Sri Lanka's Best Cinema Portal

 

දෙරණ සිනමා සම්මාන සහ ජයසුන්දරලාගේ ලෝකය – ප්‍රියාන් විජේබණ්ඩාර

0
Posted June 24, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
vimukthi_jayasundara

උපුටනයකි – සටහන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාරගෙනි.

විමුක්ති ජයසුන්දර විසින් දෙරණ සිනමා සම්මාන උළෙල වර්ජනය කරමින් නිකුත් කළ නිවේදනය මෙන්ම පසුව අනිද්දා පුවත්පතට යොමු කළ ලිපිය පිළිබඳ අවධානය යොමුකිරීමේදීද, සපත්තුවේ හැඩයට කකුල කපා ගැනීමක් අත්විඳිය හැකිය. එනම් ලෝකයේ සිනමා සම්මාන උළෙලවල සැබෑ ස්වරූපය අමතක කොට එහි යම් යම් අංග, දෙරණ සම්මාන උළෙල වර්ජනය කිරීම සාධාරණියකරණය කිරීමෙහිලා යොදාගන්නා අයුරු දැක ගත හැකිය. වෙනත් අයුරකින් කිවහොත් එය පවත්නා යථාර්ථය තමාගේ ෆැන්ටසිය දක්වා ඌනනය කර ගැනීමකි. සැබෑව කුමක් වුවද, තමාගේ මතය තහවුරු කරනු පිණිස වැඩියමක් කරුණු වසං කරමින් කළ කරුණු ගැලපීමකි. ඒ පිළිබඳ සැකෙවින් හෝ යමක් සටහන් කළ යුතුය. ජයසුන්දර දෙරණට මෙසේ ලියයි.

“සුළඟ ගිනි අරන්චි” චිත්‍රපටය 68 වෙනි ලොකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහා තෝරාගත් අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු නියෝජනයයි. ඊට අමතරව ටෝකියෝ සිනමා උළෙලේ සම්මානනීය චිත්‍රපටයක් වූ අතර ජාත්‍යන්තර සිනමා උළෙලවල් විසි ගණනකට වැඩි ප්‍රමාණයකට ආරාධනා ලැබීය. දැන් ජයසුන්දර අපට කියන්නේ ලොකර්නෝ සිනමා උළෙලට තෝරා ගැනීමත්, ටෝකියෝ සිනමා උළෙලේදී සම්මානයක් ලැබීමත්, තවත් සිනමා උළෙලවල් විසි ගණනකට වැඩි ප්‍රමාණයක් සඳහා ආරාධනා ලැබීම පමණක් හේතුවෙන් , ඔහුගේ කෘතිය ලංකාවේ සම්මාන ලැබීම සඳහා අනිවාර්යයෙන්ම සුදුසු මට්ටමක තිබුණු බවයි. ඔහු විසින් හොටු පෙරාගෙන හඬන්නේ තමාට එකී සම්මාන නොලැබීම ගැනයි. එහිදී ජයසුන්දර විසින් තමාගේ භාවිතය අමතක කිරීම තක්කඩි වෑයමක් වුවද, අප විසින් ඔහුට එකී අතීතය සිහිපත් කරදීම යුතුකමකි.

