මාලිනි ෆොන්සේකා ජගත් සිනමා ජූරියකට

Avatar Nisanka Weheraduwa | January 16, 2020 178 Views 0 Likes 0 Ratings

178 Views 0 Ratings Rate it

මෙරට සිනමාවේ දශක පහකට අධික කාලයක් තිස්සේ නොමැකෙන මතක සටහන් රැඳවු ජ්‍යෙෂ්ට රංගවේදිනි මාලිනි ෆොන්සේකා අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ 2020 පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජගත් තරගකාරී අංශයේ ජූරි සාමාජිකාවක ලෙසින්. මෙය ශ්‍රී ලාංකිකයෙක්, 2020 වසරේදී අන්තර්ජාතික සිනමා උළෙල ජූරියකට සම්බන්ධ වන පළමු අවස්ථාවද වනවා.

වර්ෂ 1947 අප්‍රේල් 30 වැනිදා උපත ලැබූ වන්නිආරච්චිගේ මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා, තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ “පුංචි බබා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන්නේ 1968 වසරේදීයි. එතැන් පටන් වසර 51ක් තිස්සේ සිනමාවේ රැඳෙන ඇය මේ වනවිට චිත්‍රපට 140කට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. සරසවිය සම්මාන, රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් හොඳම නිළිය ලෙස අභිෂේක ලැබූ මාලිනි ෆොන්සේකාගේ සිනමා ජිවිතයේ විශේෂිත සලකුණු සහිත චිත්‍රපට අතර ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ නිධානය, අමරනාත් ජයතිලකගේ “සිරිපාල සහ රංමැණිකා”, ධර්මසේන පතිරාජයන්ගේ “එයා දැන් ලොකු ළමයෙක්” හා බඹරු ඇවිත්” මෙන්ම  ඇය අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක ලෙස නිර්මාණය කළ “සසර චේතනා” චිත්‍රපටයද කැපී පෙනෙනවා.

දේශීය මෙන්ම ජාත්‍යන්තරවද රංගනය වෙනුවෙන් සම්මාන ලැබූ මාලිනි ෆොන්සේකා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ අධ්‍යක්ෂවරියකද වනවා. ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “ආකාස කුසුම්” චිත්‍රපටයේ ඇය සන්ධ්‍යාරාණි ලෙස ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් 2008 වසරේ ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තා. මෙවර පූනේ අන්තර්ජාතික සිනමා උළෙලේ ලෝක තරගකාරී අංශයේ චිත්‍රපට ඇගයීම සිදුකරන ජූරියේ සාමාජිකාවක ලෙස ඇය සහභාගී වනුයේ ලාංකීය සිනමාවේ වසර 50කට අධික කාලයක් තිස්සේ ඇය දැක්වූ ප්‍රතිභාවන් හේතුවෙනුයි.

Share

178 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.