Sri Lanka's Best Cinema Portal

 

දැවෙන විහඟුන්.. මට… – කුමාරි කුමාරගමගේගේ සටහනක්

0
Posted July 5, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
Ctq1-FtUEAA5-2N

සටහන : කුමාරි කුමාරගමගේ

********************************************************

සංජීව වගේ කෙනෙකුගෙන් චිත්‍රපටයක මංගල දර්ශනයට සහභාගීවන්නට ආරාධනා පතක් ලැබුනාම ඒක හරි සුන්දරයි. සංජීව මා වැනි තව බොහෝ අයට ආරාධනා කර තිබිමත් ඉතා සුවිශේෂී කරුණක්. ආරාධනා පත ලැබුන මොහොතේ පටන්මත් මම කල්පනා කලේ Dress codes පිළිපදිමින් යමකට සහභාගීවීමට මගේ ඇති නොකැමැත්ත මැඩ ඊට සහභාගී වන්නේ කෙසේද යන්න.
රීගල් එකට ඇතුළුවන්නට සිදුවුනේ අමතක කරන්නට උත්සාහකරන අසුන්දර අත්දැකීමක් එක්ක. යාළුවෙකුගේ චිත්‍රපටයක මංගල දර්ශනයකට ස්කෑන් කරගෙන ඇතුළුවෙන්න කාටද ඕනේ? මේවා දියුණු ලෝකයක අපි බලාපොරොත්තු නොවන දේවල්. අපේ දේවලදිවත් අපිව රවටමින්, අන්දමින් අපවම පාලනය කරන්න දඟලන දේශපාලුවන්ගෙන් ගැලවීමක් නැතිකොට!
චිත්‍රපටයේ මුද්‍රිත තිරපිටපත මුලින්ම පිදෙන්නේ අම්මාට. ඊ ලඟට ජනාධිපතිවරයාට වුවත් සංජීව බොහොම සංසුන්ව තම මව පසෙක සිටි තවත් මවෙකුට පොතක් පිළිගන්වලයි ඒ කාර්යයට ගියේ. ඒකත් සුන්දරයි. තමා ඉගෙනගත් පාසැලේ විදුහල්පතිවරයා වෙනුවෙන් කළ වර්ණනාව අර ඊට කලින් පුද්ගලයා ගැන කලානම් එහෙම අපිට සංජීවගේ අපේක්ෂාව ගැන ප්‍රශ්න බොහෝ ඉතිරිවෙන්න තිබුනා බරපතළවම…
අවසානයේ චිත්‍රපටයට ඇතුළුවුනේ මිශ්‍ර හැඟීම් තොගයක් සමග. ඉතිං, නිදහස්ව විවෘතව කිසිවක් රසවිඳින්නේ කොහොමද??
ගෙදර යන ගමනුත් මම කල්පනා කලේ මෙතරම් බලවත් තිර පිටපතක්, ගැහැණිය පිලිබඳ මෙතරම්ම ගැඹුරු ප්‍රකාශවීමක්, පෙනිසිටීමක් ලාංකීය සිනමාවේ අපට මුණගැසී නැති බවයි. ඒත් අපරාදේ! එහෙමමයි මට හිතුනේ.
දිනගණනක් ගතවී නිදහස් තත්ත්වයට ආපසු මා නැවත චිත්‍රපටය ගැන සිතන්න උත්සාහ කළා. ගැහැණුන්ගේ සැබෑ ප්‍රශ්නය තේරුම්ගන්නට වෙර දරන කෙනෙකු වශයෙන් මම කොහොමද සංජීවගේ මේ අතිමහත් ව්‍යායාමය අගය නොකර සිටින්නේ? චිත්‍රපටයට එළියෙන් වූ සිදුවීම් මත චිත්‍රපටය පිලිබඳව වන සැබෑව යටකළ යුතුද?
කොහොම නමුත් මම චිත්‍රපට විචාරය කරන්නියක් නෙවෙයි. ඒත් එහෙම කියලා අපිට කියන්න දේවල් නැතිවෙන්නේ නෑනේ!
සංජීව මතුකරන්නේ අපේ සමාජය අමතක කරන්න වෙර දරන දකුණේ ඛේදවාචකය. අසාධාරණයට එරෙහිව නැගීසිටි ජනයා වෙත දිගු කල මර්ධනයේ වියරු බව. රාජ්‍ය මර්ධනය සමග අත්වැල් බැඳගත් ගමේ ඇති හැකි එකා විසින් තමන් අකමැති අනෙකා විනාශ කිරීමට ඇටවූ කෙම, සියල්ලෙන් හා සියල්ලන්ගෙන් අත්හැරෙන ගැහැණිය පිලිබඳ ජීවන සත්‍යය, අසරණවන ගැහැණිය තම උගුලට හසුකරගන්නට බලා සිටිනා පිරිමියාගේ හෙළුව, අවසානයේදී මේ සමාජ ක්‍රමය තුල ගැහැණියට ඉතිරිවන එකම ජීවන වෘත්තීය පිළිබඳව වූ සත්‍යය….
පුළුල් භූමියක යම් කිසි එකක් නැතිනම් එකෙක් පෙන්නීම සංජීවගේ ක්‍රමය කියලයි මට හිතෙන්නේ. ඒ මේ මහා විසල් ලෝකයේ හුදෙකලාවීම සනිටුහන් කරන්නක් විය හැකියි. අර ආච්චි අම්මා ඒ වගේ සුවිසල් තැනක, එච්චර උසක එල්ලෙන්නේ කොහොමද කියන එකටත් එක් පිළිතුරක් එය වන්නට හැකියි. අනෙක, ඒ එල්ලීමට පාවිච්චි කල ආධාරකයන් පෙන්වන්නටම ඕනෙද? ලොකු දුව අනෙක් සියලු දරුවන් සමග නගරයට ගොස් පවතින්නේ කෙසේද, වූයේ කුමක්ද යන්නත් ප්‍රශ්නයක් ලෙස මටත් ඉතිරිවූවක් තමයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු අධ්‍යක්ෂකවරයා විසින්ම ලබා දිය යුතුද? එසේ ගොස් සිදුවූ සියල්ල පෙන්වූවානම් චිත්‍රපටයේ හරය වෙනස් වන්නේ නැතිද? මා විසින්ම මාගේ ප්‍රශ්නවලට පිළිතුර සපයාගැනීමට තීරණය කල අනික් හේතුව වූයේ ෆිල්මින් ගැන මා කිසිවක්ම නොදන්නාමුත් සංජීව ඒ ගැන දන්නා බවත්, ඔහු ඒ පිළිවෙලකට හදාරා ඇති බවත්, ඔහු විවිධ ශානරයන් අත්හදාබලන්නෙක් බවටත් මට ඇති බලවත් විශ්වාසයයි. මට/අපට ඇතිවූ මෙවන් ගැටළු සංජීවට හසු නොවී තියෙන්නටනම් විදියක් ඇත්තේම නැහැ. ඉතිං, ඒ සියල්ල ඔහු දැනුවත්වම හේතුවක් ඇතිව කළා විය යුතුයි!
අවසානයේ කියන්නට ඇත්තේ ‘සංජිව, ඔබට බොහොම ස්තූතියි, මෙවන් බරපතළ අමිහිරි සත්‍යතයන් රැසක් චිත්‍රපටයකින් අප ඉදිරියට ගෙන එන්නට ඔබ මුහුණදුන් අභියෝගයට’…!

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2