දූෂිත මහජනතාවක් ඉන්න රටක් මේක – කාංචනා ප්‍රියකාන්ත

Avatar Nisanka Weheraduwa | July 27, 2020 109 Views 0 Likes 5 On 7 Ratings

109 Views 5 On 7 Ratings Rate it

දූෂිත මහජනතාවක් ඉන්න රටක් සුර පුරයක් කරන එක පත්වෙන ආණ්ඩුවකට තනිවම කළ හැකි දෙයක් නොවෙයි – ලේඛිකා කාංචනා ප්‍රියකාන්ත The Newspaper චිත්‍රපටය ගැන ලියූ සටහනක්.

*********************************************************************************

සමහර වෙලාවට ගුරුවරු ළමයින්ට ගහනවා බනිනවා.. ඒක ගුරුවරයෙක්ට තවත් එක දවසක වුණු ගණන් ගත නොයුතු දෙයක් වුණාට ඒ ළමයට ඒ බලපෑම ජීවත කාලෙටම තියෙන්න පුළුවන්. පොලිසිය මිනිස්සුන්ට සැරෙන් කතා කරන එක එයාලට සාමන්‍ය දෙයක් වුණාට එයාලගේ ඒ කතාවෙන් අනිකාට දැනෙන අපහසුව ලැජ්ජාව කාලයක් පුරාවට දැනෙන්න පුළුවන්. පත්තරයක යන හෙඩ්ලයින් පත්තරයකට කීර්තිය සහ අලෙවිය ගෙනාවත් ඒ පුවත තනි පුද්ගලයෙක්ගේ පවුලටම ජීවිතයටම ඒක සදාකාලිකවම බලපාන්න පුළුවන්.

චිත්‍රපටිය ආරම්භයේදීම පුවත්පත්වල පලවෙන ප්‍රවෘත්තියක් තිබෙනවා. ඒ තමයි හමුදා සෙබළුන් රැගත් බසයකට බෝම්බ තියන්නේ සිංහල පුද්ගලයෙක් කියන එක. එහෙමත් නැත්නම් “සිංහල කොටියෙක්.”. සිංහල කොටියාගේ ගේ ගිනිබත් කරපු එකත් පුවත්පත් සිරස්තලවල පළවෙනවා .

ඊළඟ දර්ශනයේදී දෙපා පණ නැති මනුස්සයෙක්ට ඒ කියන්නේ ගුණේට ලැබෙනවා පත්තර කෑල්ලක්. ඒ පත්තර කෑල්ලේ තියෙනවා ඒ බෝම්බ ප්‍රහාරය කරන ලද බව පැවසෙන ශාන්ත කියන පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙක් කියලා. හැබැයි ඒකෙ දිනයක් සඳහන් වෙන්නේ නැහැ. ගුණේ පත්තර කෑල්ල ගෙදර අරගෙන ගිහින් එයාගේ අම්මට පෙන්නනවා . ඊට පස්සේ එයා පත්තරේ අරගෙන යනවා කඩ පිළට . ගමේ මිනිස්සුන්ට පෙන්නන්න.. පුංචියට පළවුණු මේ නිර්දෝෂී කිරීම දැකලා ගුණේගේ මල්ලි නිර්දෝශියි කියලා පිළිගන්න ගම්මු කැමති වෙන්නේ නැහැ.. හෙඩ්ලයින් එකක් වුණු වැරදිකාරයෙක්ව පුංචි කොලමක නිවැරදිකාරයෙක් කරා කියලා ඒක ගුනේගේ මල්ලි නිර්දොශියි කියන්න හේතුවක් කරගන්න

ඒ ගමේ එකම එක්කෙනෙක් ඉන්නවා ගුණේගේ මල්ලි නිර්දෝශියි කියලා හිතන. ඒ තමයි මී හරක් බලාගන්න අකුරු ලියන්න කියවන්න දන්නේ නැති මෝඩ පහේ පුද්ගලයෙක් විදිහට සලකන අව්‍යාජ ලුවියා.. ගුණේගේ අම්මගේ ඉල්ලීම පිට ගුණේ කොළඹ යන්න පිටත් වෙනවා . ලුවියත් මේ ගමනට එකතු වෙනවා, දෙන්නම කෝච්චියේ නැගලා කොළඹ එනවා.

