ධනුෂ් ගිවිසුම්ගත වූ නවතම චිත්‍රපට ද්විත්වයක්

Avatar Kavinu Weerakkody | December 29, 2021 98 Views 0 Likes 1 On 1 Rating

98 Views 1 On 1 Rating Rate it

සෑම වසරකදීම ඉන්දියානු සිනමා කර්මාන්තයට නවක රංගන ශිල්පීන් අතිවිශාල ප්‍රමාණයක් එකතු වනවා. නමුත් ඔවුන් හැම දෙනාටම ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. බහුතරයක් ශිල්පීන් තමන්ගේ පළවෙනි චිත්‍රපටයෙන්ම සිනමාවෙන් ඈත් වී යනවා. බොහෝ දෙනෙක්ට කිසිදු රසික ආකර්ෂණයක් දිනා ගන්නට අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ලොව තෙවෙනියට විශාලතම සිනමා කර්මාන්තය වන “ඉන්දියානු සිනමා කර්මාන්තය” ඒ තරමටම තරඟකාරීයි.

මෙවැනි තරඟකාරීත්වයක් තුළ, ඉන්දියානු සිනමාවේ පහළම අඩියෙන් පටන්ගෙන වර්තමානයේදී හොලිවුඩයත් නියෝජනය කරන්නට සමත් වූ රංගන ශිල්පියෙක් තමයි Dhanush හෙවත් Venkatesh Prabhu Kasthuri Raja කියන්නේ. Dhanush තමන්ට ලැබෙන සෑම නිර්මාණයකටම සම්බන්ධ වෙන පුද්ගලයෙක් නොවෙයි. එකිනෙකට වෙනස් තිර-පිටපත් තෝරා ගැනීමට ඔහුට තිබෙන හැකියාව සෑම ඉන්දියානු සිනමා රසිකයෙකුම පාහේ අගය කරනා කාරණාවක්!
ඒ නිසාම යම් අලුත් නිර්මාණයකට Dhanush සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම, සමාජ මාධ්‍ය තුළ එය පිළිබඳව විශාල කතාබහක් ඇතිවෙනවා. ධනුෂ් සහ අදාළ චිත්‍රපටය ගැන රසිකයින් predicte කරන්නට පටන් ගන්නවා. දමිළ සිනමාවේ අනෙකුත් තරුණ නලුවන්ට සාපේක්ෂව මේ තත්වය වැඩියෙන්ම දැකගන්න ලැබෙන්නෙ ඔහු වටායි. මේ ලිපියෙන් කියැවෙන්නේ එසේ රසිකයින් අතරේ කතාබහක් ඇති කරපු Dhanush අලුත්ම චිත්‍රපට ද්විත්වයක් ගැනයි. විශේෂත්වය වෙන්නේ ඔහු මේ announcements දෙකම නිකුත් කළේ දවසක් වැනි සුලු කාල පරතරයක් තුළයි.

Vaathi – A Tamil, Telegu bilingual movie

Dhanush සහ අධ්‍යක්ෂක Venky Atluri එක්ව නිර්මාණය කෙරෙන ද්වීභාෂික චිත්‍රපටයක් ගැන ගොසිප් අඩවි කාලයක් තිස්සේ තොරතුරු වාර්තා කළත් ඒ නිර්මාණය ගැන නිල නිවේදනයක් නිකුත් වුනේ පසුගිය දෙසැම්බර් 23වනදායි. Range De, Mr. Majnu වැනි තෙළෙඟු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Venky Atluri තෙළඟු රසිකයින් අතරෙ හි වැඩිපුරම ජනප්‍රිය වුණේ Tholi Prema හි සාර්ථකත්වයත් සමඟයි.

ඔහු සහ ධනුෂ් සුසංයෝගයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය 1980-1990 කාල වකවානුවට අයත් කතා තේමාවක් වටා ගෙතෙන බව නිෂ්පාදකයින් පවසනවා. පෞද්ගලික අධ්‍යාපන මාෆියාවට එරෙහිව තනි ගුරුවරයෙකු ගෙන යන සටනක් Vaathi සිනමාපටයට මුල් වී තිබෙන බවයි Times of India වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ඔවුන් පවසන ආකාරයට, අධ්‍යාපන හිමිකම සුරැකීමට මුල් වන තරුණ ගුරුවරයෙක් සහ ඊට එරෙහිව මුහුණ පෑමට සිදුවන බාධක Vaathi හරහා ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට පුලුවන්. මෙම period social-drama සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා සුරූපි නිලි Pooja Hegde ගිවිසුම්ගතව සිටින බවට ඇතමුන් සඳහන් කළත් නිල නිවේදනයක් හරහා එය තවමත් තහවුරු වී නැහැ.

