පාස්පෝට් (Passport) – යූරෝ සිහිනයේ අතරමං වූ තාරුණ්‍යයේ කතාවක් ළඟදීම

Avatar Kavinu Weerakkody | April 30, 2023 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

නුදුරු දිනකදීම මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් පුරාවට රූපගත කිරීම් කළ මෙම සිනමාපටයේ කතා තේමාවේ සිටම නැවුම් ආරක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ළඟා කරවීමටයි නිර්මාණකරුවන් උත්සාහ දරා තිබෙන්නේ.
පාස්පෝට් (Passport) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ක්‍රිස් ඇන්තනි විසිනුයි. මෙරට සිටින තරුණ සිනමාකරුවෙකු වන ඔහු මීට පෙර “බාඳුරා” නමින් දිගු – වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කළත්, එය තවම තිරගත වුනේ නැහැ. පාස්පෝට් ක්‍රිස් ඇන්තනිගේ දෙවන අධ්‍යක්ෂණයයි.
ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් සමඟින් නයනතාරා වික්‍රමාරච්චි “පාස්පෝට්” සිනමාපටයෙ හි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ජගත් චමිල – ධර්මප්‍රිය ඩයස් විසින් රඟපාන්නේ අමරේ සහ සමන් නැමැති මිතුරන් දෙදෙනාගේ භූමිකායි. අමරේගේ පෙම්වතිය වන නීලාගේ චරිතය රඟ දක්වන්නේ නයනතාරායි.

ජීවිතය ජය ගන්නටත්, තමන්ගේ ආශාවන් සඵල කරගැනීමටත් තරුණයින් බොහෝ දෙනෙක් විදෙස් රටකට යෑමට සිහින දකිනවා. ඇතැමුන් නීතිවිරෝධී මාර්ග ඔස්සේ පවා විදේශයකට යෑමට පෙළඹෙන්නේ තම ජීවිතය පවා නොතකමින්. මෙවැනි නීතිවිරෝධී අන්දමට රටින් පලා යෑමට උත්සාහ දරන ඇතැම් පිරිසකගේ ජීවිත නොසිතූ අන්දමට කණපිට පෙරළෙනවා.
පාස්පෝට් සිනමාපටය ගෙතෙන්නේ ත් එවැනි නීතිවිරෝධී ක්‍රමයකින් මෙරටින් පැන යාමට උත්සාහ දරන මිතුරන් දෙදෙනෙකු වටායි.

අමරේ සහ සමන් කඳුකරයේ ජීවත් වන තරුණ මිතුරන් දෙදෙනෙක්. තමන් සිහින දකින ජීවිතය සැබෑවක් කරගන්නට ලංකාව තුළ ඉඩක් නොමැති බව වටහා ගන්නා ඔවුන් දෙදෙනා මෙරටින් යුරෝපා රටකට යෑමට උත්සාහ දරනවා. ඔවුන් උත්සාහ දරන කිසිදු ක්‍රමයක් සාර්ථක නොවූ නිසා, හොර ඒජන්සියක් මාර්ගයෙන් හෝ මෙරටින් පලා යන්නටයි මිතුරන් දෙදෙනා අවසානයේදී තීරණය කරන්නේ.
තම යුරෝපා සිහිනය වෙනුවෙන් ගිනි පොළියට ණයක් පවා ලබා ගන්නා මේ මිතුරන් දෙදෙනා හොර රහසින්ම බෝට්ටුවෙන් ඉතාලිය හරහා යුරෝපයට පැන යාමට සැලසුම් කරනවා. නමුත් ගමන මැදදි ඔවුන්ට හමුවන මැණික් ජාවාරම්කරුවෙකු නිසා මිතුරන් දෙදෙනාගේ සම්පූර්ණ සැලැස්මම වෙනස් වන අතර යුරෝපාකරය වෙනුවට මහා කාන්තාරයක් මැද ඔවුන්ගේ සිහින සියල්ලම බොඳව යනවා…

ඔවුන්ගේ සිහින සැලසුම වැරදී යන්නේ ඇයි? කිසිවෙකුත් නොදන්නා කාන්තාර රාජ්‍යයකට ඔවුන් කොටුවෙන්නේ කාගේ වරදකින්ද? ඔවුන්ගේ මෙම ගමන අතරතුර මුහුණ දෙන්නට සිදු වූ නොසිතූ දුෂ්කරතා මොනවාද? අමරේගේ පෙම්වතිය නීලාට කුමක් සිදුවෙයිද?
මේ පිළිබඳව දැනගන්නට නම් ඔබට “පාස්පෝට් (Passport)” සිනමා නිර්මාණය නරඹන්නටම සිදු වනවා.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකරය ආශ්‍රිතව මෙහි මූලික රූගත කිරීම් සිදු වුනු අතර ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ඉන්දියාව යන විදෙස් රටවල් වලදීත් ඇතැම් දර්ශන රූගත කොට තිබෙනවා. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශය තුළ දින ගණනාවක් එකදිගට රූගත කිරීම් සිදු කළ බවයි පැවසෙන්නේ.
විශේෂයෙන්ම රාජස්ථාන් ප්‍රදේශය ඉන්දු-පාකිස්ථාන් දේශ සීමාවට බොහොම ළඟින් පිහිටා තිබෙන නිසා මෙරටින් ගිය චිත්‍රපට කණ්ඩායමටත් යම් යම් අසීරුතාවලට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ආරක්ෂක අංශ පවා බොහොම සියුම්ව නිරීක්ෂණය කර තිබෙන අතර චිත්‍රපටය සඳහා ඩ්‍රෝන කැමරාවක් භාවිතයටවත් අවසර හිමිවී නැහැ.

