භාරතයේ ගීත කෝකිලාවිය දිවි ගමනින් සමු ගනී

Avatar Kavinu Weerakkody | February 9, 2022 145 Views 0 Likes 0 Ratings

145 Views 0 Ratings Rate it

තම මධුර ස්වරයෙන් ලෝකයක් අමන්දානන්දයට පත් කළ ඉන්දියානු ගීත කෝකිලාවිය, ලතා මංගේෂ්කාර් පසුගියදා ජීවිතයෙන් සමු ගත්තා. මිය යන විට 92වන වියෙහි පසු වූ ඇය භාරතයේ සිටි ජනප්‍රියම ගායන ශිල්පිනිය වශයෙන් හැදින්වූවත් වරදක් නැහැ. මුලු ඉන්දියාවම වසඟයට ගත් ගීත දහස් ගණනකට තම හඬ මුසු කළ ලතා මංගේශ්කාර් වරෙක ගිනස් ලෝක වාර්තාවකට පවා හිමිකම් කියූ ගායන ශිල්පිනියක්…

කෝවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පසුගිය ජනවාරි 08 වනදා මුම්බායි හි Breach Candy රෝහලට ඇතුළත් කළ ඇය, එහි දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියා. කෙමෙන් කෙමෙන් ඇගේ රෝගී බව සුව අතට හැරෙන බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කළ ද, කෝවිඩ් තත්වය උත්සන්න වීමෙන් හටගත් නිව්මෝනියා තත්වයක් හේතුවෙන් ඇය පසුගියදා ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

මුම්බායි හි දක්ෂතම වෛද්‍යවරයෙකු ලෙසින් සැලකෙන, ඇයට ප්‍රතිකාර කළ Breach Candy රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය Pratit Samdani මහතා ප්‍රකාශ කළේ තමන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇයව බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම සිදු කළත්, ඇය සිටියේ බොහොම අවිනිශ්චිත සහ දුර්වල තත්වයක බවයි.
ඇගේ මරණයත් සමඟ ඉන්දීය මධ්‍යම රජය විසින් මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි දින දෙකක (පෙබරවාරි 6-7) ශෝක කාලයක් පැනවූ අතර එම කාලය තුළදී ජාතික ධජය ඇතුළු සියලුම ධජ අඩකුඹු කර තිබිය යුතු බවටත් දැනුම් දුන්නේ ඇයට කෙරෙන ගෞරවයක් වශයෙනි.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, උප ජනාධිපති වෙන්කයියා නයිඩු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රාශියක් ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියකට සහභාගී වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එදින සිය තරඟය ක්‍රීඩා කළේ කළු පැහැති අත් පළදනාවක් සමඟයි. ඒ ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් වෙනුවෙන් තම අවසන් ගෞරවය පළ කරමින්…

ඊට අමතරව ඉන්දියාවේ සුප්‍රසිද්ධ නලු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල ජනකායක් ඇගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුනා. එම උත්සවයට සහභාගී වූ හින්දි නලු ශාරුක් ඛාන් සහ ඇගේ කළමනාකාරිනිය වන පූජා දද්ලානිගේ ඡායාරූපයක් ද මේ දිනවල අන්තර්ජාලයට පුරා සැරිසරනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බංගලාදේශ අගමැතිනි ශෙයික් හසීනා, නේපාල අග්‍රාමාත්‍ය ශේර් බහදුර් මෙන්ම මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙක් ද ලතා මංගේශ්කාර්ගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩ නිකුත් කරමින් තම කණගාටුව පළ කළා.

1929 සැප්තැම්බර් 28 වනදා මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝරයේදී උපත ලැබූ ලතා මංගේශ්කාර් “භාරතයේ නයිටිංගේල්” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබනවා. වයස අවුරුදු 13දී පමණ චිත්‍රපට ගීත ගායනය ඇරඹි ඇයව මුල් කාලයේදී බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින් විසින් ප්‍රතික්ෂේප කළ බවත් පැවසෙනවා. නමුත් ඉතාම කෙටි කාලයකින්ම ගායිකාවක වශයෙන් ක්ෂේත්‍රයේ ස්ථාවර වූ ලතා මංගේෂ්කාර්, මිය වනවිට භාෂා 40කට ආසන්න ගීත දහස් ගණනක හිමිකාරිනියක වූවා. ඒ අතරින් ඉන්දියානු භාෂා 36ක්ද විදේශ භාෂා කිහිපයක් ද වනවා.

2001 දී ජාතියට කළ දායකත්වය අගයමින්, ඇයට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න ගෞරව සම්මානය පිරිනමන ලදී. එමෙන්ම  2007 වසරේදී ප්‍රංශය විසින් සිවිල් පුරවැසියෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ලීජන් ඔෆ් ඔනර් සම්මානයෙන් ද ඇයට පිදුම් ලැබුවා. මිය යන විට ඉන්දීය ජාතික සම්මාන 03ක්, ෆිල්ම්ෆෙයා සම්මාන 04ක් ඇතුළුව සමස්ත සම්මාන 80කට අධික ප්‍රමාණයකට හිමිකම් කියූ ලතා මංගේෂ්කාර් වරෙක ගිනස් ලෝක වාර්තාවකට ද හිමිකම් කියූවා. නමුත් ඇගේ ගීත ප්‍රමාණය නිසි ආකාරයෙන් සනාථ කරගැනීමට නොහැකි වූ නිසා එහි අයිතිය ඇගෙන් ගිලිහුණත්, එයින් ලතා මංගේෂ්කාර්ගේ කීර්තියට දශමයකින් හෝ අඩුවක් සිදු වුණේ නැහැ.

