මඩ නැතිව කළානම්, ගෝරි සුපිරි වැඩක් – තිවංක විශ්වනාත්

Avatar Nisanka Weheraduwa | June 11, 2019 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

උපුටා ගැනීමක්.  සටහන : තිවංක විශ්වනාත් ජයසේකර

චිත්‍රපට Remake කිරීම නැති නම් ප්‍රතිනිෂ්පාදනය කිරීම මේ වන විට විලාසිතාවක් බවට පත්වී ඇත. බොහෝවිට එක් භාෂාවකින් නිර්මාණය කළ චිත්‍රපටයක් වෙනත් භාෂාවකින් කිරීම මෙන්ම පැරණි චිත්‍රපට නව්‍යතාවකින් යුතුව නිෂ්පාදනය කිරීම චිත්‍රපට Remake කිරීමේදී සිදුවෙයි. නව සංකල්පයන්ට අනුව නිර්මාණය වන ස්වතන්ත්‍ර චිත්‍රපටවලට මෙන්ම Remake චිත්‍රපටවලටද සිනමා ප්‍රේක්ෂකයා තුළ වැඩි ඉල්ලුමක් පවතියි..

Tamil action drama film ශානරයට 2016 අප්‍රේල් මාසයේ එකතු වුණු අට්ලි කුමාර් අධ්‍යක්ෂණය කළ Theri (තෙරි) චිත්‍රපට ඇසුරින් නිර්මාණය වුණු ‘ගෝරි’ චිත්‍රපට පසුගියදා ලංකාව තුළ සිනමා ශාලා 80ක පමණ තිරිගත කරීම ආරම්භ විය. මෙම ගෝරී චිතුපටය යොවුන් චිත්‍රපට අධ්‍යක්ශවරයකු වන හර්ෂ උඩකන්දගේ නිර්මාණයකි. හර්ෂ මීට පෙර ⁣’කොළඹ සන්නිය’ චිත්‍රපටය පාදක ⁣කොට ගනිමින් ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය ‘කොළඹ සන්නිය return’ ලෙස Remake කරනවා. ඊට පළවුණු අදහස් හා එම අදහස්වලට හර්ෂ දැක්වූ ප්‍රතිචාර ඒ දිනවල චිත්‍රපටයට වඩා ජනප්‍රිය වූයේය.

ප්‍රවේගය, මායා, ධර්ම යුද්ධය වැනි remake චිත්‍රපට ලංකාව තුළ ඉතා සාර්ථක ලෙස තිර ගත වුණේ සැබවින්ම මුල් කෘති නරඹා තිබුණත් මෙම චිත්‍රපට ලංකාවට වඩාත්ම ‘දැනෙන’ අන්දමින් ප්‍රතිනිෂ්පාදනය වී තිබුණි. ඒ නිසාවෙන්ම ධර්ම යුදධය චිත්‍රපටය 2017 වසරේ ලංකාවේ වැඩිම මුදලක් ඉපැයූ චිත්‍රපටය බවටද පත් වුණා. නමුත් එම චිත්‍රපට තුනේම අධ්‍යක්ෂවරුන් වූයේ ඉන්දීය ජාතිකයන්ය. කලාත්මක චිත්‍රපට නිර්මාණකරණයට ලංකාවේ බොහෝ අධ්‍යක්ෂවැරුන් සිටියද වාණිජ චිත්‍රපට නිර්මාණකරණයේ යෙදෙන්නේ සීමාසහිත අධ්‍යක්ෂවරු පිරසකි. වාණිජ චිත්‍රපට සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඒ සඳහා නිෂ්පාදකයින් සොයා ගැනීමට පවති අපහසුව නිසාවෙන් එම අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රමාණය අල්ප ප්‍රමාණ වී ඇත. හර්ෂ එම අභියෝගයට මුහුණ දෙමින් සිටින තරුණ අධ්‍යක්ෂවරයෙකි.

ඉන්දීය රුපියල් කෝටි 100ක වියදමින් කළ ‘තෙරි’ චිත්‍රපටයේ ගුණාත්මක භාවය ලංකා රුපියල් කෝටි 4ක් වියදම් කර නිර්මාණය කරන ‘ගෝරි’ චිත්‍රපටයෙන් කොහෙත්ම බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසා තෙරි බලා ඒ වගේ එකක් හෝ ඊ⁣ට සමාන එකක් හෝ නැරඹීමේ ආශාව ගෝරි බැලීමෙන් කිසිසේත්ම තෘප්ත නොවේ. එබැවින් මෙය තෙරි චිත්‍රපටයේ Remake එකක් ලෙස හැඳින්වීමද ඉතාමත් අපහසුය.

