මට කලින් පැනපු නළුවාගේ කකුල් දෙකම කැඩුනා – A common man අත්දැකීම් සමග Frederick James

Avatar Nisanka Weheraduwa | May 15, 2019 1 View 0 Likes 0 Ratings

1 View 0 Ratings Rate it

නොසිතූ, අපේක්ෂා නොකළ මොහොතක තැනින් තැන බෝම්බ පුපුරා යාමත් එක්කම රටවැසියන් විදිහට හැමෝම කලබල වුනා. අනපේක්ෂිත මොහොතක සිදුවුණු මේ සිදුවීම් එක්ක හැමෝම ඊළඟ මොහොතේ සිද්ද වෙන්නේ මොකක්ද කියන එක තැතිගැන්මකින් බලා හිටපු තත්වයක් දකින්න තිබුනා. ගැටලුව තවම එහෙමමයි. නමුත් මේ කතාව ඇසුරින් ප්‍රවේශයක් ගන්නේ වෙනත් කතාවකට. ඔබ සිනමාවට ආදරය කරන, චිත්‍රපට බලන කෙනෙක් නම්, මේ විදිහේ බෝම්බ පිපිරීම් සැළසුමක් පදනම් වුනු කතාවක් සහිත අපූරු ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ඔබේ මතකයට නොනගුනා විය නොහැකියි. හොලිවුඩ් රංගන ශිල්පින් වගේම ලාංකික ශිල්පින්ගේද දායකත්වයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය මෙතෙක් ලංකාවේ වැඩිම පිරිවැයක් දරා නිමවුණු චිත්‍රපටය කියලත් හඳුන්වනවා. ඒ, චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ A common man චිත්‍රපටයයි.
මේ චිත්‍රපටයේ චරිත අතරින් රහස් පොලිස් පරීක්ෂකවරයකු වන දඩබ්බර, සටන්කාමී තරුණයාගේ චරිතය ඔබට අමතක වෙන්න හේතුවක් නැහැ. රහස් පොලිස් පරීක්ෂක රංජන ලෙස ඒ චරිතයට රංගනයෙන් දායක වුනේ ශ්‍රීලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතික රංගන ශිල්පියෙක්. ඔහු නමින් Frederick James Koch . මේ ඔහු සමග cinema.lk කළ කතාබහක්.

කවුද Frederick james කියන්නේ..?
ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඇත්තටම මම කවුද..? මම ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. මගේ දෙමව්පියෝ 70 දශකයේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් තියෙනවා. ඒ නිසා මමත්, මගේ සහෝදරියත් දෙන්නම ඉපදෙන්නේ ඕස්ට්‍රේලියාවේ. නමුත් ඔස්ට්‍රේලියාව කියන්නේ තවමත් සංකල්පිකව “සුදු” ජාතිකයින්ගේ රටක්. මම දුඹුරු සමක් සහිත ආසියානු සම්භවයක් තියෙන කෙනෙක්. ඉතිං සමහර අභියෝග තිබුන තමයි. නමුත් ඒ හැම එකකින්ම මම ශක්තිමත් වුනා කියල මම දැන් හිතනවා. මම බත් සහ එළවලු වලට පුරුදු වෙලා හිටියා ගෙදරදී. නමුත් ගෙදරින් එලියට ගියහම මගේ ශෛලිය සම්පුර්ණ ඕස්ට්‍රේලියානු විදිහට හැඩ ගැහෙනවා. ඒක ඉබේටම වගේ සිද්දවෙන දෙයක්. දැන් මම අවුරුදු ගාණක ඉඳන් නිතර ලංකාවට යනවා එනවා. දැන් මට ලංකාව හොඳට පුරුදුයි වගේම බොහොම ලඟින් දැනෙනවා. මම දැනට ජිවත් වෙන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර.

ඔබ රඟපෑම ගැන වෘත්තීය මට්ටමින් හදාරලා තියෙනවා, එහෙම නේද..?
ඔව්, මම ඔස්ට්‍රේලියාවේදී රංගනය ගැන ඉගෙන ගත්තා. Actors Center Australia වලින් තමයි මම ඉගෙන ගත්තේ. ඒක බොහොම වැදගත් ඒ වගේම ප්‍රමුඛ පෙලේ රංගන පාසලක්. Nicole Kidman, Hugh Jackman වගේ  අය පවා බිහිකළ තැනක්. තව බොහොමයක් ක්ෂේත්‍රයේ ප්‍රවීණ  අය එතැනින් ඉගෙනගෙන තියෙනවා. ඒ පාසලින් ඉගෙන ගන්න ලැබීමම මට ලොකු අත්දැකීමක් වගේම මගේ රංගනය කියන වෘත්තියට ලොකු වටිනාකමක් එකතු කළා කිවුවොත් හරි.

