මිනිස් මනසේ සංකීර්ණතාව සිනමා රූපයකින් – අසන්ධිමිත්තා

Avatar Nisanka Weheraduwa | April 8, 2019 37 Views 0 Likes 0 Ratings

37 Views 0 Ratings Rate it

සටහන :  දීයකඩුවේ සෝමානන්‍ද හිමි
මිනිස් මනසෙහි සංකීර්ණතාව සිනමා රූපයට නැගූ කදිම නිර්මාණයක් බිහිව ඇත. ඒ “අසන්ධිමිත්තා” නැමති සිනමා සිත්තමයි. එම රමණීය සිනමා කාව්‍ය නැරඹීමේ දුලභ අවස්ථාව අත්විදීමට ලැබීම භාග්‍යයකි.

සමන් වික්‍රමආරච්චිගේ නවකතාවක් ඇසුරින් අසෝක හදගම අධ්‍යක්‍ෂණය කළ සිනමා කෘතියේ රූප පෙළගැස්ම මෙසේය. මිනිස් ඝාතන දෙකක් සිදුකළ කාන්තාවක් එය පාපොච්ඡාරණය කිරීමට මිතුරෙකු හමුවෙයි. මිතුරා සිනමාකරුවෙකු වන අතර කාන්තාව අසන්ධිමිත්තා නැමැත්තියකි. පාසල් කල හමු වූ ඔවුන් නැවත හමුවනුයේ වර්ෂ ගණනාවකට පසුවයි.

අසන්ධිමිත්තාගේම පාපොච්ඡාරණයකින් එක් මොහොතක ඇය පොලීසියට බාරවන්නීය. එසේ බාරවන විට සිය කතාවෙන් භාගයක් සිනමාකරුට පවසා තිබිණ. පැවසූ කොටස තුළ ‘විකී’ නම් පිරිමියෙකු සමඟ පැවති ඇසුරක් පිළිබඳව ඇය කරුණු පවසයි.

සිරගත වූ පසුව ඇය ජීවත් වූ නිවසට සිනමාකරු යනු ලබයි. නිවස ඇය විසින් කුලියට ගත්තකි. එහි අසන්ධිමිත්තා සමග පිරිමියෙකු ජීවත් නොවූ බව නිවසේ හිමිකරු පවසයි.

අසන්ධිමිත්තා සිය කතාව තුළ පවසන විකීලා (පිරිමි දෙදෙනා) කවුද? ඒ අසන්ධිමිත්තාගේ මනසෙහි වූ සංකල්ප රූපම විය නොහැකිද? එය එසේම යැයි නිගමනය කළහැකි වනුයේ සංකල්ප මතම කෙළෙස් හටගන්නා බව බුදුන් පෙන්වා දුන් බැවිණි. (සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ)

සංකල්ප යනු මොනවාද? ඉන්‍ද්‍රියනට ගොදුරුවන අරමුණු විෂයෙහි ඇතිකරගන්නා වූ (අවිද්‍යාත්මක) දැනුමයි. ඉන්‍ද්‍රිය හරහා සංජානනය වන බාහිර අරමුණු මගින් කුඩාකල සිට සත්ත්වයාට ලෝකය හඳුනා ගැනීමේ සමීකරණයක් තැනෙයි. එම සමීකරණයෙන් පිට දේවල් තේරුම් ගැනීම පහසු නැත. මනස මනසෙහිම නිර්මාණයකැයි නලින්ද සිල්වා පවසන විට වැඩි දෙනෙකුට නොවැටහෙනුයේ එබැවිණි.

ඉන්‍ද්‍රියනට සංජානනය වන අරමුණු සංකල්ප නිර්මාණය කල ද එම සංකල්ප සැප හෝ දුක් වශයෙන් විග්‍රහ වනුයේ මනසෙනි. මනස දේවල් විග්‍රහ කරනුයේ ප්‍රකෘතිය මතින් නොව පූර්ව සංකල්ප මත පිහිටා සිටයි. සුප්‍රකට මහායන දාර්ශනික ආචාර්ය ධර්මකීර්ති පාදයන් සම්‍යඥානය (නිවැරදි දැණුම) පූර්ව කල්පනාවකගෙන් තොර විය යුතු යැයි න්‍යාය බිදුවේදී දැක්වූයේ එබැවිණි.

නිදසුනක් ලෙසට සිතන්න දෙයක කැත හෝ ලස්සන තීරණය කරනුයේ ඒ පිළිබඳව පෙර ගොඩ නැගූ සංකල්ප මගිනි. ගැහැණියක් ගොඩාක් මහතයි, ගොඩාක් මිටියි, රාත්තල් තුන්සීයයක් පමණ බරයි, කියූ විට ඒ කැත ගැහැණියක පිළිබඳ සංකල්පයකි.

ලස්සන ගැහැණියක් පිළිබඳව ද ගොඩනැගූ සංකල්පයක් ඇත. චිරාගත එම සංකල්පය තොටගමුවේ රාහුල හිමි සැළලිහිණියේ දී මෙසේ කවියට නගා ඇත.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රියසකියුරු නිසර තන
දිසි රණ ලියෙව් රූසිරි යුත් මෙපුර ඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙනි දෙවගන

කැත ලස්සන ඉහත දැක්වූ ලෙසට සංකල්පගත කර ඇත. තවදුරටත් පැහැදිලි කළහොත් ගෙබි මස් හෝ බලු මස් චීන ජාතිකයෙකුට රසමසවුලකි. ලාංකිකයනට පිළිකුල දනවති. ඒ මන්ද අනාදිමත් කලක සිට චීනජාතිකයෝ ගෙබිමස් බලු මස් ආහාරයට ගනිති. ලාංකිකයෝ පිළිකුල් කරති. මනසින් ගොඩනගා ගන්නා සංකල්පයන්හි ස්වභාවය එබඳුය.

