාහේ ‘විශ්වාසඝාතක සිනමාපටයකි’. අඩුම තරමේ වාර්තා චිත‍්‍රපටයකින් ලැබෙන දෙයක්වත් මෙයින් පේ‍්‍රක්ෂකයාට ලැබෙන්නේ නැත. මන්දයත්, වාර්තා සිනමාපටයකින් තත්කාලීන සමාජ, දේශපාලන ආර්ථික තතු විත්තිය අනලස්ව ගෙනෙන බැවිනි.//

සඳුන් ප‍්‍රියංකර විතානගේ

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2