පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ ජයග්‍රාහකයින් දැනුම් දෙයි

Avatar Kavinu Weerakkody | June 16, 2022 237 Views 0 Likes 0 Ratings

237 Views 0 Ratings Rate it

සැලකිය යුතු අන්දමක ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනගෙන සිටින බොහෝ කලාපීය සිනමා ක්ෂේත්‍ර උදෙසා ලෝකය පුරා අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය වනවා. ප්‍රධාන ශානරයේ හොලිවුඩ්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය වැනි සිනමාපට වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා මේ අතුරින් විශේෂ තැනක් ලැබෙනවා. අපට අසල්වැසි ඉන්දීය සිනමාවේ හින්දි චිත්‍රපට මෙන්ම සාපේක්ෂව කුඩා ප්‍රාන්තීය සිනමා කර්මාන්ත වන තෙළිඟු, මලයාලම්, දමිළ ආදී චිත්‍රපට වෙනුවෙනුත් අද වනවිට ලෝකයේ විවිධ රටවල International Film Festivals සංවිධානය වනවා.

නමුත් ලාංකීය චිත්‍රපට මුල් කරගනිමින් ලංකාවෙන් පිටතදී පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලක් මෑතක් වනතුරුම අපට දැකගන්නට ලැබුනේ නැහැ. ලාංකීය චිත්‍රපට විදේශයන් හි ජීවත් වන ප්‍රේක්ෂකාගාර වෙත පෙන්වීමට ලාංකීය සිනමා උළෙලක අවස්ථාවක් මෙරට සිනමාකරුවන්ට ලැබී තිබුනේ ද නැහැ. එවැනි පසුබිමක් තුළ, මෙරට සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන යෑමේ අරමුණින් ලාංකීය චිත්‍රපට වෙනුවෙන් ලංකාවෙන් පිටතදී සංවිධානය වූ පළමු අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය ජුනි 10 වනදා ඇමරිකාවේදී පැවැත්වුනා.

Ceylon International Film Festival හෙවත් CEYIFF යනුවෙන් නම් කර තිබූ එම උළෙල පැවැත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ සැන්ටාබාබරා නගරයේ Lobere Theatre පරිශ්‍රෙය්දී යි. ලාංකීය චිත්‍රපටවලට ගෝලීය වෙළඳපළක් නිර්මාණය කිරීමත්, මෙරට සිනමාකරුවන් වටා රැඳුණු ප්‍රේක්ෂකාගාය ලංකාවෙන් එපිටට රැගෙන යෑමත් අරමුණු කරගෙන සංවිධානය වූ CEYIFF ජාත්‍යන්තර සිනමා උළෙල පසුගිය ජුනි 10 සිට 12 දක්වා අංශ කිහිපයක් ඔස්සේ ම පවත්වා තිබෙනවා.

අරුණි බොතේජුගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙහි ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂකවරිය ලෙස රුවනි හොරණගේ කටයුතු කළ අතර සංවිධායක කමිටුව සුදේශ් මානාගොඩගේ, දිලාන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ ඇතුළු පිරිසකගෙන් සමන්විත වුනා.

2019-2022 සමයේ තිරගත වූ ගුණාත්මක සහ ජනප්‍රිය ලාංකීය චිත්‍රපට කිහිපයක්ම මෙහි ප්‍රදර්ශනය වූ බවට අන්තර්ජාලයේ සඳහන්… ඊට අමතරව විවිධ කාණ්ඩ ගණනාවක් ඔස්සේ සිදු කෙරුණු සම්මාන ප්‍රදානයක්ද Ceylon International Film Festival හිදී සිදුවුනා. එහි තරඟකාරී කාණ්ඩයේ අවසාන වටය වෙනුවෙන් දිගු වෘතාන්ත චිත්‍රපට දහයක් (සුනාමි, ජංගි හොරා, ඝරසර්ප, ද නිවුස්පේපර්, ආයු, කවුරුවත් දන්නේ නෑ, ද ලෙටර්, ඩාක් ඩේස් ඔෆ් හෙවන්, In Vino Vertitas, Pessos) තරඟ වැදුණු අතර ඉන් වැඩිම නිර්දේශවීම් සහිත චිත්‍රපටය බවට පත්වුණේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල එක්ව අධ්‍යක්ෂණය කළ The Newspaper සිනමාපටයයි. ඒ නිර්දේශ නාමයන් 08ක් අතරට එක් වෙමිනුයි.

ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප සහ චත්‍ර වීරමන්ගේ ආයු නිර්දේශවීම් 07ක් ද, සෝමරත්න දිසානායකගේ සුනාමි නිර්දේශවීම් 06ක්ද ලබා ගනිමින් highest nominations ලැයිස්තුවේ දෙවන සහ තෙවන ස්ථාන ලබා ගත්තා. පහතින් දැක්වෙන්නේ අවසාන වටය නියෝජනය කරමින් තරඟ වැදුනු එම දෙස්-විදෙස් චිත්‍රපට අතුරින් පළවන Ceylon International Film Festival සිනමා උළෙලේදී ජයග්‍රාහණය කළ සිනමාපටයන් හි සම්පූර්ණ ලැයිස්තුවයි.

හොඳම චිත්‍රපටය (Best Picture)

– ද නිවුස්පේපර් (බන්දුල ගුණවර්ධන නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)
සුනාමි (රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)
ආයු (දයා රත්නායක නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)

දෙවන හොඳම චිත්‍රපටය (Grand Prix/ Runnerup)
සුනාමි (රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)

හොඳම අධ්‍යක්ෂණය (Best Director)

– සරත් කොතලාවල, කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
සෝමරත්න දිසානායක (සුනාමි- ශ්‍රී ලංකාව)
චත්‍ර වීරමන් (ආයු- ශ්‍රී ලංකාව)

හොඳම තිර රචනය (Best Script)

– ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප- ශ්‍රී ලංකාව)
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
චත්‍ර වීරමන්, ශක්ති වීරසිංහ (ආයු- ශ්‍රී ලංකාව)

හොඳම රංගන ශිල්පියා (Best Lead Actor)

– සරත් කොතලාවල (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
ජගත් මනුවර්ණ (ආයු- ශ්‍රී ලංකාව)
Theotime Ouaniche (In Vino Veritas- රුමේනියාව)

හොඳම රංගන ශිල්පිනිය (Best Lead Actress)

– නිරංජනී ශම්මුගරාජා (සුනාමි- ශ්‍රී ලංකාව)
කාවින්ද්‍යා අධිකාරි (ඝරසරප- ශ්‍රී ලංකාව)
සැන්ඩ්‍රා මැක් (ආයු- ශ්‍රී ලංකාව)

හොඳම සහාය නළුවා (Best Supporting Actor)

– කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
දර්ශන් ධර්මරාජ් (සුනාමි- ශ්‍රී ලංකාව)
ශ්‍රියන්ත මෙන්ඩිස් (ඝරසරප- ශ්‍රී ලංකාව)

හොඳම සහාය නිළිය (Best Supporting Actress)

– හිමාලි සයුරංගි (සුනාමි- ශ්‍රී ලංකාව)
සංගීතා වීරරත්න (ඝරසරප- ශ්‍රී ලංකාව)
පාර්වතී සිවපුතම් (ඩාර්ක් ඩේස් ඔෆ් හෙවන්- ශ්‍රී ලංකාව)

හොඳම නැගී එන නළුවා හෝ නිළිය ( Best upcoming Actor or Actress)

– මදාරා ජයසේන (ද ලෙටර්- ශ්‍රී ලංකාව)
දෙව්නක පෝරගේ (ඝරසරප- ශ්‍රී ලංකාව)
මාෂි සිරිවර්ධන (ද නිවුස්පේපර් – ශ්‍රී ලංකාව)

හොඳම කැමරා ශිල්පි (Best Cinematographer)