2018 සිට වසර හතරක් පුරාවට තෙළෙඟු romantic movies අධ්‍යක්ෂණය කළ Venky Atluri දමිළ භාෂාමය චිත්‍රපටයක් නිර්මාණය කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි. එමෙන්ම ඔහුට හුරුපුරුදු romantic ශානරයට එපිටින් නැවුම් කතා තේමාවක් භාවිතා කරන්නේද මුල් වතාවටයි. චිත්‍රපටයේ සෙසු රංගන ශිල්පීන් ගැන නිසි තොරතුරක් දැන ගැනීමට නොහැකි වුණත්, නිර්මාණයට සම්බන්ධ වන කාර්මික ශිල්පීන් ගැන නම් ධනුෂ් නිවේදනය කළා.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය G.V. Prakash Kumar විසින් සිදු කිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණයට අමතරව නලුවෙක්, ගායකයෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් වශයෙනුත් කටයුතු කරන Prakash Kumarගේ නවතම චිත්‍රපටය Jail, සතුටුදායී ප්‍රතිචාර මැද පසුගියදා තිරගත වීම ආරම්භ කළා.

මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ Rekka, Kanaa, Mr. Local වැනි නිර්මාණ රාශියකට සම්බන්ධ වූ Dinesh Krishnan B මහතායි. Jersey (2019) වෙනුවෙන් විශිෂ්ටතම සංස්කරණයට හිමි ජාතික සම්මානයෙන් [National Film Award for Best Editing] පිදුම් ලැබූ Naveen Nooli මෙහි editor වශයෙන් කටයුතු කරනවා. Avinash Kollaගේ නිෂ්පාදන කළමනාකාරීත්වය යටතේ නිර්මාණය වන මෙය Sithara Entertainment නිෂ්පාදනයක්!
අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත ද Venky Atluri විසිනි. දෙමළ සහ තෙළෙඟු භාෂා ද්විත්වයෙන්ම සෑදෙන මේ චිත්‍රපටය ධනුෂ්ගේ රංගන ජීවිතයේ පළමු සෘජු-තෙළිඟු චිත්‍රපටය බවටත් පැවසෙනවා. රූපගත කිරීම් නුදුරු දිනකදීම ඇරඹීමට නියමිතයි.

An Arun Matheswaran Directional

Vaathi නිල නිවේදනයෙන් දිනකට පසුව, Dhanush ඔහුගේ තවත් නව චිත්‍රපටයක් පිළිබඳව රසිකයින්ට දැනුම් දුන්නා. ඒ නවක අධ්‍යක්ෂක Arun Matheswaran සමඟ සිදු කිරීමට යන නිර්මාණයක් ගැනයි. twitter පණිවුඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව නිවේදනය කළ ඔහු Arun Matheswaran සමඟ චිත්‍රපටයක් කිරීමට ලැබීමට තරම් තමන් වාසනාවන්ත වූ බවත් ප්‍රකාශ කර තිබුණා. ධනුෂ් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු, එක් චිත්‍රපටයක් පමණක් අධ්‍යක්ෂණය කර තිබෙන Arun Matheswaran වැන්නෙකුට මෙතරම් ගෞරවාන්විත වීම ම පැසසිය යුතු කාරණයක් බවයි ප්‍රාන්තීය විචාරකයින් අදහස් පළ කරන්නේ.

“ Yes. The speculations are true.
I am that fortunate actor who bagged @ArunMatheswaran ‘s next directorial. More details soon.
Om Namashivaaya “

Dhanush මේ ට්විටර් පණිවුඩය නිකුත් කළ වහාම ඊට reply පණිවුඩයක් එකතු කළ අරුන් මාධේෂ්වරන්, “ එවැනි අවස්ථාවක් ලැබීමට වාසනාවන්ත වුනේ ධනුෂ් නොව තමා” බව පවසා සිටියා.

“Thank you so much for the trust @dhanushkraja
I am humbled and truly honored for your kind words…
I am the fortunate one here. Looking forward to this big journey! “

කෙසේ වුවත්, මේ දිනවල තිරගත වෙමින් පවතින Arun Matheswaranගේ පළමු චිත්‍රපටය වන Rocky අතිශය ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රචාරයක් දිනාගන්න සමත් වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 23වනදා තිරගත වීම ඇරඹි එය Vasanth Raviගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූවක්. නොසිතූ අන්දමින් Rocky චිත්‍රපටයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර නිසා අරුන් දෙවෙනියට ගිවිසුම්ගත වූ Saani Kaayidham නිර්මාණය පිළිබඳවත් යළි කතාබහක් ඇති වී තිබෙනවා. එය Keerthy Suresh හා Selvaraghavan රංගනයෙන් එක් වූවක්. ඒ චිත්‍රපට 02කට පසු Arun Matheswaranගේ තුන්වන නිර්මාණය තමයි මේ අයුරින් දමිළ නලු Dhanush සමඟ සිදු කිරීමට සැලසුම් කරමින් සිටින්නේ…

ධනුෂ් රඟන 47වන චිත්‍රපටය වන එය Sathya Jyothi Films නිෂ්පාදනයක්! 1950 කාලයේ gangster කතා තේමාවකට නිර්මාණය වන මෙහි නිෂ්පාදන කටයුතු 2022 අග භාගයේදී ආරම්භ වීමට නියමිතයි.

