පුනීත් රාජ්කුමාර් හෘදයාබාධයකින් අවසන් ගමන් යයි.

Avatar Nisanka Weheraduwa | November 8, 2021 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

පසුගිය සතියේදී කන්නඩ සිනමාවෙන් අහන්නට ලැබුණු දුක්බර ආරංචියක් මුලු ඉන්දීය සිනමාවම කණගාටුවට පත්වුනා. ඒ සුප්‍රකට කන්නඩ නලු Puneeth Rajkumarගේ හදිසි අභාවය හේතුවෙනුයි. රංගන ශිල්පියෙක් වශයෙනුත්, සරල නිහතමානී පුද්ගලයෙක් වශයෙනුත් Puneeth Rajkumar හිමි කරගෙන තිබූ රසික ආදරය නිසාම ඔහුගේ මේ හදිසි අභාවය මුලු ඉන්දීය සිනමාවටම තදින් දැනී තිබුණා. වර්තමාන කන්නඩ සිනමාවේ වැඩිම ප්‍රේක්ෂකාගාරය හිමි රංගන ශිල්පියා වූ ඔහු දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත සලකුණක්. පුනීත්ගේ මරණයට හේතුව ලෙසින් වෛද්‍යවරුන් දක්වන්නේ හෘදයාබාධයක්. මිය යෑමට පෙර දින සිටම ඔහු යම් රෝගී තත්වයකින් පෙලුණත් එය තැකීමක් නොකරම සාමාන්‍ය අයුරින් දවස ගත කර තිබුනා. නමුත් එහි බරපතල තත්වය ඇති වී තිබුණේ ඊට පසුදින සිකුරාදා, ඔහු ව්‍යයාම් කරන අතරතුරේදීයි. ව්‍යායාම් කරන මොහොතේ එක්වරම ඇති වූ හදෘයාබාධයෙන් පසු Puneeth Rajkumarව ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා වන Ramana Raoගේ රෝහලට රැගෙන ගොස් තිබුනා. නමුත් තත්වය දරුණු නිසාම Vikram Hospital වෙත මාරු කර යැවුනත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වුනේ නැහැ. පුනීත්ව රෝහලට රැගෙන විටත් මේ ආරංචිය සැලවුණු රසිකයින් සිය ගණනක් රෝහල වට කර තිබුනේ ඔහුගේ තත්වය පිළිබඳව නිවැරදි තොරතුරක් දැන ගැනීමේ අපේක්ෂාවෙන්.

ප්‍රාන්ත මහ ඇමති Basavaraj Bommai සහ සුප්‍රසිද්ධ කන්නඩ නළු නිළියන් කිහිප දෙනෙක්ම පුනීත් ප්‍රතිකාර ලැබූ රෝහලට පැමිණියේ ඒ සමඟයි. Puneeth Rajkumarගේ තත්වය දරුණු බවට රෝහල් මාධ්‍ය ප්‍රකාශ කිරීමත් සමග මේ ප්‍රවෘත්තිය දකුණු ඉන්දීය නාලිකා බොහෝමයක ප්‍රධානම සිරස්තලය බවට පත් වුණා.  උදෑසන 11.40ට පමණ රංගන ශිල්පී පුනීත් හදෘයාබාධයක් සහිතව තම රෝහලට ඇතුළත් වූ බවත්, ඔහුගේ තත්වය අසාධ්‍ය මට්ටමට පැමිණ ඇති බවත් රෝහල නිළ වශයෙන් පවසා තිබුනා. නමුත් මේ කිසිදු ප්‍රතිකාරයකින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. රෝහලට ඇතුළත් කර පැය කිහිපයකින් ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුනා. මිය යන විට 46 වියේ පසු වූ Puneeth Rajkumarගේ අවමංගල්‍ය උත්සවයට මිලියනයකට එහා ගිය ජනකායක් පැමිණි බවත් කන්නඩ මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ මරණය නිසා රසිකයින් 04 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙන අතර තවත් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවත් අන්තර්ජාලයේ සඳහන්.