– ප්‍රභාත් රොෂාන් (ඝරසරප- ශ්‍රී ලංකාව)
කාලිංග දේශප්‍රිය (ආයු- ශ්‍රී ලංකාව)
R. රුවන් (ද ලෙටර්- ශ්‍රී ලංකාව)

හොඳම සංස්කරණ ශිල්පි (Best Editor)

– අජිත් රාමනායක (සුනාමි- ශ්‍රී ලංකාව)
රුක්මල් නිරෝෂ් (ද නිවුස්පේපර් – ශ්‍රී ලංකාව)
සිල්වෙස්ටර් බාරි (In Vino Veritas- රුමේනියාව)

හොඳම සංගීතය (Best Music)

– ගයාත්‍රී කේමදාස (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
චින්තක ජයකොඩි (ඝරසරප- ශ්‍රී ලංකාව)
මිලින්ද තෙන්නකෝන් (ආයු- ශ්‍රී ලංකාව)

එහිදී “හොඳම චිත්‍රපටය” (Best Picture)ට හිමි ප්‍රධාන සම්මානය දිනා ගැනීමට කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල එක්ව අධ්‍යක්ෂණය කළ The Newspaper සිනමා නිර්මාණය සමත් වුනා. එය බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක්.
හොඳම අධ්‍යක්ෂණයට හිමි ජයග්‍රහණයත් The Newspaper වෙනුවෙන් කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හවුලේ බෙදා ගත් අතර ඝරසර්ප වෙනුවෙන් හොඳම තිර පිටපතට හිමි සම්මානය ලබා ගැනීමට ජයන්ත චන්ද්‍රසිරි සමත්වුනා.

ලාංකීය සිනමාව උදෙසා සිදු කළ මෙහෙය උදෙසා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියට විශේෂ ඇගයීම් සම්මානයක්ද මෙහිදී ප්‍රදානය කළා. දිගු වෘතාන්ත චිත්‍රපට අංශයට අමතරව කෙටි හා වාර්තා චිත්‍රපට අංශය වෙනුවෙන්ද Ceylon International Film Festival ජයග්‍රහණ පිරිනැමුනා.

හොඳම කෙටි චිත්‍රපටය – Best Short Film
Alone (මාධව තිරිමාන්න- ශ්‍රී ලංකාව)

හොඳම සජීවීකරණ චිත්‍රපටය – Best Animation
ITCHO: The Deep of the Earth (මෙක්සිකෝව)

හොඳම වාර්තා චිත්‍රපටය – Best Documentary
Antartica (බල්ගේරියාව)

සියලුම ජයග්‍රාහකයින් අතුරින් වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූවේ The Newspaper ලාංකීය චිත්‍රපටයයි. නිර්දේශ නාම අටෙන් පහක්ම ජයග්‍රහණය කිරීමට එය සමත් වුනා.

CEYIFF හි පුළුල් තිර ප්‍රදර්ශනය කළ ලාංකීය දිගු වෘතාන්ත චිත්‍රපට

සුනාමි
කවුරුවත් දන්නේ නෑ – Nobody Knows
ආයු
ද නිවුස්පේපර්
ඩාක් ඩේස් ඔෆ් හෙවන් – Dark Days of Heaven
ජංගි හොරා – Underpants Thief
ඇල්බොරාදා
ද ලෙටර් – The Letter

ජූරිය (Jury)

Marc Gareton (ජූරි සභාපති- ප්‍රංශය)
Douglas Montgomery (ඇමෙරිකාව)
Carlos Sanchez (ඇමෙරිකාව)
Oscar Gutierrez (ඇමෙරිකාව)
Isabelle Carpentier (ප්‍රංශය)
Shanshan Sun (චීනය)
Claude Gagnon (කැනඩාව)

පසුගියදා පැවති පළමු සිලෝන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තවත් විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

(ජයග්‍රාහකයින්ගේ තොරතුරු උපුටා ගැනීම උදිත ලක්මාල් කහඳවාරච්චිගෙනි)

Share

237 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.