2002 වසරේදී සිනමාවට පිවිසි ධනුෂ්ගේ පළමු චිත්‍රපටය වූයේ Thulluvadho Ilamai චිත්‍රපටයයි. ධනුෂ්ගේ පියා වන Kasthuri Raja අධ්‍යක්ෂණය කළ එහි තිරපිටපත රචනා කළේ ඔහුගේ වැඩිමල් සොයුරු Selvaraghavan විසිනුයි. තම පළමු නිර්මාණයෙන්ම තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රියතාවට පත් වූ ඔහු Kaadhal Kondein (2003) නිසා සැලකිය යුතු විචාරක අවධානයක් දිනා ගැනීමටත් සමත් වුනා. Polladhavan,  Aadukalam වැනි සාර්ථක සිනමාපට තුළින් බිහි වූ ධනුෂ්-වෙට්‍රිමාරන් සුසංයෝගය ඔහුගේ සිනමා ගමන තවත් වේගවත් කළා. 2011 වසරේදී මුලු ඉන්දීය කලාපය පුරාම ජනප්‍රිය වුණු “Why this Kolaveri Di” ගීතය ධනුෂ්ගේ රංගන ජීවිතයේ වැදගත්ම සංදිස්ථානයක්!

Velaiilla Pattadhari, 3, Vada Chennai, Asuran, Karnan වැනි එකිනෙකට වෙනස් චිත්‍රපට රාශියක ප්‍රධාන භූමිකා රඟපෑ ඔහු ඉන්දීය ජාතික සම්මාන (National Film Awards) හතරක හිමිකරුවෙක්. The Extraordinary Journey of the Fakir සිනමාපටය ධනුෂ් රඟපෑ පළමු විදෙස් භාෂා චිත්‍රපටයයි. එය ඉංග්‍රීසි, ප්‍රංශ, හින්දි, දෙමළ ආදී භාෂා ගණාවකින් ප්‍රදර්ශනය කළ බව අන්තර්ජාලයේ සඳහන්. Wunderbar Films චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රධානියා වන Dhanush, සිනමා නිර්මාණ 15කට අධික ප්‍රමාණයකට නිෂ්පාදනයෙනුත් දායක වී තිබෙනවා. ඉන්දීය සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම ළමා චිත්‍රපටයක් බවට හැඳින්වෙන Kaaka Muttai ඔහු නිෂ්පාදනය කළ සුවිශේෂීම සිනමා නිර්මාණයක්. Kaaka Muttai වෙනුවෙන් පමණක් ඉන්දීය ජාතික සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරන්නට Wunderbar Films සමත් වුනා.

මේ ආකාරයට නලුවෙක්, ගායකයෙක්, ගීත රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වැනි විවිධ පැතිකඩ ඔස්සේ සාර්ථක වූ Dhanush 2016 වසරේදී චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසුනා. ඒ Pa Paandi සිනමාපටය අධ්‍යක්ෂණය කරමින්… Rajkiran, Revathi, Madonna Sebastian ආදීන් රඟපෑ එය ආදායම් වාර්තා අතින් සාර්ථක නොවුණත් බොහෝ දෙනෙක් පැසසූ නිර්මාණයක්. ධනුෂ් රඟපෑ නවතම නිර්මාණය වූ Atrange Re, පසුගිය 27වනදා Disney Plus Hotstar ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වුනා. එම OTT ප්ලැට්ෆෝමයේ වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් ලබා ගත් ඉන්දියානු සිනමාපටය ලෙස එය නව වාර්තාවකුත් පිහිටුවා තිබෙනවා.

ධනුෂ්ගේ upcoming movies ලැයිස්තුවෙත් බොහොම anticipated නිර්මාණ ගණනාවක්ම දක්නට පුලුවන්. Thiruchitrambalam, Maaran, Naane Varuven වැනි ඉන්දීය චිත්‍රපට කිහිපයට අමතරව ඔහුගේ නවතම හොලිවුඩ් චිත්‍රපටයේ වැඩ කටයුතුත් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඒ Avengers: Infinity War, Avengers: End Game, Captain America: The Winter Soilder, Captain America: Civil War වැනි දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Anthony Russo සහ Joseph Russoගේ The Gray Man සිනමාපටයයි. Action/Thriller ශානරයට අයිති වන එම සිනමාපටයේ නිෂ්පාදන පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධිකයි. ‘මෙතෙක් ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය වන Netflix චිත්‍රපටය’ යනුවෙන් හැඳින්වෙන එහි Ryan Gosling, Chris Evans, Ana De Armas සහ Alfre Woodard වැනි ලෝක සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් දැකගන්නට පුලුවන්!

 

 

Share

98 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.