විමුක්ති ජයසුන්දරද, ජුරි සභිකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ දෙරණ පළමු සම්මාන උළෙල (2012) තුළදී ඔහු විසින් පරසක්වල ගසනා ලෝකයේ සුපිරිචිත්‍රපට උළෙලවල නියෝජනය කළ හා සම්මාන දිනා ගත් සංජීව පුෂ්පකුමාරගේ flying fish චිත්‍රපටයට කිසිදු ඇගයීමක් නොලැබුණේ ඇයි? එවර දෙරණ සම්මාන උළෙල තුළ (Cinema of tomorrow) නියෝජනය වූ චිත්‍රපට වූයේ Nino Live, Ini Avan, නිකිණි වැස්ස, Flying Fish, ඉන්ගුරුන්දු, සහ කර්මයි. එවර ˜නිකිණි වැස්ස˜චිත්‍රපටයට “මොස්ට් ප්‍රොමොසින්ග් ඩිරෙක්ටර්” ලෙස සම්මාන හිමිවූ අතර “ඉනි අවන්” හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. තිසරගේ Nino Live ප්‍රසන්න ජයකොඩිගේ “කර්ම” යන චිත්‍රපට සඳහා ජූරියේ විශේෂිත සහතික හිමි විය. නමුත් ඒ වසරේ වැඩිම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් නියෝජනය කළ මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනාගත් ^Best Director Award” New Territories Competition – St’Pertersburg International Film Festival, KINOFORUM 2011- Best Asian Film,” NETPAC award” 4th Bengaluru International Film Festival) “ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයට එවර කිසිදු සම්මානයක් ලබානොදීම ගැන එවක ජූරියේ සාමාජිකයෙකු වූ ජයසුන්දර විසින් මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැත.

අනෙක් අතට ජාත්‍යන්තර සිනමා සම්මානවලට අයදුම් කොට තම චිත්‍රපටය පිළිගත් උළෙලවල් ගැන ආඩම්බරයෙන් කතා කරන හෙතෙම එය ප්‍රතික්ෂේප වූ උළෙලවල් කොපමණදැයි නොකීමට තරම් පරිස්සම් වෙයි. එවන් උළෙලවල් සඳහා කලාත්මක චිත්‍රපට යයි ඔහු විසින් අර්ථ දක්වන සිනමා කෘති මෙන්ම වාණිජ සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපට පවා ප්‍රදර්ශනයට ආරාධනා ලබන බැව් නොකියයි. Metrix චිත්‍රපටය, සංජය ලීලා බන්සාලිගේ දේව්දාස් වැනි චිත්‍රපට ජයසුන්දරව “ජාත්‍යන්තර සිනමාවේදියෙකු” ලෙස ඔසවා තැබූ ජාත්‍යන්තර කාන්ස් සිනමා උළෙලේ පවා වරෙක ප්‍රදර්ශනය කෙරුණු බැව් ජයසුන්දර නොදන්නවා විය නොහැකිය. ජයසුන්දර විසින් නිකුත් කළ නිවේදනයෙත්, අනිද්දා පුවත්පට ලියූ ලිපියේත් හරය වැකි කිහිපයකට සාරාංශගත කළ හැකිය. පළමුවැන්න නම් සම්මාන උළෙලවල අරමුණ විය යුත්තේ කලාත්මක සිනමාව නඟා සිටුවීම බැවින් සම්මාන ලබාදිය යුත්තේ කලාත්මක සිනමා කෘතිවලට පමණි. එහිදී ඔහුගේ වචනවලින් කිවහොත් “ජාත්‍යන්තර ව්‍යක්ත සිනමා භාෂාව” සැලකිල්ලට ගත යුතුය. ලෝකයේ කලාත්මත සිනමාවට ප්‍රමුඛත්වය ලබාදෙන සිනමා උළෙලවල් මෙන්ම වානිජ සිනමාවට ප්‍රමුඛත්වය දෙනු ලබන උළෙලවල්ද පවත්නා බව එහිදී ඔහුට අමතකවී යයි. නිදසුනක් ලෙස අසල්වැසි ඉන්දියාවේ පවා කල්කටා, ගෝවා, පූනෙයි, කේරළ වැනි චිත්‍රපට උළෙලවල් පවතිද්දී “ෆිල්ම් ෆෙයාර්” වැනි ජනප්‍රියවාදී බොලිවුඩ් සිනමා කර්මාන්තය වෙනුවෙන් පවත්වන සිනමා උළෙලක්ද පවතින බැව් සිහිපත් කළ යුතුය.

