ප්‍රබාස් රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපට පහක්

Avatar Nisanka Weheraduwa | October 10, 2021 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

Baahubali චිත්‍රපට මාලාවෙන් තමන් ලබා ගත් අතිශය ජනප්‍රියත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලය විදිහට තෙළෙඟු නලු Prabhas, අද ඉන්දියානු සිනමාවේ දැවැන්තම Pan-Indian රංගන ශිල්පියාගේ තැනට පැමිණ සිටිනවා. Baahubaliට පෙර ඔහුගේ රංගන වටිනාකම සහ Baahubaliට පසු ඔහුගේ රංගන වටිනාකම අතරේ තිබෙන්නේ සුවිශාල වෙනසක්. වර්ථමාන ඉන්දීය සිනමාවේ වැඩිම අයකිරීමක් ලබා ගන්නා නළුවන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ඔහුට වෙන් වන්නෙත් මේ කාරණාව නිසාමයි. ඉන්දීය සිනමාව බටහිර ලෝකයට ගෙන යන ගමනේ දැවැන්තම චරිතයක් ලෙසටත් ඇතමුන් Prabhasව හඳුන්වනවා.

මෙවැනි හේතූන් නිසා ලෝකය පුරාම විසිරී සිටින ප්‍රබාස්ගේ ප්‍රේක්ෂකාගාරය නිතරම බලන් ඉන්නේ ඔහුගේ අලුත්ම චිත්‍රපට ගැන තොරතුරු දැනගන්න… ඔහු රංගනයෙන් දායක වන නවතම නිර්මාණ නරඹන්න.. නමුත් Prabhas කියන්නේ ලැබෙන තරමටම චරිත බාර ගන්න කෙනෙකුත් නෙමෙයි. ඉදිරි වසර කිහිපයටම ඔහු රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙන්නේ බොහොම සුලු සිනමාපට ප්‍රමාණයකට විතරයි. ප්‍රබාස් ඉදිරි වසර වලදී රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපට පිලිබඳ විස්තර අන්තර්ජාල තොරතුරු අතර වනවා.

Radhe Shyam

ඉන්දියානු සිනමාවෙන් නිර්මාණය වන දැවැන්තම period-romance චිත්‍රපට අතුරින් එකක් ලෙසට සැලකෙන Radhe Shyam චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Radha Krishna Kumar විසිනුයි. ප්‍රබාස් සමඟින් සුරූපි නිළි Pooja Hegde රංගනයෙන් දායක වන මෙහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. මෙය 1970 දශකයේ යුරෝපය පසුබිම් කරගත් කතාවක් බවට නිෂ්පාදකයින් පවසා තිබෙනවා. කෝවිඩ් වසංගතය නිසා කිහිප වතාවකම රූපගත කිරීම් කල් ගිය Radhe Shyam, එළඹෙන වසරේ ජනවාරි 22වනදා ලෝ පුරා ප්‍රදර්ශනය අරඹන්නට සියල්ලම සූදානම්. වාර්තා වන අන්දමට මෙහි නිෂ්පාදන පිරිවැය ඉන්දීය කෝටි 200කට අධික බව පැවසෙනවා. ඉදිරියේදී නිකුත් වන ප්‍රබාස්ගේ පළමු චිත්‍රපටය වන්නේ මෙයයි.

Salaar

කන්නඩ සිනමාව වෙනස් කළ KGF: Chapter 01 සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Prashanth Neelගේ මූලිකත්වයෙන් වැඩ කටයුතු ඇරඹි Salaar සිනමාපටය නිෂ්පාදනය කරන්නේ ද KGF: Chapter 01 නිෂ්පාදනය කළ Hombale Films ආයතනය විසින්මයි. එළඹෙන වසරේ අප්‍රේල් 14වනදා රිලීස් කිරීමට දින නියම කර ඇති මෙය ගල් අඟුරු පතලක කතාවක් බවටත් ඇතමුන් ඉඟි කරනවා. නමුත් storyline ගැන කිසිදු තොරතුරක් තවමත් තහවුරු වී නැහැ. සුරූපී දමිළ නිළි Shruti Haasan මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවන බවට තහවුරු වී අවසන්. 2018 වසරේ Miss India තරඟය ජයග්‍රහණය කළ Meenakshi Chaudharyත් Salaar හරහා සිනමා රංගනයට පිවිසීමට ඉඩ ඇති බවට ඉන්දියාවෙන් ආරංචි වනවා. නිෂ්පාදන පිරිවැය කෝටි 150කට අධිකයි. සංගීත අධ්‍යක්ෂණය Ravi Basrur විසිනුත් කැමරාකරණය Bhuwan Gouda විසිනුත් සිදු කෙරෙනවා. ප්‍රබාස්ගේ අනෙකුත් චිත්‍රපටි මෙන්ම මෙයත් හින්දි, තෙළෙගු, දමිළ, කන්නඩ සහ මලයාලම් භාෂා 05න්ම තිරගත වීමට නියමිතයි.

