පෙබරවාරි 17 සිට තිරයට එන “තට්ටු දෙකේ ඉස්කෝලේ”
ඈත එපිට ගම්මානයක කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු තවත් සුන්දර සිනමා නිර්මාණයක් එළඹෙන පෙබරවාරි 17 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ ලලිත් රෝහිත එදිරිසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “තට්ටු දෙකේ ඉස්කෝලේ” ලාංකීය සිනමාපටයයි.
සූරියපාලුව අගනුවරින් බොහොම දුර බැහැරක පිහිටා තිබෙන දුෂ්කර නමුත් සුන්දර ගම්මානයක්. කුඩා පවුල් කිහිපයක් පමණක් වාසය කරන එම ගම්මානයේ දරුවන්ට අකුරු කරන්නට තිබෙන්නේත් එකම එක කුඩා ඉස්කෝලයක් පමණයි. නමුත් කිසිවෙකු නොසිතූ පරිදි එහි වෙසෙන දරුවන්ට අකුරු කරන්නට තිබුනු එකම ඉස්කෝලයත් ඔවුන්ට අහිමි වී යන්නේ ලංකාව පුරාම පැතිරුනු මැලේරියා වසංගතය නිසාවෙනුයි.
සූරියපාලුව ගම්මානයත් මැලේරියා වසංගතයෙන් ගිල ගනිද්දි, එම ගම්මානයේ තිබුනු පාසලේ ගුරුවරුනුත් පාසල අතහැර යන්නට පටන් ගන්නවා.
අවසානයේදී ඉතිරි වන්නේ ගුරුවරු නොමැති පාසලකුත්, එහි මුරකරුවා වූ පාල මාමාත් පමණයි. සූරියපාලුව ගමේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබූ අසීමිත සෙනෙහස සහ ළබැඳියාව නිසාම, එතැන් සිට දරුවන්ට ජීවිතය කියා දීමටයි පාල මාමා තීරණය කරන්නේ…
සූරියපාලුව ගම්මානයේ කුඩා පාසල අසල තිබෙන දැවැන්ත සියඹලා ගස “තට්ටු දෙකේ ඉස්කෝලයක්” බවට පත් වන්නේ ඉන් පසුවයි. පාල මාමා තමන්ට හැකි අයුරින් සොබා දහම සහ සතා සිව්පාවන් ඇසුරෙන් සූරියපාලුව ගම්මානයේ දරුවන්ට ජීවිතය පිළිබඳ කියා දෙන අතර, ඔවුනුත් පාල මාමා ඇසුරෙ හි තමන්ගේ ජීවිතය ගත කරන්නට පටන් ගන්නවා.
“තට්ටු දෙකේ ඉස්කෝලේ” සිනමාපටයට පාදක වී තිබෙන්නේ පාල මාමා සහ ගම්මානයේ දරුවන් අතර සිදුවන එම සෙනෙහසේ කතාන්දරයයි.
ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ පළමු දිගු – වෘතාන්ත චිත්‍රපටය මෙය වන අතර ඔහු මාධ්‍යවේදියෙකු, තිර පිටපත් රචකයෙකු සහ නවකතාකරුවෙකු ලෙසත් මෙරට පාඨකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත් වූ අයෙක්. තට්ටු දෙකේ ඉස්කෝලේ තිර පිටපත සහ දෙබස් රචනා කොට තිබෙන්නේත් ඔහු විසිනුයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පාල මාමාගේ භූමිකාව නිරූපණය කරන්නේ මෙරට සිටින දක්ෂ – ජනප්‍රිය රංගවේදියෙකු වන ජගත් චමිලයි. වරෙක ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඔහු තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටය තුළ දක්ෂ හැඟීම්බර රඟපෑමක් සිදු කොට තිබෙන බවටයි බොහෝ දෙනෙකු පවසන්නේ…
නමුත් පාල මාමාගේ චරිතය සඳහා මුලදී තෝරාගෙන තිබෙන්නේ ජගත් චමිලව නොවෙයි.
මෙරටින් බිහිවූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජයලත් මනෝරත්නයන්ව එම චරිතයට මුලදී තෝරාගෙන තිබුනත් අසනීප තත්වයක් නිසා තට්ටු දෙකේ ඉස්කෝලෙන් ඉවත් වීමට ඔහු සිදුව තිබෙනවා. පාල මාමාගේ භූමිකාව සඳහා ජගත් චමිලට අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවයි.