දෙරණ සිනමා සම්මාන උළෙල පවත්වනු ලබන්නේ “වාණිජ අරමුණු” වෙනුවෙන් බවට ජයසුන්දර නඟන අදහසට මෙම ලියුම්කරු මෙන්ම මොළය කළඳක් හෝ පවත්නා ඕනෑම කෙනෙකු එකඟවනු නොඅනුමානය. ඒ විතරක් නොව “සුමති සම්මාන, සරසවි සම්මාන, හිරු සම්මාන, රයිගම් සම්මාන ආදී කුමන උළෙලක වුවද, පවත්නේ එවන් අරමුණු බවද අවිවාදිතය. වෙනත් උදවිය ඒ ගැන ප්‍රසිද්ධියේ කියාපෑමට කැමැත්තක් නොදක්වන නමුත්, දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ ඒ බව ප්‍රසිද්ධියේ කියාසිටින බවද, සත්‍යයකි. මෙවර සම්මාන උළෙලේදී පවා වේදිකාවට නැගුණු කළණ ගුණසේකර විසින් “අලූත් චිත්‍රපට වලට සම්මාන ලැබුණද, ප්‍රදර්ශනය නොවීමේ ගැටළුව” ගැන කතා කළවිට ඊට ප්‍රතිචාර දක්වමින්ද, වික්‍රමගේ කියා සිටියේ ප්‍රදර්ශනය විය යුත්තේ “දුවන චිත්‍රපටි” වැනි අදහසකි. එහෙත් දෙරණ සම්මාන උළෙලේ ආරම්භයේ සිටම “හොඳම චිත්‍රපටයත්, වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයත්” යන දෙකටම සම්මාන ලබාදුන් බව අප විසින් අමතක නොකළ යුතුය. මෙවර “හොඳම චිත්‍රපටයත්” වානිජ ධාරාවේ එකක්ම විය හැකි බවට අනුමාන කරමින් තමාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කළ ජයසුන්දර, චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ වූ නිසාත්, එය වාණිජ චිත්‍රපටයක් ලෙස සලකන්නට කිසිදු හැකියාවක් නොවීමත් නිසාම ජාම බේරාගන්නට “අනිද්දා” හි ලියා පළ කළ ලිපියේ වැඩි සම්මාන ප්‍රමාණයක් “ආලෝකෝ උදපාදි” චිත්‍රපටයට ලැබී හොඳම තිර රචනය හා අධ්‍යක්ෂණය “28”ට ලැබීම ගැන කනගාටුවට පත්ව “වාණිජ සිනමා තරු වසාගත් සිනමා උළෙලක හුදකලාවී ඇත” යන්න පමණක් කියයි.

ජයසුන්දර විසින් නඟන චෝදනාවන්හි සාරාංශය ගත්විට දෙවැන්න නම් උළෙල ප්‍රමිති ගත තත්ත්වයක පවත්වාගෙන නොයෑමය. ඔහු විසින් උත්කර්ශයට නංවන, ඔහුද ඔසවා තැබූ කෑන්ස් සිනමා උළෙලේ ප්‍රමිතිය ගැන කිසිදු ගැටළුවක් ඔහුට නොමැතිද? කාන්ස් උළෙලට තරඟකාරී අංශයට වසරකට චිත්‍රපට ලබාගැනීමේ සංඛ්‍යාත්මක අගයක් නැත. එය වර්ෂයෙන් වර්ෂයට වෙනස් වේ. ඒ 2014-18,2015-19,2016-21,2017-19,2018-21 ආදී වශයෙනි. 2016 වසරේ 21 වෙනි චිත්‍රපටය ලෙස Asgar Farhadi ගේ The Salesman චිත්‍රපටය බාරගෙන තිබුණේ නියමිත අවසාන දිනයද පසු වූ පසුය. එසේ නියමිත කාලරාමුවට පිටින් ලබාදුන් එකී චිත්‍රපටයට එවර තිරරචනය හා නිලිය වෙනුවෙන් සම්මාන හිමිවිය. TheFog of war(2003) – වාර්තා චිත්‍රපටය දේශපාලනය නිසා තරඟකාරී අංශයට නොගැනීම ආදී පදනම් විරහිත තීරණ කාන්ස් සංවිධායකයින් විසින් ගෙන තිබු‚. Jim Jarmusch ගේ Stranger than Paradise දෙවන චිත්‍රපටය සඳහා camera d Or සම්මානය දීමද, මේ අයුරින්ම විවාදයට පාත්‍රවූ කරුණකි.