මේ දෙන්නා අර පත්තර කොළ කෑල්ල පෙන්න පෙන්න අදාළ පත්තර කන්තෝරුව හෙව්වත් ගොඩක් අය එයාලට සලකන්නේ හිඟන්නෝ විදිහට. කොළඹ ජීවිතය සහ පැවැත්ම ඉතාම නුහුරු මේ අයට කොළඹ තියෙන ඒ සංකීර්ණත්වය සහ සියල්ල මුදල් වීම වැනි දෑ ඒ තරම් හුරු දේවල් නොවෙයි. ඔවුන්ට නවාතැන් ගන්න තැනක් නැතිව ඔවුන් යනවා පන්සලක නවාතැන් ඉල්ලගෙන. පන්සලෙන් ඔවුන්ව පන්නලා දානවා. තරුණ හාමුදුරුවෝ තමන් පනසලේ නායක හාමුදුරුවන් වුණු දවසක පනසලේ තාප්ප ගේට්ටු කඩලා විසිකරනවා කියලා කියනවා.

ඔවුන් යනවා හිඟන්නන් නිදාගන්න තැනකට. ඒ පිරිස තමන්ගේ ආදායම ගණනය කරමින් ඉන්නවා. අවස්ථාව මහා වැස්සක් . හිඟන්නන් මේ දෙන්නව එතැනින් පන්නලා දානවා. ඒ හිඟන්නන් ගුණේට පහර දෙන්න හදද්දී ලුවී ඔවුන්ට පෙරලා පහර දෙනවා.. ඉන් පසුව ඔවුන් එතැනින් ඉවතට යනවා.

අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි ඔවුන් පත්තර කන්තෝරුවලට යනවා. ඒ පත්තර කන්තෝරුවලදී ඒ අය කියනවා එවැනි පුවතක් ඔවුන් පල නොකළ බව. ගුනේ ගේ උවමනාව තමන්ගේ සහෝදරයා නිර්දෝශියි කියන එක ප්‍රධාන සිරස්තලය ලෙස පල කරවා ගන්න. හැබැයි නිර්දෝෂී කිරීම්වල ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති බව තමයි හැම පුවත්පත් කතුවරයෙක්ම කියන්නේ. නිර්දෝෂී කිරීමේ පුවතකින් පුවත්පතකට ප්‍රතිලාභයක් නැති නිසා කිසිම පුවත්පතක් ලෑස්ති නැහැ මේ ප්‍රවෘත්තිය හෙඩ්ලයින් එකක් කරන්න.

එක් පුවත්පත් ආයතනයකදී සියල්ල කන පිට පෙරළෙනවා. ලුවියා අහනවා වැරදිකාරයා කියලා ලොකුවට පත්තරේ දාන්න පුළුවන් නම් ඇයි නිර්දොශියි කියලා පත්තරේ දාන්න බැරි කියලා. ඒ ප්‍රශ්නයෙන් තරහ ගන්න පුවත්පත් කතුවරයා ඔවුන්ව එලවන්න හදද්දී ගුණේ ඔහුගේ කකුලක් බදාගන්නවා. තමන්ගේ කකුල බදාගත්තු ගුණේට කතුවරයා පා පහරක් එල්ලකරනවා. ලුවී තමන්ගේ මිත්‍රයාට ගහපු පුද්ගලයට පහරවල් දෙකක් එල්ලකරනවා. අන්න ඒ පුවත් බරපතල පහරදීමක් විදිහට පුවත්පත්වල සිරස්තලයක් වෙනවා. මාධ්‍යවේදියෙක්ට පහරදීමක් නිසා රටපුරා මාධ්‍ය මර්ධනයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතරේ ඒ පුවත්පත් කතුවරයා ඇමරිකාවට යන්න වීසා ඉල්ලනවා. බිරිඳ ඇයවත් ඔහු සමග රැගෙන යන්න කියලා ඉල්ලද්දී කතුවරයාගේ බිරිඳටත් මැර තර්ජන තියෙනවා කියලා පත්තරේ සිරස්තලයක් යවන්න කියලා කතුවරයා පත්තරයට දැනුම් දෙනවා.

