දෙවන Joker චිත්‍රපටයේ හර්’ලි ක්වීන් චරිතය Lady Gagaට

Avatar Kavinu Weerakkody | September 30, 2022 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

Todd Philips විසින් 2019 වර්ෂයේදී අධ්‍යක්ෂණය කරන ලද Joker සිනමාපටය, හොලිවුඩ් ඉතිහාසයේ නව වාර්තා කිහිපයක්ම අලුත් කළ නිර්මාණයක්. ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව අඩු නිෂ්පාදන පිරිවැයකින් ඇමරිකානු ඩොලර් මිලියන 1000කට අධික මුදලක් රැස් කරගත් එය, මෙතෙක් සිනමා ඉතිහාසයේදී ඩොලර් බිලියනයේ සීමාව පසු කළ පළමු R- Rated චිත්‍රපටය ද වනවා.
එපමණක් නොවෙයි, එවකට ඇකඩමි සම්මාන උළෙලේදී (Oscars) අවසන් නිර්දේශවීම් 11ක් අතරට පැමිණෙමින් එයින් සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරන්නටත් Joker චිත්‍රපටයට හැකියාව ලැබුනා. වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි Academy සම්මානය – Golden Globes සම්මානය මෙන්ම BAFTA සම්මානයට ද හිමිකම් කියූවේ එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ Joaquin Phoenix විසිනුයි.

DCEU සිනමා විශ්වයට සෘජුවම සම්බන්ධ නොවූ Solo චිත්‍රපටයක් වූවත් ලෝ පුරා සිටින සිනමා රසිකයින්ගෙන් Joker චිත්‍රපටය හැඳින්වූයේ මෙතෙක් සිනමා ඉතිහාසයේ නිර්මාණය වී තිබෙන comic based චිත්‍රපට අතුරින් විශිෂ්ටතම නිර්මාණයක් ලෙසටයි. Todd Philipsගේ අධ්‍යක්ෂණය සහ කැමරාකරණය මෙන්ම Joaquin Phoenixටම ආවේණික වූ අතිදක්ෂ රංගනය නිසා එහි ජනප්‍රියත්වය තවත් දෙගුණ තෙගුණ වුනා.

මේ ආකාරයෙන් තම චිත්‍රපටය ලබාගත් දැවැන්ත සාර්ථකත්වය නිසා එහි දෙවන දිගහැරුමක් සඳහාත් තමන් සූදානම් බවට අධ්‍යක්ෂක Todd Philips විසින් ප්‍රකාශ කළේ දැනට කාලයකට පෙරයි. Warner Bros. ආයතනය සමඟ ඇති කරගන්නා ලද ගිවිසුම් කිහිපයකින් අනතුරුව දැන් නිළ වශයෙන්ම Joker 02 හි පෙර නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙනවා.

මේ වනවිට තිර සහ දෙබස් පිටපතෙහි වැඩ කටයුතු සියල්ලම අවසන් වී තිබෙන අතර මූලික කියැවීම් සඳහා එහි ප්‍රධාන භූමිකා රඟන රංගන ශිල්පීන් වෙතට භාරදී තිබෙනවා. මේ බව තහවුරු වුනේ අධ්‍යක්ෂක Todd Philips සිය සමාජ මාධ්‍ය ගිණුමට පසුගියදා එක් කළ ඡායාරූපයක් සමඟින්.. එහි දැක්වුනේ මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ Joaquin Phoenix විසින් Joker 02 හි තිර පිටපත කියවමින් සිටින ආකාරයයි.
නව සිනමාපටයේ නම Joker: Folie à Deux වන අතර එය රචනා කළේද  Todd Philips – Scott Silver දෙදෙනා විසින්මයි.

මෙහිද ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ රංගන ශිල්පී Joaquin Phoenixම බව මේ පින්තූර නිසාම තහවුරු වුනා. ඊට අමතරව මුල් සිනමාපටයේ දැකගත නොහැකි වුනු ‘Harley Queen’ගේ චරිතය ද මීට ඇතුළත් වන අතර එය රඟපාන්නේ දක්ෂ ගායිකාවක වන Lady Gaga විසිනුයි. පළමු සිනමාපටයේ නොතිබුනු ‘Harley Queen’ චරිතය, සිය දෙවන චිත්‍රපටයට එක් කරගැනීමට අධ්‍යක්ෂක ටොඩ් ෆිලිප්ස් උත්සාහ ගන්නා බවට හොලිවුඩයේ ගොසිප් අඩවි වාර්තා කර තිබුනේ 2020 වසර තරම් ඈතකදී යි.

Lady Gaga විසින් ‘Harley Queen’ චරිතය නිරූපණය කරන බව ජෝකර් සහ හ’ර්ලි ක්වීන්ගේ වීඩියෝපටයක් නිකුත් කරමින් තහවුරු කොට තිබෙනවා. මේ අනුව එළඹෙන 2024 වසරේ ඔක්තෝබර් 04 වනදා සිට මෙය සිනමා හල්වලට නිකුත් වීමට නියමිත බවත් සඳහන්.
Joaquin සහ Gagaට අමතරව ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී Brendan Gleesonවත් මෙයට සම්බන්ධ බව පැවසුනත් ඔහුට අදාළ චරිතය කුමක්ද යන්න තවමත් හෙළි වී නැහැ. බොහෝදුරට එය ප්‍රතිවීර චරිතයක් විය හැකියි. මුල් නිර්මාණය තුළ බෲස් වෙයින්ගේ ළමා කාලය නිරූපණය කළ Dante Pereira-Olson ද, පළමු චිත්‍රපටයේ Sophie Dumond චරිතයෙන් රසිකයින්ට සමීප වුනු Zazie Beetz දෙවන චිත්‍රපටයට නැවතත් එක්වනවා.

එමෙන්ම මෙම දෙවන Joker සිනමාපටය, පළමු නිර්මාණයට වඩා වෙනස් Musical (සංගීතමය) ගණයේ සිනමාපටයක් වනු ඇති බව පැවසෙනවා. Lady Gaga මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම නිසා සහ ඇය නිකුත් කළ වීඩියෝපටයෙන් එවැන්නක් හැඟෙන නිසාත්, බොහෝදුරට මෙය සංගීතමය චිත්‍රපටයක් විය හැකියි. අද ලෝකයේ වැඩිම ජනප්‍රියත්වයක් හිමි කාන්තා ගායිකාවක වන ඇය Grammy Awards ඇතුළු ප්‍රධාන ශානරයේ සංගීත සම්මාන රාශියක හිමිකාරිනියක්. එමෙන්ම මෙහි අධ්‍යක්ෂකවරයා වන Todd Philips විසින් නිෂ්පාදනය කළ A Star is Born සිනමාපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ ද ඇයයි.

මෙම Joker දෙවන චිත්‍රපටයට පාදක වන සිදුවීම් මාලාව පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් මාධ්‍යයට අණාවරණය වී නැතත්, ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසන්නේ පළමු චිත්‍රපටය අවසානයේදී ‘Arthur Fleck’ නැමැති චරිතය ‘Joker’ බවට පත්වූ තැන සිට මෙය ආරම්භ වන බවටයි.
දැනටමත් පූර්ව නිෂ්පාදන කටයුතු නිමා වී තිබෙන Joker: Folie à Deux හි රූපගත කිරීම් මෙම දෙසැම්බර් මාසයේ සිට පටන් ගැනීමට නියමිතයි. එළඹෙන වසර මැද භාගය වන විට චිත්‍රපටයේ සියලුම නිෂ්පාදන කටයුතු අවසාන කිරීමට නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන බව සඳහන්.

Share

71 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.