බ්‍රිතාන්‍ය චිත්‍රපටයක රඟන ලාංකික නිළිය – සුරංගා රණවක
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි
ලාංකික සිනමා නළු නිළියන්ට ඉන්දියාව, පාකිස්ථානය ආදී දකුණු ආසියානු කාලාපීය රටවල සිනමාපට තුළ රංගනයේ යෙදීමට අතීතයේ සිටම සැලකියුතු ප්‍රමාණයේ අවස්ථා හිමිව ඇති බව දක්නට ලැබේ. එහෙත් යුරෝපීය හෝ හොලිවුඩ් සිනමාපටයක රංගනයේ යෙදීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවන්නේ කලාතුරකිනි. එලෙස අවස්ථාව හිමිව ඇත්තේද, ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් එම රටවල දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ට හෝ එහි උපත ලද ශ්‍රී ලාංකේය සම්භයක් ඇති පුද්ගලයන්ටය. එසේ නොමැතිව ශ්‍රී ලංකාව තුළ දිවි ගෙවමින් සිනමා වෘත්තීයේ යෙදෙන නළුවෙකුට හෝ නිළියකට යුරෝපීය රටක සිනමාපටයක චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව හිමිවීම ඉතා විරලය. එහෙත් එකී විරල වූ අවස්ථාවක් තම රංගනයෙන් ඔප දැම්මීමට සිනමා නිළි සුරංගා රණවක පසුගියදා සමත් වූවාය. ඒ මේ වසරේ පෙබරවාරි මස 21 වෙනිදා සිට බ්‍රිතාන්‍ය තුළ වූ සහ පෙබරවාරි 28 වෙනිදා සිට ඇමෙරිකාව තුළ වූ සිනමා ශාලා වෙත මුදාහළ බ්‍රිතාන්‍ය- ඇමෙරිකානු සම නිෂ්පාදනයක් වූ “ග්‍රීඩ්” (Greed) නම් වූ සිනමාපටය තුළ රංගනයේ යෙදීමෙනි.
චන්ද්‍රන් රත්නම්ගේ අලිමංකඩ (Road from Elephant Pass) චිත්‍රපටය හරහා සිනමා රංගනයට අවතීර්ණ වන සුරංගා රණවක, ඉන් අනතුරුව “සුළග ගිනි අරන්”, “ප්‍රේමය නම්”, “සුළග අප රැගෙන යාවී” ආදී සිනමා නිර්මාණ තුලින් සිය කුසලතාවය පෙන්නුම් කිරීමට සමත් වූවාය. දේශීය සිනමාපට 10 කට ආසන්න සංඛ්‍යාවක රංගනයේ යෙදී ඇති ඇයගේ රංගනය ඇතුළත් පළමු විදෙස් සිනමාපටය ලෙසින් “ග්‍රීඩ්” තිරගත වේ. ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතික නළු නිළියන් වන Steve Coogan, David Mitchell, Isla Fisher, Asa Butterfield, Dinita Gohil, Sophie Cookson, Jonny Sweet, Shirly Henderson, Shanina Shalk, Sarah Solemani වැන්නවුන්ගේ රංගනයෙන් හැඩවෙන ග්‍රීඩ් චිත්‍රපටයට, විලාසිතා ලොව රජ කළ සර් රිචඩ් මැක්රෙඩිගේ (Sir Richard McCreadie) ජීවිත කතාව මුල් වී ඇත. චිත්‍රපටය තුළ වූ චරිත අතුරින් ප්‍රේක්ෂක අවධානයට ලක් වන අමන්දාගේ (ඉන්දීය සම්භයක් සහිත බ්‍රිතාන්‍ය නිළි දිනිතා ගෝහිල් රඟන) මවගේ චරිතයට සුරංගා රණවක රංගනයෙන් දායකව තිබේ. මෙහිදී අමන්දාගේ මවගේ චරිතය චිත්‍රපටය තුළ දිග හැරෙන තිර කාලය මිනිත්තු කිහිපයකට සීමා වුවද, බෆ්ටා සම්මානලාභී ලොව ප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සැලකෙන මයිකල් වින්ටර්බොටම්ගේ (Michael Winterbottom) සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකේය නිළියකට හිමිවූ අවස්ථාව සුවිශේෂී වේ. ග්‍රීසිය, බ්‍රිතාන්‍ය, මොනාකෝ රාජ්‍යය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවල රූපගත කොට ඇති “ග්‍රීඩ්” චිත්‍රපටයේ සුරංගා රණවකගේ චරිතයට අදාල දර්ශන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල රූපගත කර ඇත.
අනූව දශකයේ පටන් කාන්, වෙනීස්, බර්ලින්, කාලෝවී වේරී, සියැටල්, සෙන් සෙබස්තියන්, ලන්ඩන්, ටාලින් බ්ලැක් නයිට්ස්, ටෝකියෝ ආදී ලොව ප්රමුඛ පෙළ උළෙලවල ප්‍රධාන සම්මානයන්ට නිර්දේශ වෙමින්ද, එම ඇතැම් සම්මාන දිනාගනිමින්ද අන්තර්ජාතික සිනමා උළෙල තුල කීර්තිමත් අධ්‍යක්ෂකවරයෙකු බවට පත්ව ඇති මයිකල් වින්ටර්බොටම්, ඔහූගේ නවතම නිර්මාණය වූ “ග්‍රීඩ්” චිත්‍රපටයේ මංගල දැක්ම 2019 වර්ෂයේදී ලොව ප්‍රකට ටොරොන්ටෝ සිනමා උළෙලේදී පැවැත්වීමට සමත් විය.





Written by Nisanka Weheraduwa