මේ අතරේ හිරේ වැටිලා ඉන්න ලුවියට පාතාලේ මැරයෙක් මුණගැහෙනවා. ඔහුගේ අහිංසක කමින් ඔවුන් පවා අයුතු ප්‍රයෝජන ගන්නා ආකාරය නරඹන්නාට චිත්‍රපටියේ දකින්න පුළුවන්. අවසානයේදී ගුණේ සහ ලුවියා ගමට යන්න තීරණය කරනවා. ඒ අතර බැංකු මංකොල්ලයක් සිදුවෙනවා. ඔවුන් එතැනින් පලා යන අතරේදීමයි ගුණෙයි ලුවියයි එතැනින් යන්නේ. ලුවියගේ ඇඟේ පැටලිලා එක කොල්ලකාරයෙක් අහුවෙද්දී කොල්ලකාරයා ලුවියට පහර එල්ල කරනවා. තමන්ගේ මිතුරාට පහර දීපු කොල්ලකාරයාගේ කකුල් දෙකෙන් බදාගෙන කොල්ලකාරයට යන්න නොදී ගුණේ කොල්ලකාරයව අල්ලගන්නවා. ගුණෙයි ලුවියයි වීරයෝ වෙනවා. ඒත් ඒ දෙන්නා ගැන කවුරුවත් දැනගන්නේ නැහැ. කොල්ලකාරයෝ අල්ලලා දුන්නම ලැබෙන මුදල ත්‍යාගය ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ එකම ඉල්ලීම තමන්ගේ සහෝදරයාගේ නිර්දෝෂී භාවය පුවත්පතේ පලවීම.

අවසානයේදී පොලිසිය මැදිහත් වෙලා ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරලා දෙනවා. ඔවුන් ගමට යන්න සැරසෙනවා. මේ අතරේදී මංකොල්ලය සැලසුම්කළ පුද්ගලයාට ගුනේ සහ ලුවියා කොටුව දුම්රිය ස්ථානයේ සිටින බව සැලවෙනවා. ලුවියා දුම්රියට නැගුනත් ගුණේට දුම්රියට නැගගන්න බැරි වෙනවා. ගුනේ තමන් වෙනත් දුමරියකින් පැමිණෙන බව කියලා ලුවියට පත්තරේ අම්මට පෙන්නන්න ගෙනියන්න කියනවා. ලුවියට ගමට ගිහින් පත්තරේ ගුනේගේ අම්මට පෙන්නන්න පුළුවන් වෙයිද? ගුණේට ආයෙත් ගමට යන්න පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තරේ චිත්‍රපටියේ තියෙනවා..

මට චිත්‍රපටිය බලලා ඉවර වුණාම ගී ද මෝපසාං ලියපු නූල් කෑල්ල කෙටි කතාව මතක් වුණා . ඒ වගේම තව ගොඩක් දේවල් හිතුණා . එකඟ වෙන්න බැරි පුළුවන් තැන් තිබුණා . දූෂිත මහජනතාවක් ඉන්න රටක් සුරපුරයක් කරන්න පත්වෙන ආණ්ඩුවලට විතරක් පුලුවන්ද කියන එක ආයෙත් හිතුණා . සමස්තයක් විදිහට නළු නිළියන්ගේ රඟපෑම් හොඳ මට්ටමක තිබුණා කියන එකයි මට හිතෙන්නේ. සුළු චරිත රඟ පෑ නළු නිළියන් පවා තමන් රඟ පෑ චරිතයන්ට සාධාරණයක් කරලා තිබුණා . ඒ එක්කම සිනමා ශාලාවේ පුද්ගල දුරස්ථ භාවය වෙනුවෙන් ආසන එකක් ඇර එකක් ඉඳගන්න ලැබෙන විදිහට සකසලා තිබුණා . එහෙම නොවුණත් ආසන පේළියකට එක්කෙනා ගානේ ඉන්න පුළුවන් විදිහට සිනමා ශාලාවේ ඉඩ තිබුණා .

කාංචනා ප්‍රියකාන්ත

Share

109 Views 5 On 7 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.