සාමාන්‍යයෙන් remake චිත්‍රපට චරිත නාම, ස්ථාන නාම ආදියෙන් වෙනස් වුවද කතා ව්‍යුහය සහ සිද්ධි බොහෝ විට එක සමානය. නමුත් තෙරි සහ ගෝරි ව්‍යුහය තුළ විශාල වෙනස්කම් පවතියි. ඒවා වියදම් සීමා කිරීමට සිදුකළා විය හැකිය. නමුත් තෙරි තුළ තිබුණු සිද්ධි සහ දර්ශන ගෙඩිය පිටින්ම කොපි කර තිබීම නිසාවෙන් අනෙක් සිද්ධි සහ දර්ශන යොදා නොතිබීමේ අඩුව නිර්මාණය පුරාවටම පෙනෙන්ට තිබුණි. එසේ කිරීම නිසාවෙන් කතාවේ රිද්මයට සිදුවී ඇති හානිය කෙසේ හෝ නිර්මාණයක් කි⁣රීමේ අභිලාෂයෙන් පෙළෙන හර්ෂට නොදැනුණාට සිනමාහල් 80ක් තුළින් ගෝරි බලන ප්‍රේක්ෂකයාට නොදැනේ නම් ඔහු සිනමා ප්‍රේක්ෂකයකු විය නොහැකිය. තෙරිහි සංගීතයම ගෝරි තුළ නොවුණා නම් චිත්‍රපටයේ රිද්මය ⁣නැත්තටම නැති වනවා නිසැකය.

හාසය මතු කිරීමට උපහාසය යොදා ගැනීම නිර්මාණකරුවකු කිසිදා සිදු නොකරයි. කළද එය නිර්මාණශීලි කලාත්මක භාවිතාවක් නොවේ නම් ඉන් මතු වන්නේ තුච්ච රසකි. එවැනි රසයක් මතු කළ හැක්කේ නිර්මාණකරුවකුට නොව මඩ හෝ කැලෑපත්තර ගසන්නකුට පමණි. ගෝරි තුළ හාසය මතු කිරීමට හර්ෂ යොදාගෙන ඇත්තේද එවැනි අමන ක්‍රමෝපායකි. තමාගේ නිර්මාණයකට විචාරයක් ඉදිරිපත් කළ විචාරකයා වෙනුවෙන් මඩක් ගැසීමට සිය නිර්මාණයේ ධාවන කාලයෙන් මිනිත්තු තුනක් සහ එම දර්ශනය වෙනුවෙන් පමණක් පෙනී සිටිනා විකට නළුවකු යොදා ගැනීම හර්ෂගේ අධ්‍යක්ෂණ⁣යට ඇති බුහුටිබව, ආධුනිකත්වය මනාව පිළිබිඹු වන කදිම අවස්ථාවකි. හර්ෂට අනුව නම් එය වීර ක්‍රියාවකි. නමුත් විචාරක⁣යකුට මඩක් ගැසීමට සිය නිර්මාණයෙන් මිනිත්තු තුනක කාලයක් වැය කිරීමට පෙළඹවීමට තරම් විචාරකයාගේ විචාරය ප්‍රබල වීම විචාරකයා ලද ජයග්‍රණයකි. ඒ අනුව හර්ෂ මෝඩයා වී විචාරකයා වීරයා වීම තතු දත්තන්ට මනාව වටහා ගත හැකිය.

සිනමාව වෙනුවෙන් ස්වල්ප හෝ මෙහෙයක් කළහු සිනමා රසිකයන්ට වීරයෝය. නමුත් ඒ සියල්ලන්ම නිර්මාණකරුවාට විකට ජවනිකා තුළ සිටින කවටයන් පමණි. ඒ හා සමාන හෝ එවැනි නම් ඇත්තෝ කොතෙක් නම් සිටිත්ද ලෙස නිර්මාණකරුට රැඟුම් පාලක මණ්ඩලය හා තර්ක කළ හැකි වුවද එම නම් උපහාසයට ලක්කිරීම තුළින් හර්ෂ තෘප්ත කර ගැනීමට උත්සහ කර ඇත්තේ අශික්ෂිත ආශාවකි. එය මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් රැගෙන ‘ගෝරි’ බැලීමට පැමිණෙන්නන්ට කොහෙත්ම අදාළ නැත. එවැනි අපහාස කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වූවා නම් ඔහු තර්ජනය කරන ක්‍රමයටම facebook තුළින් Live පැමිණ සිතැඟි පරිදි අවශ්‍ය පුද්ගලයන්ට අපහාස කළා නම් කෝටි හතරක වියදම මෙන්ම ප්‍රේක්ෂකයාගේ කාලයද ඉතිරි වනු ඇත.

