ප්‍රවීණ රංගවේදී මනෝරත්නයන් මෙලොව හැරයයි

Avatar Nisanka Weheraduwa | January 12, 2020 69 Views 1 Like 1 On 1 Rating

69 Views 1 On 1 Rating Rate it

රංගවේදී ජයලත් මනෝරත්නයන් මෙලොව හැරයයි. කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් ජනවාරි 11 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්. දශක පහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට වේදිකාව, සිනමාව සහ ටෙලි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයා පිනවූ මනෝරත්නයන් මියයන විට 71 වැනි වියේ පසුවිය.

කෙසේල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න 1948 ජුනි මස 12 වනිදා නුවරඑළිය දෙහිපේ ග්‍රාමයේදී උපත ලබා තිබේ. ලොරිරථ රියදුරකු වූ පියා සහ ගෘහණියක වූ මවගේ දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා ලෙස මනෝරත්නයන් මෙලොව එලිය දිටීය. දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පොරමඩුල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු මනෝරත්නයන් තුළ තිබූ ගායන සහ රංගන හැකියාව හඳුනාගත් සුනිල් ශ්‍රියන්ත සංගීත ගුරුතුමාගේ මගපෙන්වීම සහ පෙළඹවීම මත හෙතෙම කලාවට යොමුවිය. ද්විතියික අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය සරසවියට ඇතුළු වූ මනෝරත්නයන් ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් යටතේ නාට්‍යකරණය හැදෑරිය. පේරාදෙණිය සරසවියෙන් මූලික උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගත් මනෝරත්නයන් 2013 වසරේදී ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයෙන්ම ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීය. වේදිකාව සිනමාව ටෙලි මාධ්‍ය ඇසුරේ නළුවකු, සහ ගායකයකු ලෙස විකුම් පෑ මනෝරත්නයන් හොඳම නළුවා, හොඳම සහය නළුවා සහ හොඳම හාස්‍යෝත්පාදක නළුවා ලෙස නොයෙක්වර සම්මානයට පාත්‍රවිය.

පාසල් කාලයේ වේදිකාවට පයතැබූ මනෝරත්නයන්, “අස්ප ගුඩුන්” වේදිකා නාට්‍ය ඔස්සේ පාසල් නාට්‍ය තරග සඳහා පළාත් මට්ටමේ තරගයට ඉදිරිපත් විය. ඉන් අනතුරුව පේරාදෙණිය සරසවියේදී සිය ප්‍රසිද්ධ වේදිකා රංගනය අරඹමින් සරත්චන්ද්‍රයන් යටතේ “ප්‍රේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයට සම්බන්ධ විය. සිය ජිවන සහකාරිය වූ තමරා ජයන්ති ඔහුට හමුවූයේද මෙම නාට්‍ය රංගනය අතරතුර බව වරක් ඔහු පවසා තිබිණි. 1976 වසරේ තිලක සහ තිලකා චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි මනෝරත්නයන් සිනමාපට 43ක පමණ රංගනයෙන් දායක වූ අතර ඉන් ත්‍රිත්වයක් තවම තිරගත වී නොමැත. “මං මිස් ජෙනිස්” “ආශාවරී” “දෙවෙනි යුද්ධය” චිත්‍රපට තුන මෙලෙස තිරගත වීමට නියමිත චිත්‍රපට අතර වෙයි. සරසවි සම්මාන ත්‍රිත්වයක්, SIGNIS සම්මානයක්, ජනාධිපති සම්මාන ද්විත්වයක් ඇතුළු තවත් සම්මාන කිහිපයක් සිනමාව උදෙසා දිනාගත් මනෝරත්නයන්, වේදිකාව සහ ටෙලිනාට්‍ය විශයෙන්ද සම්මාන රැසකට හිමිකම් කීය.

Update (12 / 01 / 2019 – 09:31am)

දැනට තීරණය කොට ඇති පරිදි මනෝරත්නයන්ගේ අවසන් කටයුතු එළඹෙන බදාදා එනම්, 15 වැනිදා සවස බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය අවසන් ගෞරව පිණිස බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි මනෝරත්නයන්ගේ නිවසේ තැන්පත් කොට තිබේ.

ජයලත්ජ්‍ මනෝරත්න ජ්‍යෙෂ්ට රංගවේදියාණනි, ඔබට සුබ ගමන්….!!

Share

69 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.