පහත සබැඳිය ඔස්සේ සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.
මංජුලා කුමාරි, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, වොල්ගා කල්පනී, නයනා හෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන්, ජනක් ප්‍රේමලාල්, ෆර්නි රෝෂණී සහ අවන්ති අපොන්සු වැනි මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම මෙම සිනමාපටයෙ හි උපප්‍රධාන චරිත රඟ දක්වනවා. ආදරය – මව්පිය සෙනෙහස – පරිසර ලැදියාව – සුන්දර ළමාවිය මනාව කියාපාන මෙම නිර්මාණය හරහා නවක ළමා නලු නිළියන් පස් දෙනෙකුත් මෙරට සිනමාවට හඳුන්වා දෙනවා.
සුදම් කටුකිතුළ, ලංකානාත් රන්දීප, රවීශා දිව්‍යාංජලී, දහම්සා තරුදිසි, දුලන්යා සයුන්දි, අකාෂ ගුණතිලක සහ සහෙන් පන්සිළු “තට්ටු දෙකේ ඉස්කෝලේ” හැඩ කරන ප්‍රධාන ලමා නලුනිළි පිරිසයි.
මයුර කෞෂල්‍ය හේවාවසම් විසින් කැමරා අධ්‍යක්ෂණය හසුරුවන අතර චිත්‍රපටයේ සංස්කරණය සිදුකර තිබෙන්නේ ප්‍රවීන් ජයරත්නයි. කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල් සහ සහාය අධ්‍යක්ෂණය අමිල සඳුන් ප්‍රේමරත්නයි. සශින් ගිම්හාන් පෙරේරා ශබ්ද පරිපාලකයා වශයෙන් කටයුතු කරන අතර “තට්ටු දෙකේ ඉස්කෝලේ” හි සංගීත අධ්‍යක්ෂණය ජගත් රස්නායක විසිනුයි.
චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙන්නේ වෛද්‍ය නිශාන්ත ප්‍රදීප් රොද්‍රිගුයි.
පසුගිය 2021 වසරේදී “තට්ටු දෙකේ ඉස්කෝලේ” විදෙස් දර්ශනවාර කිහිපයක් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව පැවැත්වුනු අතර එහි නගර 20කට අධික ප්‍රමාණයක මෙය තිරගත වුනා. ඒ මාලක යාපා ප්‍රධානත්වය දරන Mega Live Events හි සහයෝගය ඇතිවයි. දින විස්සකට අධික කාලයක් පුරාවට ලංකාවේ සුන්දර දර්ශන තල ගණනාවකදී රූපගත කෙරුණු මෙම චිත්‍රපටය, අධ්‍යපානය මූලික කරගත් තේමාවක් ඔස්සේ දිගහැරෙන – පවුලේ සැමට නැරඹිය හැකි අපූරු නිර්මාණයක් වනු නොඅනුමානයි.
එළඹෙන පෙබරවාරි 17 වනදා සිට MPI මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමාහල් රැසක “තට්ටු දෙකේ ඉස්කෝලේ” ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමා ශාලාවන් හි සම්පූර්ණ ලැයිස්තුවක් පහතින් දැක්වෙනවා.
කොළඹ දිස්ත්‍රික්කය ~
PVR – වන්ගෝල්ෆේස්
රිකී – බොරැල්ල
රිට්ස් – කොළඹ කොටුව
ඒමීස් – මොරටුව
සැවෝයි මෙට්‍රෝ – මහරගම
ලිඩෝ – බොරැල්ල
MC – බම්බලපිටිය
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ~
KCC Multiplex – මහනුවර
රීගල් – ගම්පහ
හිමාලි – කිරිබත්ගොඩ
මිනෙර්වා – කලුතර
විල්මැක්ස් – අනුරාධපුර
රීගල් – අම්බලන්ගොඩ
මහලේකම් – කුලියාපිටිය
රමෝගා – වෙන්නප්පුව
EDC – කැකිරාව
ආසිරි – ඇහැළියගොඩ
සන්ධ්‍යා – ගම්පොළ
නන්දා – නිකවැරටිය
රෝයල් – මීගමුව
රමෝගා – හලාවත
ජෝති – රත්නපුර
Written by Kavinu Weerakkody