චිත්‍රපටය තුළ කතාවේ කිසිදු ගලා යෑමක් නොමැත. අතීත කතාවක් සහ වර්තමාන කතාවක් සමෝධානය කිරීමට උත්සහ කළද එමගින් ප්‍රේක්ෂකයාට දැනෙන ⁣වෙනසකට ඇත්තේ අදීශ නැති නම් ප්‍රධාන පොලිස් නිලධාරියාගේ මුහුණේ රැවුල පමණක් වෙනස් වී තිබීම පමණි. වසර කිහිපයකට පෙර හා පසු කියා වරින් වර තිරය මත දිස් වුවද රාධා අදීශ ගෙන්වා ගෙන රෝහලට රැගෙන යන තම සොහොයුරාගේ දියණිය ඒ ආකාරයෙන්ම වසර කිහිපයකට පසු වෙස්වලාගෙන සිටින පොලිස් නිලධාරියා ළඟ සිටීම සැබවින්ම විහිළු සහගත තත්ත්වයකි. නිර්මාණයට අනුව කාලය ගෙවෙන්නේ පොලිස් නිලධාරියාගෙ රුවුල හා කොණ්ඩයට බලපාන අන්දමින් පමණි.

ඔස්කාර් සම්මානලාබී නළු නිළියන් යොදා ගත්තද අධ්‍යක්ෂවරයා අසමත් නම් නිර්මාණය නියත වශයෙන්ම අසාර්ථකය. නමුත් අධ්‍යක්ෂවරයා දක්ෂ නම් කිසිදා කැමරාවක් ඉදිරියේ සිට ගත්තේ නැති අයකුගෙන් වුවද දක්ෂ රංගනයක් ලබා ගත හැකිය. අධ්‍යක්ෂවරයා රංගන ශිල්පීන්ගෙ විභව ශක්තිය තේරුම් නොගන්නා තුරු රංගන ශිල්පීන්ට රඟපෑමට සිදුවන්නේ ඔවුන්ගේ අභිමතාර්ථය පරිදිය. රංගන ශිල්පීන් තුළින් නිර්මාණයට අදාළ රිද්මය බිඳී යාම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් අධ්‍යක්ෂවරයා තුළින් නිර්මාණයේ රිද්මය කිසිවිටෙකත් බිඳී යා නොහැකිය. රංගන ශිල්පීන්ට, කැමරා අධ්‍යක්ෂවරයාට, සංගීත අධ්‍යක්ෂවරයාට සහ සංස්කරණ ශිල්පියාට නිර්මාණයේ රිද්මය මතක් කර දීම අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයට අයත් කටයුත්තකි. ගෝරි චිත්‍රප⁣ටයේ රිද්මයද යම් යම් අවස්ථාවන්වලදී ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇත. කූඨප්‍රාප්තියේ වුවද එතරම් දැනෙන ස්වභාවයක් නොපවතින්නේ මෙම රිද්මය බිඳී යාම නිසාය.

ලාංකේය සිනමාව තුළින් ප්‍රේක්ෂකයා විකර්ෂණය වීම සම්බන්ධව නිර්මාණකරුවන් සෘජුවම වග කිව යුතුය. කලා හෝ වේවා වාණිජ හෝ වේවා කුමන ආකරය නිර්මාණයක් වුවද ප්‍රේක්ෂකයා දිනා ගැනීමට සමත් විය යුතුය. එසේ නොමැතිව සිනමාශාලා තුළ ඇති අඩුපාඩු හෝ ප්‍රේක්ෂකයාට මැසිවිලි නැඟීමෙන් කිසිදු ඵලක් නැත. සරළවම කීවොත් “මිනිසුන්ට බලන්නට පුළුවන් නිර්මාණ” බිහි කළ යුතුය. කඳු පන්ති තරම් විළිලා මී පැටව් වදා සිනමා කර්මාන්තය ගොඩ දැමිය නො⁣හැකිය. ස්වතන්ත්‍ර අසාර්ථක නිසා චිත්‍රපට remake කරද නිර්මාණය අසාර්ථක නම් අවුල ඇත්තේ ප්‍රේක්ෂකයා තුළ නොව නිර්මාණ තුළයි. මන්ද රූප රාමුවෙන් රාමුවට පරීක්ෂා කර හෝ අර්ථපති⁣යකු සිටී නම් සිනමා නිර්මාණයක් කිරීම වැඩ්ඩෙකුට නම් එතරම් අපහසු කටයුත්තක් නොවේ. නමුත් වැඩ වෙනුවට මඩවලට මුල් තැන දෙ⁣න්නකුගෙන් එවැනි යහ නිර්මාණයක් කිසිදා බලාපොරොත්තු විය නොහැකිය.

නිර්මාණය කෙසේ වුවද සිනමා රසිකයෙක් නම් ඔබ නිසැකවම ගෝරි බැලිය යුතුය. මන්ද සාර්ථක නිර්මාණ සහ අසාර්ථක නිර්මාණ තුළ ඇති වෙනස වටහා ගැනීමට එය ඔබට පිටිවහලක් වනු ඇත. එවරට්ස් තරමට විළිලෑවද වදා ඇත්තේ කොස් ඇට මීයකු බව ඉන් ඔබට පසක්වනු නොවනුමානය.

තිවංක විශ්වනාත් ජයසේකර

Share

67 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.