නූපන් දරුවකු ගැන දුක්වන ගැහැණියකගේ කතාවක් මේක – දුලංක දේවේන්ද්‍ර

Avatar Nisanka Weheraduwa | February 11, 2019 10 Views 0 Likes 0 Ratings

10 Views 0 Ratings Rate it

සිනමා මාධ්‍ය භාවිත කරන නූතන පරම්පරාව අතර දක්ෂයින් බොහොමයි. ඔවුන්ගේ නිර්මාණ විවිධ ආකාරයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වෙන්නේ ඒ ගුණාත්මක බව, නිර්මාණශීලී බව නිසාමයි. ඒ විදිහට දේශීයව වගේම ජාත්‍යන්තරවත් සම්මාන දිනාගත් කෙටි චිත්‍රපටයක් තමයි Children of white. මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දුලංක දේවේන්ද්‍ර කියන තරුණ නිර්මාණවේදියා. දුලංකගේ සම්මානිත කෙටි චිත්‍රපටය සහ ඔහුගේ සිනමා ගමන ගැන කළ කතාබහක් මේ.

දුලංක සිනමා නිර්මාණකරුවෙක් වෙන්නේ කොහොමද..? මොකක්ද ඔබේ පසුබිම..?

මම බොහොම පුංචි කාලේ ඉඳන්ම සිනමාව කියන විෂයට කැමතියි. චිත්‍රපටි බලන්න ආසයි. මම හිතන්නේ ඒ කැමැත්ත නිසාමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නත් ඇත්තේ. මට මතකයි මම O/L කරලා ඉන්න කාලේ කෙටි චිත්‍රපටයක් කළා. ඊට පස්සේ තවත් කෙටි චිත්‍රපට තුනක් මම නිර්මාණය කළා. ඉස්කෝලේ යද්දී ඉස්කෝලෙත් නොයෙක් විදිහේ නිර්මාණ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුනා. එහෙම තමයි මම සිනමාව එක්ක සම්බන්ධ වෙන්නේ.

මොකක්ද මේ children of white..?

මේක තමයි මම නිර්මාණය කළ අලුත් කෙටි චිත්‍රපටය. ඒ වගේම ඒ නිර්මාණයෙන් තමයි මම දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට උළෙල වලදී ඇගයීමට ලක් වෙන්නේ.

මොකක්ද මේකේ තේමාව..?

මේක ගැබිණියකගේ සිතුවිලි එක්ක ගොඩනැගෙන එකක්. ඉපදෙන්න ඉන්න තමන්ගේ දරුවාගේ අනාගතය ගැන දුක්වන ගැහැණියකගේ කතාවක් මේක. ලංකාවේ පහුගිය අවුරුදු 10 ඇතුළත 11,000කට වඩා වැඩි ගණනක් ළදරුවන් පිටරටට විකිණිලා තියෙනවා. මේක අපේ රටේ එක විදිහක ගැටළුවක්. ඒත් බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණු විෂයක්. ඉතිං මට හිතුනා මගේ නිර්මාණය ඇතුලේ මේ ගැන කතා කරන්න ඕනේ කියල.

චිත්‍රපටයට ලැබුණු ඇගයීම් ගැනත් මතක් කරමු.

ඔව්. මුලින්ම යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය විදිහට මගේ නිර්මාණය සම්මානයට ලක්වුනා. ඊලඟට සිංගප්පූරුවේ පැවැත්වුණු දකුණු ආසියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය විදිහටත් සම්මාන ලබන්න මට හැකි වුනා. ඒ උළෙලේ චිත්‍රපට දෙකක් හොඳම නිර්මාණ විදිහට තේරුනා. අනික් එක ඉන්දියානු නිර්මාණයක්. ඒ වගේම Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේදී “හොඳම මතු බලාපොරොත්තු සපිරි අධ්‍යක්ෂ” කියන සම්මානය මට හිමිවුණා. Monterry international film festival – Mexico සඳහා මගේ නිර්මාණය තේරුනා. ඒ වගේම 2018 වසරේ One of the emerging artist in Sri Lanka කියන title එකෙන් මාව හඳුන්වා දීල තියෙනවා Artra Magazine එකෙන්. මේ තමා 2018 වර්ෂයේ මම ලැබූ ජයග්‍රහණ.

කවුද මේ නිර්මාණයට දායක වුනේ..?

චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ යශෝධා රසඳුනී, සංජිව සෙනවිරත්න, ක්‍රිශාන්ත ගුණතිලක, සහ තවත් කුඩා දරුවෙක්.

සිනමාකරුවෙක් වෙන්න මොනවගේ හැදෑරීමක්ද ඔබට තිබෙන්නේ..?

ඔබ අදහස් කලේ Academic හැදෑරීමක් ගැන නම්, මම එහෙම හදාරලා නැහැ. නමුත් මම පොතපත කියවීමෙන් Internet පාවිච්චි කිරීමෙන් සහ ප්‍රවීණයන් එක්ක කතාබහ කිරීමෙන් විෂය දැණුම ලබාගෙන තිබෙනවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මම Sky-Entertainers ආයතනයට සම්බන්ධ වනවා දෘෂ්ටි ප්‍රයෝග ශිල්පියෙක් විදිහට. එතැනදී මාට මුණ ගැහෙනවා ප්‍රසන්න ජයකොඩි, උදය ධර්මවර්ධන, නිලාන් කුරේ වගේ ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ප්‍රවීණයින්. ඒ අය එක්ක වැඩ කිරීමෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා.

ඔබ වඩාත් කැමති සිනමාකරුවන් ඉන්නවද.? ඔබව Inspire කළ..?

ඔව්. දේශීයව ගත්තොත් විමුක්ති ජයසුන්දර සහ ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණ තමයි මට වඩාත් දැනුනේ. ඊට අමතරව ජාත්‍යන්තරවත් මම කැමති සහ මාව inspire කළ සිනමාවේදීන් කිහිප දෙනෙක්ම ඉන්නවා.

දුලංක, ඔබේ සිනමා ගමනේ ඉදිරිය මොන විදිහද..?

මම දැනට වෘතාන්ත චිත්‍රපටයක් කරන්න සූදානම් වනවා. ඒ වෙනුවෙන් මම වැඩ පටන් අරන් තියෙන්නේ. 2021 වනවිට මේ නිර්මාණය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් තව කෙටි චිත්‍රපටයක් කරන්නත් මම අදහස් කරනවා. ඒකෙ පිටපත කරලා අවසන්. තවම නළු නිළියන් තෝරා ගත්තේ නැහැ. ඒ වැඩකටයුතු තමයි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

සටහන : නිසංක වෙහෙරදුව

Share

10 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.