Adipurush

ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඉන්දීය චිත්‍රපට අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් නිර්මාණයක් විදිහට Adipurush හඳුන්වන්නට පුලුවන්. IMDb දර්ශකයේ most anticipated upcoming movies ලැයිස්තුවෙ හි බොහෝ කාලයක් තිස්සේ තමන්ගේ නම රඳවා ගෙන සිටින Adipurush අධ්‍යක්ෂණය Om Rautගෙන්. පසුගිය 2019 වසරේ අතිසාර්ථකව තිරගත වූ අජේ දෙව්ගන්ගේ Tanhaji: Unsung Warrior නිර්මාණය කළෙත් Om Raut විසින්මයි. ඉන්දියාවේ විශාලම රෙකෝඩ් ලේබලය වන T-Series සමූහය නිෂ්පාදනය කරන මේ සිනමාපටයේ සමස්ත පිරිවැය කෝටි 500කට ආසන්න මුදලක් විය හැකි බවට ගණන් බලා තිබෙනවා. මෙය රාමයණය මුල් කරගත් කතා පුවතක්.

Project ‘K’

Project K නැමැති working title එක යටතේ නිර්මාණය වෙමින් තිබෙන මේ චිත්‍රපටය ප්‍රබාස්ගේ රංගන ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් විය හැකි බවට බොහෝ දෙනෙක් ඉඟි පළ කරනවා. Mahanati සිනමාපටය තුළින් ඉන්දීය ජාතික සම්මානයට පාත්‍ර වූ තරුණ සිනමාකරුවෙකු වන Nag Ashwin විසින් අධ්‍යක්ෂණය කරන මෙය Vyjayanthi Movies නිෂ්පාදනයක්. විශේෂත්වය වන්නේ මෙහි නිෂ්පාදන ආයතනය වන Vyjayanthi Movies යනු Nag Ashwinගේ පවුල් ව්‍යාපාර අතරින් එකක් වීමයි. එහි 50වන සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය කරන මෙම දැවැන්ත සිනමාපටයට ඉන්දීය කෝටි 200-250 අතර මුදලක් වැය වන බවටත් ඇතැම් ගොසිප් මාධ්‍ය වාර්තා කළා. ප්‍රබාස්ට අමතරව අමිතාබ් බච්චන් සහ දීපිකා පදුකෝන් ද මෙහි රංගනයෙන් දායක වීමට නියමිතයි. පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම මලයාලම් නළු ප්‍රිත්විරාජ් සුකුමාරන්ගේ නමත් මීට ඈඳුණා.

Spirit

රංගන ශිල්පී ප්‍රබාස්ගේ 25වන සිනමාපටය වන Spirit ගැන පළමු නිල නිවේදනය මාධ්‍යයට දැනුම් දුන්නේ පසුගිය ඔක්තෝබර් 07වනදායි. T-Series සහ Bhadrikali Pictures විසින් නිෂ්පාදනය කරන Spirit සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Sandeep Reddy Vanga විසිනුයි. මෑතකාලීන තෙළෙඟු සිනමාවේ අලුත් cult එකක් බිහි කළ Arjun Reddy හි අධ්‍යක්ෂකවරයා වූ Sandeep Vanga, පසුව එහි නිළ හින්දි ප්‍රතිනිර්මාණය Jersey අධ්‍යක්ෂණය කරමින් හින්දි සිනමාව තුළ තමන්ගේ ස්ථාවරත්වය ගොඩනගා ගත්තා. මේ වන විට පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන Spirit ගැන වැඩි විස්තරයක් තවම සඳහන් වන්නේ නැහැ. කෙසේ නමුත් මෙය හින්දි, තෙළෙඟු, කන්නඩ, දමිළ සහ මලයාලම් භාෂාවලට අමතරව චීන, කොරියන් සහ ජපන් භාෂාවලටත් හඬ කැවීමට නියමිතයි.

Share

52 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.