Sri Lanka's Best Cinema Portal

 

පවුල තවදුරටත් අවුලක්ම පමණි – තිවංක විශ්වනාත්

0
Posted March 20, 2019 by Nisanka Weheraduwa in Cinema Reviews
thiwanka

සටහන : තිවංක විශ්වනාත් ජයසේකර

Film එකක් analyze කරන්න කලිං අපි මුලින්ම කරන්නේ Film එකේ “මම කොතනද ඉන්නේ, මගේ part එක මොකද්ද?” වගේ කාරණා හොයන එක. එහෙම තැනක් හොයාගෙන Film එකට ⁣set වෙලා Film එක තමන්ගේ කතාවක් කරගෙන බලන එක. පුංචි කාලේ අපි කණ්නාඩියක් ඉස්සරහටවෙලා ඒකෙන් පේන ප්‍රතිබිම්බය දිහා බලාගෙන කණ්නාඩියත් එක්ක කරපු ගනුදෙ⁣නුවෙම දියුණු අවධියක් විදියට සිනමාව හඳුන්වන්නෙත් ප්‍රේක්ෂකයට ප්‍රේක්ෂකයාගේ ඇතුළාන්තය සිනමාව තුළින් පෙන්වන නිසයි. ⁣මේ කියමනත් එක්ක එකඟ වුණත් නොවුණත් අපට film එකක් බලද්දි ඒකත් එක්ක බද්ධ වෙනවා කියන කාරණයත් එක්ක නම් අපි හැමෝටම එකඟ වීමට සිදුවනවා.

සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයාට ‘අම්මට සිරි’ රසය ලැබෙන්න නම් ඒ Film එක තදින්ම ප්‍රේක්ෂකයව ග්‍රහණය කර ගත්ත සුපිරි වැඩක් ම විය යුතුයි. මේ දවස්වල තිරගත වන මලිත් හෑගොඩගේ කුලුඳුල් සිනමා නිර්මාණය “දැකලා පුරුදු කෙනෙක්” මේ වැඩේ හරියටම කරපු පට්ටම වැඩක් කියලා හඳුන්වන්න පුළුවන්.

Film එකේ නම “දැකලා පුරුදු කෙනෙක්” කියද්දි මේක film එකට set වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මුලින්ම එනවා. film එකක නමට පුළුවන් film එක පුරාම දිවෙන කතාව වචන කීපයකට හකුලුවා දක්වන්න. හරියටම කිව්වොත් film එකේ සමස්තය කතා බහට ලක්කරන ප්‍රපංචයේ තේමාව තමයි film එකක හෝ ඕනෑම කලා නිර්මාණයක නම නියෝජනය කරන්නේ. සාමාන්‍යයෙන් අපි මග තොටේදි මුණගැසෙන දැකලා පුරුදු අය බොහෝ ඇති. ඒ දැකලා පුරුදු අය අපට කොයි ආකාරයකින් හෝ හුරු පුරුදුත් ඇති. මේ චිත්‍රපටියෙන් කතා කරන්නෙත් අන්න ඒ වගේ දැකලා පුරුදු කෙනකුගේ හුරු පුරුදු කතාවක්. අපට හුඟක්ම සමීප කතාවක්.

වික්ටෝරියානු ඊනියා සුචරිතවාදී විවාහ සංස්කෘතිය තුළ සැමියා – බිරිඳ සාංකල්පික බැඳීම නඩත්තු කිරීමට කටයුතු කරන ගැහැනුන් සහ පිරිමින් නිරන්ත⁣රයෙන්ම අපට මුණගැහෙනවා. ඔවුන් ඒ බැඳීම නඩත්තු කරන්නේ ආයාසයෙන්ද කැමැත්තෙන්ද කියා ඔවුන්ගේ හැසිරීමෙන්ම අපට වටහාගන්න පුළුවන්. අතීතයේ පැවති රාධා ක්‍රිෂ්ණා මොඩලයේ බැඳීම් අද කළු නික තරමටත් වඩා දුලබයි. ඇත්තේ ‘මේකි හෝ මේකා බැඳගෙන මං කර ගත්තේ කරුමයක්’ වර්ගයේ බැඳීම්ය. නමුත් අකැමැත්තෙන් හෝ ඔවුන් ඒවා නඩත්තු කරනවා. සචිත්‍ර සහ දිනිති අතර ඇත්තේද එවැනි මොඩ⁣ලයේ බැඳීමක්. ආයාසයෙන් නඩත්තු කරන බැඳීමක්.