ජයසුන්දර නඟන චෝදනාවන්හි තෙවැන්න නම් චින්තන ධර්මදාසට Most promising director සම්මානය ලබාදීම සුදුසු නැතැයි යන්නය. ඔහුට අනුව මෙම සම්මානය ලබාදිය යුත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ පළමු චිත්‍රපටයටයි.
ඔහුට අමතක වී ඇත්තේ චිත්‍රපටයක් හෝ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පිළිගැනීමට එය මහජන ප්‍රදර්ශනය කර තිබිය යුතු බවයි. (ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට අධ්‍යක්ෂවරයෙකු ලෙස පිළිගනු ලබන්නේ පවා චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරුවය ) නමුත් චින්තන හා උදය එක්ව නිර්මාණය කළ How I wonder what you are චිත්‍රපටය එසේ මහජන ප්‍රදර්ශනය අරමුණු කරගෙන කළ එකක් නොව පර්යේෂණාත්මක අත්හදා බැලීමකි. එනිසාම ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය සැලකීම වරදක් නොවේ. මේ කාරණය සම්බන්ධයෙන්ද ජයසුන්දර වඩාත් කැමති කාන්ස් උළෙලෙන් ආදර්ශ ගත හැකිය. ජිම් ජාමුෂ්ගේ දෙවන චිත්‍රපටය වන Stranger Than Paradise (1984) චිත්‍රපටය වෙනුවෙන්, අධ්‍යක්ෂවරයෙකුට පළමු චිත්‍රපටය වෙනුවෙන් ලබාදෙන Golden camera සම්මානය ලබාදෙන ලදී. මෙහිදී ඔහුගේ පළමු චිත්‍රපටය Permanent Vacation (1980) සලකුණු ලැබුවේ ප්ර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසිනි. අනෙක් අතට ජයසුන්දර විසින් නඟන තවත් චෝදනාවක් වනුයේ දෙරණ සම්මාන උළෙලේ Cinema of tomorrow තරඟ අංශයට චිත්‍රපට ලබා ගන්නේ කුමන පදනමකින්ද යන්න හා එහි ප්‍රමිතියයි.