සිනමා කෘතියෙහි විකීලාගේ (ධර්මප්‍රියගේ හා ජයසිරිගේ) භූමිකාව යනු අසන්ධිමිත්තාගේ සංකල්ප ලෝකයම චිත්‍රණය වීමක් වනුයේ එබැවිණි. අසන්ධිමිත්තා අවලස්සන තනිකඩ, කුලී ගෙදරක නිවසන ස්ත්‍රියක වුවද රූසපුවෙන් යුතුව, තමාගේම නිවසක, කඩවසම් පිරිමියෙකු සමග ජීවත් වීමට කැමැත්තක් දක්වයි. (සිනමාකරුගේ බදු සතුටින් උපන්දින සාද ආදිය පැවැත්වෙන නිවසක)

සංකල්ප මඟින් ලෝකය දකින තුරු (තෘෂ්ණාව දුරු කරන තුරු) අසන්ධිමිත්තලා දකින මෙම සිහිනයෙන් අවදිවන්නේ නැත. අවිද්‍යාත්මක වූ සංකල්ප ලෝකයෙන් මිදුණු පසු ශෝකයක් නැත. දුකක් කොයින්ද යනුවෙන් ධම්මපදයෙහි දැක්වෙනුයේ එයයි. (තණ්හාය විප්ප මුත්තස්ස නත්‍ථිසොකො කුතො භයං)

සිනමා කෘතිය පුරාම අසන්ධිමිත්තාගේ සංකල්ප ලෝකය විග්‍රහවන බවට සාධක ඇත. මිදුල අමදින, වළං සෝදන දරුවන් සමඟ බුදුන් වඳින, දරුවන්ගේ වැඩ කරන පිරිමි ලාංකික ස්ත්‍රියකගේ මනසෙහිම මිස පවතින ලෝකයෙහි යථාර්ථයක්ද?

සැළලිහිණියේ දැක්වෙන බදු ස්ත්‍රීනට අසන්ධිමිත්තා බදු කැතයැයි සංකල්පගත ස්ත්‍රීන් ඊර්ෂා පරවශ වීම පවතින යථාර්ථයකි. එබදු ස්ත්‍රීනට (සැළලිහිණියේ බදු) පිරිමි නිරායාසයෙන් ඇදී යන බැවිණි. සිනමා කෘතියේ ස්වාමියා හැරගිය තරුණ ස්ත්‍රිය විෂයෙහි අසන්ධිමිත්තාගේ භූමිකාව ඉහත කරුණ සනාථ නොකරද්ද? නූතන ධනේශ්වර ක්‍රමය (විශේෂයෙන් ලංකාව තුල) මහජනයාට හති නොබලාම දිවීමට බිහිසුනු සංකල්ප නිර්මාණය කර ඇත. ඒ පිළිබඳව අනවබෝධයෙන් ගිනි කන වැටෙන්නාට සියතින්ම බෙල්ලට තොන්ඩුව දාගන්නවා හැරෙන්නට ඉතිරි වන විකල්පයක් නැද්ද?

මනස මෙම සංකීර්ණතාවයෙන් මුදාගත නොහැකිද? වැදගත්ම පැනය එයයි. මනස සංකල්පයන්ගෙන් මුදාගත හැකි බවත්, ඊට මඟත් බුදුන් වදාළහ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මාරයා සමඟ කළ යුද්ධය ලෙස විග්‍රහ වනුයේ මෙම සංකල්ප පරාජයම බව පුරාණාචාර්යයවරු පවසති. දම්සක් පැවතුම් සූත්‍රයේදී විද්‍යාව පහළ වීම (විජ්ජා උදපාදී) යනුවෙන් සඳහන් කළේද එයමයි. මේ සඳහා සියල්ලෝම පැවිදි විය යුතු නැත. සංකල්ප ලෝකයේ ස්වභාවය හඳුනාගත් විට වඩාත් සුවපත් ගිහි දිවියකට එළඹිය හැක.

ඉන්‍ද්‍රියනට ගොදුරුවන ධර්මයන්ගේ (අරමුණුවල) ප්‍රකෘර්තිය (ඇත්ත ඇති සැටියෙන්) දකින්නා සංකල්ප ගොඩනගා ගන්නෙ නැත. ඒතාක් මිරිගුව පසුපස දුවන මුවන් සේ අසන්ධිමිත්තලා ඔබ සහ මම ඇතුළු සියලු සත්ත්වයෝ නොනවතින අරගලයක යෙදෙනු ඇත. එබැවින් මෙම සිනමා කෘතිය අපගේම මනස අපට පෙන්වීමකි.

ලාංකික අපට හොඳින්ම දැනෙන මෙම ප්‍රකාශනය ප්‍රේක්‍ෂකයා නැරඹිය යුතුය. එය නිශ්චිතවම ඔබගේ චින්තනයේ නිම් වළලු ප්‍රසාරණය කරනු ඇත.

Share

37 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.