චිත්‍රපටය පුරාවටම සැකය අවිශ්වාසය සෑම චරිතයක් මතම පැටවෙනවා. එය ගැටුම (නාට්‍යමය ගැටුම) නඩත්තු කරන ප්‍රයෝගයක් හැටියට භාවිතා කිරීමට මලිත්ට හැකිවෙලා ති⁣බෙනවා. දිනිතිගේ හැසිරීම් රටාව නිසා ඇය කොයිම මොහොතක හෝ කා සමග හරි සංසර්ගයේ යෙදෙනු ඇතැයි යන සැකය ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. ඇය ඇගේ ඥාති සහෝදරයා සමග දක්වන කුළුපගභාවය, ත්‍රීවිල් රියැදුරුට දක්වන ළෙංගතුබව තුළින් ප්‍රේක්ෂකයාට දිනිති දැං ⁣sex කරයි දැං sex කරයි වැනි හැඟීමක් ඇති කරවනවා. නමුත් ඇය එවැනි කාර්යයක යෙදෙන්නේ ඇගේ සැමියා සචිත්‍ර සමග පමණයි. එයත් චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයා ඉල්ලා සිටින අවස්ථාවක නොවේ. හුදෙක්ම එය ලිංගික සංසර්ගයක්ම පමණි. බැඳීමක උච්චත්වයේදී ශෘංගාරයේ ඉම සටහන් කරන අන්දමේ ලිංගික ඇසුරක් නොවේ. එය පවුල් සංස්ථාව තුළ තිබෙන පුරුෂයා සතු ලිංගික ඇසුරේ අධිකාරීත්වය පිළිබිඹු කිරීම සඳහා නිර්මාණයට යොදා ගෙන ඇති සංඥාවක් වන්නට පුළුවන්.

කිසිදු ආකාරයක අනවශ්‍ය දෙබසක් හෝ දර්ශනයන් ඇතුළු නොකිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබෙනවා. නිර්මාණයකදී දෙබස් යනු රත්තරන් තරම් වටිනා දෙයක් මෙන්ම එය ඉතා සැලකිලිමත්ව භාවිතා කළ යුතුයි යන්න පිටපත් රචනයේ මූලධර්මයක් ලෙස පිළිගැනෙනවා. එය පිටපත් රචක භූපති නලින් මනාව අවබෝධ කරගෙන ඇති ආකාරය චිත්‍රපටය තුළින් මනාව පිළිබිඹු වෙනවා. සංකීර්ණ, පැටලලි සහගත දෙබස්වලට නොගොස් සරළ, එදිනෙදා පාවිච්චි කරන දෙබස් තුළින් සංකීර්ණ මනෝභාවයන්, සංකීර්ණ චරිත ස්වභාවයන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට රචකයා සමත්වී තිබෙනවා. යම් අවස්ථාවන්හිදී අධ්‍යක්ෂවරයා අභිබවමින් පිටපත් රචකයා ඉස්මතුවන ආකාරය දක්නට ලැ⁣බෙනවා.

ප්‍රේක්ෂකයා මෙය ඔහුගේම කතාව බවට පත්කර ගන්නවා සේම චරිත තුළ අතරමං වීමද සිදුවනවා. සැමියා සි⁣ටිද්දි මෙච්චර වෙනත් සම්බන්ධයක් පවත්වාගෙන යාම නිසාවෙන් සචිත්‍රට වරදකාරියක් වන දිනිති ප්‍රේක්ෂකයාට වරදකාරියක් නොවිය හැකිය. එමෙන්ම පවුල විසිරෙන්නට නොඳී දරුවා සහ තමන් වෙනුවෙන් බිරිඳ තමා සන්තකයේ තබා ගැනීමට උත්සහ කරන සචිත්‍ර වරදකරුවකු සේ පෙනෙන්නටත් පුළුවන්. මිනිසුන් කළු හෝ සුදු නොවේ. මිනිස්සු හැම විටම අළුපැහැතිය. මෙහි සියලු චරිතද අළු චරිතයන්ය. සමාව, සැකය, විශ්වාසය වැනි මනුස්ස ගති ලක්ෂණයන් විශ්ලේෂණය කිරීම පමණක් මෙහිදී සිදුවේ. සචිත්‍ර විසින් දිනිති හැකි සෑම මොහොතකම ප්‍රතික්ෂේප කළද ඈට ඔහුගෙන් මිදී යාමට නොදී තමා සන්තකයේ තබා ගැනීමට උත්සහ කිරීම තුළින් සිය ආධිපත්‍ය නඩත්තු කිරීමට සචිත්‍ර උත්සහ කරනවා. නමුත් දෙදෙනා අතර සාකච්ඡාව හෝ අන්‍යොන්‍ය අවබෝධය වැනි ගුණාංගයන් නඩත්තු නොවේ. ඔවුන් සිටින්නේ පවුල තුළද ස්වාධීනව තනාගත් ලෝක තුළය. දිනිති සිය පෙම්වතා කරා යන්නේද එම ස්වාධීන ලෝකයන්ට එක වහලක් යට තව දුරටත් පවතින්නට ඇති නොහැකියාව නිසාවෙන්මයි.