කලාව ඇතුලේ ඔබේ හැකියාවන් තියෙන්නේ රඟපෑමට විතරක්ම නෙමෙයි…?
ඔව්, මම ටිකක් සංගීතය පැත්තටත් උනන්දුයි. ඒ ගැන හැකියාවකුත් මට තියෙනවා. විශේෂයෙන් මගේ තාත්තා නිසා තමා ඒ පෙළඹවීම මට ලැබුනේ. ඒ වුනත් සංගීතය හරි ගායනය හරි කියන්නේ මගේ පෞද්ගලික දෙයක්. එක මම මටම රසවිඳින්න සහ මගේ සතුට වෙනුවෙන් කරන දෙයක්. ඒකෙ වෘත්තීය මට්ටමක් නැහැ සහ මට එහෙම තැනකට ගෙන්න ලොකු උනන්දුවකුත් නැහැ. ගිටාර් එක ප්ලේ කරන එක සින්දුවක් කියන එක තනියම ජිවිතේ විඳින්න හොඳ විදිහක් කියලයි මම හිතන්නේ.

ඔබ රටවල් කීපයක සංස්කෘති වලට අයිති සහ එහෙම විවිධ සංස්කෘතික අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ තත්වයට ඔබේ වැඩකටයුතු වලට වාසිදායක වුනාද..?
ඔව්, ඒ කතාව එක විදිහකට හරි. ජාතිකත්වය කියන තැනදී මට ඒකට අර්ථ කීපයක්ම තියෙනවා. මම හිතන්නේ ඒක මට නළුවෙක් විදිහට සාර්ථක වෙන්න එක හේතුවක් වෙන්න ඇති. පෙනුම සහ හැඩහුරුකම අතින් වගේම අත්දැකීම් පැත්තෙනුත් ඒ විවිධත්වය මාව පෝෂණය කළා කියලයි මට හිතෙන්නේ.

ඔබේ පළවෙනි සිනමා අත්දැකීම ගැන මතක් කළොත්..?
ඒක හරිම පීඩනයක් දැනුන අත්දැකීමක්. ලංකාවේ නිෂ්පාදනය වුනු A common man චිත්‍රපටය තමයි ඒ. ඇමරිකානු නළුවන් දෙදෙනෙක් වුනු ben Kingsley සහ Ben Cross එක්ක සහය නළුවකු විදිහටයි මගේ චරිතය ගොඩනැගිල තිබුනේ. ඒ මම Drama school එකේ ඉගෙන ගනිමින් හිටපු අවසන් අවුරුද්ද. මම ෆිල්ම් එකේ Production team එකට කිවුවා මම මේ වැඩේ බාර ගත්තොත් මාව drama school එකෙන් අයින් කරයි කියල. ඉතින් මේ නිසා මම Stress එකක හිටියේ. කොහොම වුනත් අන්තිමේ මම ෆිල්ම් එක බාරගත්තා. ඒ ලැබුණු අත්දැකීම ගැන මම සතුටු වෙනවා. ඒක හොඳ අවස්ථාවක්.
මට ඒ චරිතය එක්ක කරන්න ගොඩක් දේවල් තිබුනා. මහා වැස්සේ බයික් පදින්න, වහල, බිත්ති උඩින් පනින්න, වගේ දේවල්. එක දර්ශනයකදී මට මතකයි අනික් සටන් නළුවා මට කලින් ගොඩනැගිල්ලක තට්ටු දෙකකින් පහලට පැන්නා. ඊළඟට පනින්න තිබුනේ මට. එකපාරටම තට්ටු ගොඩනැගිල්ලෙන් පහලට පැනපු ඒ නළුවාගේ කකුල් දෙකම කැඩිලා තිබුනා. නිෂ්පාදක කණ්ඩායම මගේ රූගත කිරීම නවත්වන්න හැදුවා. මොකද ඒ වෙලාවේ ටිකක් වැස්සත් තිබුනා. ඒත් මම කිවුවා නැහැ මම ඒක කරන්නම් කියලා. නමුත් මට කිසිම අනතුරක් වුනේ නැහැ.

චන්ද්‍රන් රත්නම් වැනි ලාංකික සිනමාකරුවෙක් එක්ක ඔබේ පළමු නිර්මාණයේ වැඩ කිරීම් මොන වගේ අත්දැකීමක් ද?
මම කියන්නම ඕනේ ඔහු ඉටා දක්ෂ අධ්‍යක්ෂ වරයෙක්. ඔහුට තියෙන විෂය දැනුමත් ඉහළයි. ඒ නිසාම ඔහු එක්ක වැඩ කිරීමත් පහසුයි. මම බලාපොරොත්තු වනවා ලංකාවේ සිනමාවේ චන්ද්‍රන් වගේ තවත් අධ්‍යක්ෂ වරුන්ව දකින්න. එක ලංකාවේ සිනමාවට හුඟක් වැදගත් වේවි.

– සටහන : නිසංක වෙහෙරදුව –

use 2

 

use 1

Share

1 View 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.