ඇගේ ගායන ජීවිතයේ ස්වර්ණතම අවධියක් ලෙස සැලකෙන 1950 වසරේදී පළමු වරට විදේශීය චිත්‍රපටයක් වෙනුවෙන් පසුබිම් ගීත ගායනයෙන් එකතු වන්නටත් ඇයට හැකියාව ලැබුණා. ඒ ඉදිරියේදී නිකුත් වන්නට තිබූ සිංහල චිත්‍රපටයක් වූ “සැඩ සුළං” හි පසුබිම් ගායිකාවක වශයෙනුයි…

ෆ්ලොරිඩා ජයලත් සහ ප්‍රේම් ජයන්ත්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවූ සැඩ සුළං චිත්‍රපටය තිරගත වුණේ 1955 වසරේදීයි. ටී සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කළ එය සංගීතවත් කළේ Susarla Dakshinamurthi නැමැති ඉන්දීය සංගීතඥයා විසිනි.
සැඩ සුළං සිනමාපටය වෙනුවෙන් ලතා මංගේෂ්කාර් ගීත දෙකක් ගායනා කළ අතර එම ගීත දෙකම රචනා කළේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා විසිනුයි. “ශ්‍රී ලංකා මාතා මා” සහ “ඉදිරියටා යමු සැවොමා” යනුවෙන් හැඳින්වෙන එම ගීත ද්විත්වය එකල අතිශය ජනප්‍රියත්වයට පත් වුණු බවද සඳහන් වනවා.

ශ්‍රී ලංකා මාතා මා ගීතය :

ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි
ශ්‍රී ලංකා මාතා – මා ප‍්‍රියාදර ජය භූමී
ජය භූමී – ජය භූමී – ශ‍්‍රී ලංකා

සිරි දරු මෙළ දිවි පුරාතනේ
ජයකොඩි නැංවූ වීර විකුමැති මා
රම්‍ය දරුවනේ

කෝ අනේ – අද දිනේ – කිම වුණේද
දරුවනි අද
නෑ පෙනෙන්නට කිසි තැනේ
කොයි ගියේද මා දමා
පෙම්බර මා පැටවුනේ – පෙම්බර මා පැටවුනේ

ලකඹර ජය කේළි නගා
සැමට සුපිරි සෙත සදා
කර ශ‍්‍රී සෞභාග්‍ය ළඟා
ගියේ ඇයි මා දුකෙහි දා
කෝ අනේ අද දිනේ…..

දන අද දුකදුරෙහි ගිලී
ඇයි මේ ලෙස දිළිඳු වී
ඇසැර බලවු හි\ අවදිව
ලක යයි පිරිහී

සැහැසි ක‍්‍රියා නිතර කෙරෙති
දුසිරිතටම ඇදි ඇදී
නොඉද මේ මර නින්දේ අද
එනු එනු පිබිදී – එනු එනු පිබිදී
එනු එනු පිබිදී…

ඉදිරියෙටා යමු සැවොමා ගීතය :

ඉදිරියටා යමු සැවොමා
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා

තවත් වහල් වී ඉන්නෙ නෑ
මේ දුක් විඳින්නෙ නෑ සදා
යමවු යමවු සිත් සන්තොසින්
විමුක්ති ශාන්ති වෙයි උදා
ඉදිරියටා…

මේ ලංක දීපයේ සුරම්‍ය
දූ පුතුන් අපියි උතුම්
විනීත වූ ගුණාංග ලෝකේ සාමයයි අපේ විකුම්
මේ දේ ගැනයි අපේ සටන්
අපේ අවි උතුම් දහම්
ඉදිරියටා….

අපේ මේ ජීවිතේ මේ ලෝ
බොහෝ උදාර වස්තුවයි
හොඳින් ගෙවා නැසී ගියොත්
නිගා ලබන්නෙ නෑ සුබයි
එසේ හෙයින් මේ ජීවිතේ
ලබන්ට නම් ප‍්‍රයෝජනේ
පුදන්ට ඕනෑ ජීවිතේ
විමුක්ති වීමටා සැණේ
පුදන්ට ඕනෑ ජීවිතේ

(ගීත උපුටා ගැනීම – දිවයින)

Parichay, Lekin, Madhumati, Abhimaan, Tere Mere Sapne, Mohobbatain, Veer Zara වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපට වෙනුවෙන් ඇගේ හඩ මුසු වුණු ගීත අදටත්… තවත් වසර ගණනාවකටත්… අමරණීය වනු ඇත!

භාරතයේ ගීත කෝකිලාවිය, ඔබට සුබ ගමන්…

Share

145 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.