සිනමා තිරයටම ආවේණික වූ අතිශය දුර රූප කිසිදු අවස්ථාවකදී “දැකලා පුරුදු කෙනෙක්” තුළ දකින්නට නැත. ඒ වගේම වර්ණ භාවිතයේදී ද වැඩි සැලකිලිමත් භාවයක්ද දක්වා නැත. ඒ නිසාවෙන්ම නිර්මාණය තුළින් රූපවාහිනි නා⁣ට්‍ය ස්වරූපයක් ඉස්මතු⁣වනවා වන්නට පුළුවන්. නමුත් මෙ⁣වැනි drama ශානරයට අයත් සිනමා නිර්මාණයක වඩා වැදගත් වන්නේ චිත්‍රපටයේ නිර්මාණත්මක භාවයට වඩා ඉන් කතා කෙරෙන දෘෂ්ටිවාදයයි. පවුල තුළ ඇති අවුල කීමට එතරම් සිනමාරූපි කැමරා කෝණ හෝ වර්ණ භාවිතා නොකිරීම සුදුසු යයි මම යෝජනා කරනවා. මන්ද එවැනි නිර්මාණශීලීත්වයක් ගොඩ නැඟීමට උත්සහ කළා නම් දෘෂ්ටිවාදය පරයා ⁣නිර්මාණයේ සෞන්දර්ය ඉස්මතු වන්නට පුළුවන්. නමුත් අවශ්‍ය අවස්ථාවවලදී අවශ්‍ය අන්දමින් රූප භාවිතා කිරීමට අධ්‍යක්ෂවරයා සමත්වී තිබෙනවා. දිනිති සහ සංඛ හෙවත් දිනිතිගේ ඥාති සහෝදරයා අතර මාර්ගයක ඇවිදින අකරවාරයේ සිදුවන කතාබහ පෙන්වීමට යොදාගෙන ඇත්තේ තනි handheld shot එකකි. දෙදෙනාගෙ දෙබස් හුවමාරුවට අනුව closeup වලට යාමක් එහිදී සිදුවී නැත. ඉන් අධ්‍යක්ෂකවරයා දිනිති සහ සංඛ යන දෙදෙනාම එකවිට විනිශ්චය කිරීමට ප්‍රේක්ෂකයා පොළඹවා ඇත. රූප ඡේදනයට වඩා දෙදෙනා අතර හුවමාරුවන දෙබස්වල අන්තර්ගතයට මූලිකත්වය ලබා දී ඇති බව ඉන් පැහැදිලි වනවා.

සංඥා සහ රූප සංයුතිය (composition) පිළිබඳව අධ්‍යක්ෂකවරයා කිසිදු අවස්ථාවක ඔහුගේ ආධුනිකත්වය පෙන්නුම් නොකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. දිනිති සතුව ඇති පෙම්වතාගේ සිහිවටනය සමග දිනිති ගනුදෙනු කරන ආකාරය නිර්මාණයේ සිනමාත්මකභාවය පිළිබිඹු කරන ප්‍රබල සාධකයක් ලෙස ඉස්මතු වනවා. එවැනි රූප තුළින් අදහස් ප්‍රකාශ කෙරෙන දර්ශන සහ සිද්ධි තුළින් අධ්‍යක්ෂකවරයා සිය බුහුටි බව මගහරවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

සමාධි සිනමාව හෝ රූපවාහිනිය තුළ වැඩි වශයෙන් දක්නට නොසිටියත් ⁣වේදිකාව තුළින් ඈ ලද සියලු ශක්‍යතාවන් කැමරාව ඉදිරියේ මැනවින් ඉදිරිපත් කරනවා. බිමල් රංගනය රංගනයක් කියා කිසි විටෙකත් නොදැනෙන අයුරින් තිරිය හරහා ප්‍රකාශ කිරීමට සමත්වනවා. නිර්මාණයේ සිටින සෑම රංගන ශිල්පියෙකුම සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇති අන්දමත් මලිත් එම දායකත්වයන් මනාව මෙහෙයවා ඇති අන්දමත් ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පවතිනවා.

නිර්මාණයට සංගීතයෙන් ලබාගෙන ඇති දායකත්වය ඉහළ මට්ටමක හෝ කතා කළ යුතු මට්ටමක නො පැවතීම හැරුණු කොට ආලෝකය සහ අඳුර භාවිතා කිරීමේදී කැමරා අධ්‍යක්ෂක එම්.ඩී මහින්දපාල ඔහුගේ ප්‍රවීණත්වය විදහා දක්වනවා. Director cut, DOP cut සහ Editor cut තුනම තමන්ට ඕනෑ අයුරින් මලිත්ම කපා තිබීම මෙහි ඇති තවත් සුවිශේෂීත්වයකි.

තමන්⁣ට තමන්වම දැකලා පුරුදු විදියට දැනෙන සිනමා නිර්මාණයක් ඔබ ඉදරියට පැමිණ ඇත. පවුල් තුළ අවුල් ඇතිවීම නවතින්නේද නැත. එහෙත් ඔබට ඔබවම ප්‍රශ්න කළ හැකිය. “දැකලා පුරුදු කෙනෙක්” ඔබ මුණ ගැසිය යුතුම කෙනෙකි. නිර්මාණයකි. ආශ්‍රය කර බලන්න.

තිවංක විශ්වනාත් ජයසේකර

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2