උළෙලකට චිත්‍රපට ලබාගන්නේ මෙසේයැයි ලෝකයේ කිසිම උළෙලක් නිස්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නොමැත. ඔවුන් ඒ සඳහා උළෙලට සාපේක්ෂ විවිධ ක්‍රම භාවිතා කරනු දක්නට ලැඛෙයි.
ඔහු යෝජනා කරන පරිදි විදෙස් උළෙලවල් නියෝජනය කළ චිත්‍රපට පමණක් ඊට තෝරා ගන්නේනම් මෙවර එම අංශය (Cinema of tomorrow) නියෝජනය කළ යුතුව තිබුනේ චිත්‍රපට දෙකක් පමණි. දැන් ජයසුන්දර යෝජනා කරන්නේ එවන් චිත්‍රපට දෙකකින් උළෙලක් සංවිධාන කිරීම නම් එය විහිළු සහගතය. ඔහුගේ අවසාන යෝජනාව ලෙස සැලකිය හැක්කේ ජූරියේ සංයුතිය හා ජූරි සභිකයින්ගේ සිනමාව පිළිබඳ වන දැනුමය. ඒ පිළිබඳ ජයසුන්දරගෙ දැනුම හා අත්දැකීම් එක්ක සැසඳීමක් කළ හැකි නමුත් කෙනෙකු විසින් කරනු ලැබූ චිත්‍රපට මත හෝ එකී චිත්‍රපට ලැබූ සම්මාන මත පමණක් “සිනමාත්මක දැනුම” තීන්දු තීරණ නොගත යුතු බැව් පුද්ගලිකව අපගේ හැඟීමය. ජයසුන්දර විසින් ජාත්‍යන්තර උළෙලවල් සඳහා චිත්‍රපට ඉදිරිපත් කරනවිට එහි ජූරි සභිකයින් කවුදැයි දැන හැඳුනුම්කම් මත තමාට සම්මාන හිමිවෙතැයි අනුමාන කරනවා විය හැකි වුවත්, ලොව සෑම අධ්‍යක්ෂවරයෙකුටම එහෙව් අවස්ථාවක් ලැඛෙන්නේ නැත. ලොව පිළිගත් ඔස්කාර් සිනමා උළෙලේ ජූරිය කවුදැයි කිසිවිටෙකත් ප්‍රකාශයට පත් නොකරන බැව් පමණක් මෙහිලා සිහිපත් කරනු වටියි. අවසාන වශයෙන් කිව හැක්කේ අද වනවිට කලාත්මක සිනමාව හා වානිජ සිනමාව අතර ඛෙදුම් රේඛාව බොඳවෙමින් පවත්නා බව හා එය ඉතාමත් විවාදපන්න කරුණක් බවයි. අනෙක් අතට වානිජ අරමුණු වෙනුවෙන් චිත්‍රපට සෑදීම හා ආත්ම ප්‍රකාශනයක් ලෙස චිත්‍රපට සෑදීම යන කරුණකට පමණක් සිනමාකරණය ලඝු කළ නොහැකි අතර වානිජ අරමුණු වෙනුවෙන් කලාත්මක සිනමාව භාවිතා කිරීම හෙවත් ෆෙස්ටිවල් ඉලක්ක කරගත් චිත්‍රපට කලාවට දිය හැකි නම කුමක්දැයි විමසා බැලිය යුතුය. මන්දයත් සෝමරත්න දිසානායකලා ලංකාව වැනි පුංචි වෙළඳපොළකට චිත්‍රපටයක් කර හුදී ජනයා චූන් කර, ඔවුන්ගේ මොළ සෝදා කීයක් හරි සාක්කුවේ දමාගැනීමත්, ජයසුන්දරලා ෆෙස්ටිවල් දෙක තුනක් ඉලක්ක කර එයින් සම්මාන සමග ලබන මුදල් ප්‍රමාණයත් සංඛ්‍යාත්මක වශයෙන් එතරම් පරතරයක් ඇතැයි විශ්වාස කළ නොහැකි නිසාය. අනෙක් අතට ආත්ම ප්‍රකාශන, කලාත්මක සිනමාව වෙනුවෙන් පෙනී සිටීම යනු ඒ වෙනුවෙන් ජීවිත අභ්‍යාසයෙන් ආදර්ශයක් දීම විනා නිවේදන නිකුත් කිරිමෙන් පමණක් කළ හැකි කාරණයක් නොවේ. “සුළඟ එනු පිණිස” වැනි චිත්‍රපටයක් වෙනුවෙන් තමාව එල්ලා මැරීම සඳහා යෝජනා කළ රෙජිමයක, පාලකයෙකු යළි බලයට පත්කිරීමට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවල කොටස්කරුවෙකු ලෙස ක්‍රියාකිරීමෙන් හෝ මහබැංකුව මහ දවල් කොල්ලකෑ පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ උන්නතිය වෙනුවෙන් වෙළඳදැන්වීම් නිර්මාණය කරන අතරේම හුදී ජනයාගේ බුද්ධි කලම්භනය වෙනුවෙන්ම තමන්ගෙ නිර්මාණ භාවිතය කැපකර අතැයි කීම විහිළුවක්ම නොව අමු ප්‍රෝඩාවකි.

සටහන :  ප්‍රියාන් ආර් විෙජ්බණ්ඩාර

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2