සාමාන්‍යයෙන් චිත්‍රපට රූගත කිරීම් සඳහා අවසර ගැනීමට අපහසු ඉතාලියේ පීසා කුළුණ ආසන්න ප්‍රදේශයේ පවා “පාස්පෝට් (Passport)” සිනමාපටයේ දර්ශන පටිගත කිරීමට නිෂ්පාදක කණ්ඩායමට හැකිව තිබෙනවා. ඊට අමතරව ඔස්ට්‍රියාවේ සුන්දර දර්ශන පෙළකුත් මෙතුළින් ඔබට නැරඹිය හැකියි.

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් සහ නයනතාරා වික්‍රමාරච්චිට අමතරව ලාංකීය සිනමාවේ සිටින තවත් ජනකාන්ත නලු නිලියන් රැසක් මෙහි උපප්‍රධාන භූමිකා රඟපානවා. මහේන්ද්‍ර පෙරේරා, මල්කාන්ති ජයසිංහ, රොශාන් පිලපිටිය, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සෙනවිරත්න, අතුල ජයසිංහ, තිස්ස ගුණතිලක, හශිනිකා කරලියද්ද, සුසන්තා චන්ද්‍රමාලි, රින්ස්ලි පෙරේරා, රාජා ගනේෂන් ආදී බොහෝ දෙනෙකුගේ රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩවී තිබෙනවා.

මහේන්ද්‍ර පෙරේරා නිරූපණය කරන්නේ කොළඹ කුප්‍රකට ඒජන්සිකාරයෙකුගේ චරිතයයි. ගලිවර් නැමැති හොර මැණික් ව්‍යාපාරිකයාගේ චරිතය මෑතකදී අප අතරින් වෙන්වුනු දර්ශන් ධර්මරාජ් නිරූපණය කරනවා.
මීට අමතරව අප්‍රිකානු ජාතිකයින් පිරිසක් ද මෙහි රංගනයෙන් දායක වනවා.

පාස්පෝට් (Passport) හි පළමු පූර්ව ප්‍රචාරක ටීසර්පටය අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පසුගියදා පැවැත්වූ “DGSL සිනමාභිමාන – 2023” සිනමා උළෙලේදීත් මෙය ප්‍රදර්ශනය කළා. එහිදී දිවයින පුරා පිහිටි සිනමාහල් 16කදී මෙම සිනමාපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට රසිකයින්ට හැකියාව ලැබුනා.
එහිදී නිර්මාණය රස විඳි බොහෝ දෙනෙකුගෙන් ලැබී තිබුනේ සතුටුදායක ප්‍රතිචාරයක්!

ප්‍රියන්ත මලවිගේ සහ විශ්වජිත් කරුණාරත්නගේ සුසංයෝගයෙන් කැමරා අධ්‍යක්ෂණය සිදුවුනු මෙම නිර්මාණයේ අංග රචන ශිල්පියා රුචිර සංජීවයි. අරුණ ඩයස්ගේ කලා අධ්‍යක්ෂණයෙන් සහ සවන් පවිත්‍රගේ ඇඳුම් නිර්මාණකරණයෙන් චිත්‍රපටය හැඩවී තිබෙනවා. ප්‍රසාද් ඇන්ටනි මෙහි නිෂ්පාදන කළමනාකාරවරයායි. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදුවුනේ ශාන් අල්විස් විසිනුයි.
නිලාර් එම් කාසිම් සහ කැලුම් ශ්‍රීමාල්ගේ ගීත රචනයෙන් හැඩවුනු මෙහි ගීත ගායනය සඳහා එක්වන්නේ දුමාල් වර්ණකුලසූරිය, සුබුද්ධි ලක්මාලි සමඟින් සංජුල ගිමන්තයි. සහාය අධ්‍යක්ෂණය ප්‍රනීත් ගුණරත්න සහ නිරෝෂන් එදිරිමාන්නයි. රේඛීය නිෂ්පාදනය ලලිත් වරුණ රාජපක්ෂ විසිනි. චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ අධ්‍යක්ෂකවරයා විසින්මයි.
පාස්පෝට් (Passport), අවුරා ලංකා එන්ටටේන්මන්ට් වෙනුවෙන් විරාජිත් තාඹුගලගේ නිෂ්පාදනයකි.

Share

172 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.