නාට්ටාමි ආමි – ‘බර අදින සේනාව’ දැන් කරළියේ
සැවෝයි සිනමා වසන්තය – 2023ට සමගාමීව දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය, “නාට්ටාමි ආමි” (Nattamy Army) දිවයිනෙ හි තෝරාගත් සිනමා ශාලා රැසකදී තිරගත වීම ආරම්භ කළා.
ලාංකීය සිනමාව තුළ ඒ තරම් කතාබහට ලක්නොවන සමාජ ස්ථරයක් වන නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ සමාජයේ අනන්‍යතා පිළිබඳව කතාබහ කෙරෙන මෙම සිනමාපටය තුළින්, මින් පෙර මෙරට චිත්‍රපට තුළින් ලාංකීය ප්‍රේක්ෂකයින් අත් නොවිඳි අපූරු සිනමාත්මක අත්දැකීමක් ළගා කරගත හැකියි.
“නාට්ටාමි ආමි” (Nattamy Army) සිනමාපටයට පාදක වන්නේ ඈත ගමකින් කොළඹට පලා එන සදෙව් නැමැති යොවුන් තරුණයාගේ කතාවයි. සිය මව සමඟින් ගම්මානයේ ජීවත් වූ සදෙව්, ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙමින් දුප්පත් දිවියක් ගත කළ අයෙක්.
අසල තිබෙන කළුගල් වැඩපළක රැකියාව කරමින් සිය දරුවාව රැකබලා ගන්නා සදෙව්ගේ මවට එක්තරා දිනයකදී සිදුවන්නට ගිය අකටයුත්තකින් ඇයව බේරා ගැනීමට සදෙව් මැදිහත් වන අතර එහිදී ඔහු අතින් නොදැනුවත්වම සිදුවන අපරාධයෙන් බිය වන සදෙව් කොළඹට පලා එනවා.
එලෙස කොළඹ කොටුවට පලා එන සදෙව්ට, සිරිල් නැමැති නාට්ටාමිවරයෙක් මුණ ගැසෙන අතර ඔහු ඒ නාට්ටාමි පවුල සමඟින් ජීවත් වන්නට පටන් ගන්නවා. “නාට්ටාමි ආමි” (Nattamy Army) සිනමාපටය තුළ දිවෙන්නේ එතැන් සිට ඔවුන්ට කොළඹදී මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් මාලාවයි…
සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
ගමෙන් කොළඹට පලා එන තරුණයාට, නගරයේදී විවිධ අකටයුතුකම්වලට මුහුණ දෙන්නට සිදු වුනත් ඔහුව එයින් ගළවා ගන්නේ සිරිල් විසිනුයි. අවසානයේදී සදෙව් ද, සිරිල් සමඟින් නාට්ටාමි ජීවිතයට හැඩ ගැසෙන අතර ඔවුන් දෙදෙනාගේ කතාව “නාට්ටාමි ආමි” (Nattamy Army) සිනමාපටයෙන් දැකගත හැකියි.
සිරිල් නැමැති නාට්ටාමිවරයාගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අමිත්ත වීරසිංහයි.
ඔහුට අමතරව ජයනි සේනානායක – කුමුදු නිශාන්ත – සනත් විමලසිරි – මිහිර සිරිතිලක – වජිර කොඩිතුවක්කු – ලක්ශාන් වත්තුහේවා – නවීන් ප්‍රමෝද් – රංග ජයකොඩි – ගුණදාස පතිරණගේ – මාරියම් විජයරත්න – පුලින ගුණතිලක වැනි නලු නිළියන් ගණනාවක්ම නාට්ටාමි ආමි චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා.
මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ දේවින්ද කෝන්ගහගේ විසිනි. මෙය ඔහුගේ තුන්වන අධ්‍යක්ෂණයයි. 2021 වසරේදී ඔහුගේ පළමු චිත්‍රපටය වන “භවතරණ” සිනමා ශාලාවලට නිකුත් වුනු අතර ඉන්පසුව “ගිරිවැසිපුර” නමින් තවත් චිත්‍රපටයක් ඔහු නිර්මාණය කළා. නමුත් ඒ ගිරිවැසිපුර චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වුනේ නැහැ.
නාට්ටාමි ආමි දේවින්ද කෝන්ගහගේ තුන්වන සිනමා නිර්මාණයයි.
අධ්‍යක්ෂණයට අමතරව සංකල්පය, තිර රචනය, නිෂ්පාදන සැලසුම්කරණය, කැමරා අධ්‍යක්ෂණය සහ ගීත රචනය සිදු කර තිබෙන්නේ ද දේවින්ද කෝන්ගහගේ විසිනි. චිත්‍රපටයේ කැමරාකරණය හසුරුවන්නේ පසිඳු කෞෂල්‍යයි. ගාමිණී පතිරණගේ මෙහි විධායක නිෂ්පාදකවරයායි.
රන්දික විජේමාන්න සංස්කරණයෙන් සහ සෂින් ගිම්හාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් නාට්ටාමි ආමි චිත්‍රපටය සමඟින් එක්ව තිබෙනවා. මෙහි සංගීත නිර්මාණකරණය බිබිලදෙණියේ මහානාම හිමිගෙනි. කලා අධ්‍යක්ෂකවරයා රොශාන් පෙරේරායි. දේවිකා කුමාරි, සඳුනි ජයපද්ම සහ ගනේන්ද්‍රි කෝන්ගහගේ මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.
ලෙස්ලි වීරසිංහ ඇඳුම් නිර්මාණකරණයෙන් සහ නාරද තොටගමුව වේෂ නිරූපණයෙන් එක්ව තිබෙනවා.
නාට්ටාමි ආමි නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ ගාමිණී පතිරණ විසිනි.
දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමා හල් රැසකදී ඔබට දැන් මෙම සිනමාපටය නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody