හොලිවුඩ් රසිකයින්ට ඔක්තොබරයට JOKER

Avatar Nisanka Weheraduwa | October 9, 2019 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

හොලිවුඩ් සිනමා රසිකයින් මේ වෙනකොටත් මේ අලුත් ආරංචිය ගැන ඉතා හොඳින් දන්නවා. නමුත් ඒ ගැන තවත් තොරතුරු හොයන අය වෙනුවෙනුයි මේ සටහන. ඔක්තෝබර් 4 වැනිදා, ඒ කියන්නේ දැනට දවස් පහකට කලින් ලෝකය පුරා තිරගත කිරීම පටන් ගැනුණු අලුත්ම චිත්‍රපටය ගැන. “JOKER”, මේ වෙද්දී ඉතා හොඳ ප්‍රතිචාර සමග ලොවපුරා තිරගත කෙරෙනවා.

මේ චිත්‍රපටයට පදනම් වන්නේ හොලිවුඩයේ DC Comics චරිත. මේ ව්‍යාපෘතිය පටන් ගැනෙන්නේ 2016 අවුරුද්දේ. එතැන් සිට 2017 වනතුරු අවුරුද්දක කාලයක් මේ චිත්‍රපටයේ පිටපත ලියවෙනවා. ඒ, Tod Phillips සහ Scott Silver දෙදෙනා විසින්. මේ චිත්‍රපටයේ මුලික නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නේ 2018 අවුරුද්දේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජෝකර් විදිහට රඟපාන්න ඔවුන් තෝරා ගන්නේ Joaquin Phoenix කියන නළුවාව. මේ ගැන මුලින් නම් මතභේද පවා තිබුණු බව කියවෙනවා. ඔහු කොච්චරක් මේ වගේ රංගනයකට ගැලපෙයිද කියන එක ගැන. නමුත් ඒ චරිතය අධ්‍යක්ෂවරයා වගේම නළුවාත් අභියෝගයක් විදිහට බාරගත් බව තමයි කීප වරකදීම මේ දෙන්නම පවසා තිබුනේ.

අනපේක්ෂිත විදිහට අදාළ නොවන වෙලාවල මහා හයියෙන් හිනාවෙන පුරුද්දක් තියෙන Arthur Fleck කියන්නේ Party Clown ශිල්පියෙක්. චිත්‍රපටයේ කියවෙන්නේ 1981 කාල වකවානුව. අනපේක්ෂිත විදිහට මැර කල්ලියක ප්‍රහාරයකට මුහුණදෙන Fleckට ඔහුගේ යාලුවෙක් තුවක්කුවක් දෙන්නේ තමන්ගේ  ආරක්ෂාවට.දවසක් Subway එකකදී ව්‍යාපාරිකයින් තුන්දෙනෙක් Fleck එක්ක ඇතිකරගන්න ගැටුමකින් දෙදෙනෙක්ම මිය යන්නේ Fleckගේ තුවක්කු උණ්ඩ නසා. ඒ වෙලාවේ clown mask cover එකත් එක්කමයි ඔහු ඉන්නෙ. කොහොම වුනත් මේ සිද්දි සියල්ල එක්ක Fleckගේ ජිවිතයේ ඉදිරිය මොන විදිහට තීරණය වෙයිද..? ඔහුට ඊළඟට මොන විදිහේ තත්වයන්ට මුහුණ දෙන්න වෙයිද.? ඒ සිදුවීම් එක්ක චිත්‍රපටය ගලාගෙන යනවා.

චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය පැවැත්වුනේ 76 වැනි වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී. උළෙල නියෝජනය කළ  චිත්‍රපට අතුරින් Golden Lion සම්මානය දිනා ගන්න JOKER චිත්‍රපටයට හැකියාව ලැබුනා. ඒ වගේම පහුගිය දවස් වල බොලිවුඩ් වගේම ලෝකයේ බොහෝ සිනමා විචාරකයින් මේ චිත්‍රපටය ගැන ලිපි පළකර තිබුනා. ඒ බොහොමයක් යහපත් ප්‍රතිචාර. විශේෂයෙන්ම චිත්‍රපටයේ සැලසුම, අන්තර්ගතය, පිටපත කියන අංශ ගැන ඔවුන් ප්‍රසාදය පලාකොට තිබුනා. ඒ අතුරින් විශේෂයෙන්ම Phoenixගේ රංගනයට හැම අතින්ම යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඔහුගේ රංගනය විශිෂ්ට බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

ලාංකීය ප්‍රේක්ෂකයින්ටත් JOKER චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව තියෙනවා.

 

Share

68 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.