එතෙක්’ මෙතෙක් කන්නඩ සිනමාවෙන් බිහි වූ දැවැන්තම රංගන ශිල්පියා වශයෙන් හඳුන්වන Dr. Rajkumarගේ බාල පුත්‍රයා වන Puneeth Rajkumar, රංගන ශිල්පී Siva Rajkumarගේ සහෝදරයායි. 1982දී Chalisuva Modagalu සිනමාපටය වෙනුවෙන් “හොඳම ළමා නළුවාට හිමි ප්‍රාන්ත සම්මානයෙන්” පිදුම් ලබන ඔහු  1985 වසරේ Bettada Hoovu චිත්‍රපටය උදෙසා “හොඳම ළමා නළුවාට හිමි ඉන්දීය ජාතික සම්මානය” ජයග්‍රහණය කරන්නටත් සමත් වනවා. තරුණ වියේදී ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම නිර්මාණය වුණු Appu සිනමාපටය විශාල ආදායම් වාර්තාවක් තබමින් අතිශය සාර්ථකත්වයටත් පත් වුනා. එතැන් සිට රසිකයින් ඔහුව හැඳින්වූයේත් Appu නමිනුයි.

Abhi, Arasu, Jackie, Hudugaru සහ Rana Vikrama වැනි චිත්‍රපට හරහා වාණිජ නළුවෙක් වශයෙන් දැවැන්ත ස්ථාවරත්වයකට දිනාගන්නට ඔහු සමත් වුනා. 2017 වර්ෂයේදී Puneeth Rajkumar රංගනයෙන් එක් වූ Rajkumara සිනමාපටය එතෙක් වැඩිම ආදායම්ලාභි කන්නඩ සිනමාපටය බවට පත් වුනේ ඔහුගේ රසික ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමිනුයි.  රංගන ශිල්පියෙක් වගේම නිර්ලෝභී ධානපතියෙකු වශයෙනුත් Puneethව හැඳින්වෙනවා. දුප්පත් දරුවන්ට නොමිලේ පාසල් 45ක්… අනාථ නිවාස 26ක්… වැඩිහිටි නිවාස 16ක්… ඉදි කරමින් දරුවන් 1800කට නොමිලේ අධ්‍යාපන පහසුකම් ඇතුළු සමාජ සේවා රාශියක් සිදු කළ Puneeth Rajkumar තමන්ගේ රසිකයින්ව ඉතාම කුලුපගව ආශ්‍රය කළ චරිතයක් විදිහටත් ප්‍රසිද්ධයි.

Yash, Darshan, Kichcha Sudeep ඇතුළු කන්නඩ රංගන ශිල්පීන් බොහෝමයක් ඔහුගේ අවමංගල්‍යයට සහභාගී වී සිටියා. ඊට අමතරව Rashmika Mandana, Nagarjuna, Ram Charan, Chinranjeevi සහ Sivakarthikeyan ඇතුළු සුප්‍රසිද්ධ ඉන්දීය නළු නිළියන් ගණනාවක්ම පුනීත්ට අවසන් ගෞරව දැක්වීමට බැංගලෝරයට පැමිණියා. පුනීත් රාජ්කුමාර්ව අවසාන වතාවට දැකගත හැකි වුනේ මෙම වසර මුලදී නිකුත් වූ  Yuvarathnaa චිත්‍රපටයෙන්. ඔහුගේ බොහෝමයක් චිත්‍රපට වගේම එයත් සමාජ ගැටළුවක් මුල් කර ගනිමින් ගොඩ නැගුනු නිර්මාණයක්. Yuvarathnaa චිත්‍රපටයෙන් පසු එහි අධ්‍යක්ෂක Santhosh Anaddram සමග පුනීත් තවත් චිත්‍රපටයකට ගිවිසුම්ගත වුනා. මේ අවාසනාවන්ත සිද්දිය නිසා Dvitva නමින් හැදින් වූ එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මුලුමනින්ම අතහැර දැමීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙන බවත් ඇතැම් කන්නඩ මාධ්‍ය වාර්තා කරනවා. නමුත් බොහෝ දුරට වෙනත් නළුවකු යොදා ගනිමින් එය ඉදිරියේදී රූපගත කරන්නට ඉඩ තිබෙනවා. මිය යෑමට පෙර පුනීත් රංගනයෙන් දායක වූ අවසාන නිර්මාණය වන්නේ James චිත්‍රපටයයි. Chethan Kumar අධ්‍යක්ෂණය කළ එහි පසු නිෂ්පාදන කටයුතු පවා බොහෝ දුරට අවසන් කර තිබෙන බව සඳහන්. දැනට ලැබෙන ආරංචි අනුව එළඹෙන මාර්තු මාසයේදී James සිනමාපටය තිර ගත කරන්නට නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙනවා.

Share

64 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.