මිලියන ගණනක පිරිවැයකින් නිෂ්පාදනය වන ‘Dear Pabalu’

Avatar Kavinu Weerakkody | November 7, 2022 298 Views 1 Like 5 On 4 Ratings

298 Views 5 On 4 Ratings Rate it

ස්නේහ (Sneha: The Black in every Pink) සහ තුංමං හංදිය (Three way Junction) කෙටි චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින් අතරට ජනප්‍රියත්වයට පත් වුනු මහේල හෙට්ටිආරච්චි, සිය තුන්වන කෙටි සිනමාපටයේ නිෂ්පාදන කටයුතු දැන් ආරම්භ කොට තිබෙනවා. පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව පළමු වතාවට නිවේදනය කළා. ලෝ ප්‍රකට Cinemaworld අන්තර්ජාතික නාලිකාවේ premiere වූ පළමු ලාංකීය කෙටි චිත්‍රපටය වන්නේ ද මහේලගේ “ස්නේහ” කෙටි චිත්‍රපටයයි. තුන්මන් හන්දිය,  ඔහු නිර්මාණය කළ දෙවන කෙටි චිත්‍රපටය වූ අතර එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ අශාන් ඩයස් සහ රෙබෙකා දිල්රුක්ෂි විසිනුයි.

ඔහුගේ තුන්වන සිනමාපටය ගැන විමසා බැලීමට Cinema lk අපි, මහේලව සම්බන්ධ කරගත්තා.

Q: මොකක්ද මේ මහේල හෙට්ටිආරච්චි කරන්න සූදානම් වෙන අලුත්ම වැඩේ?

ආදරණීය පබලු (Dear Pabalu). මේ තමයි අපේ අලුත්ම චිත්‍රපටය.

Q: ආදරණීය පබලු ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

අපි මේකට පාදක කරගන්නේ 1935-1960 කාල වකවානුව ඇතුළේ ලංකාවේ සිදු වුනා යැයි සැලකෙන කතාවක්. එතකොට මේ කතාව ගැන විවිධ පැතිවලින් අපිට තොරතුරු තියෙනවා. නිර්මාණයට ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ ගුණදාස කපුගේ ශූරීන් ගයන, අධිනීතිඥ රංබණ්ඩා සෙනවිරත්න මහත්මයා ලියූ “පබලු නගේ” කියන සිංදුව.
මේ සිංදුව ලියන්න පාදක වුනා යැයි සැලකෙන නිධාන කතාව අපි හොයාගෙන ගියා. දශක ගණනාවක් පුරාවට ඒ කතාව කටින් කට පැතිරිලා… විවිධ ගීත රසිකයින් අතරෙ හි හුවමාරු වෙලා… දැන් ජනශ්‍රැතියක් වෙලා තියෙනවා.
මෙන්න මේ කතාව තමයි අපි පාදක කරගන්නේ අපේ අලුත් චිත්‍රපටයට.

Q: ස්නේහ – තුංමං හංදිය, ඔබේ පෙර නිර්මාණවලට වඩා මෙය විශේෂ සහ වෙනස් වන්නේ කොහොමද?

කතාවක් විදිහට ගත්තහම, මෙය ස්නේහ සහ තුංමං හංදියට වඩා වෙනස්ම ශානරයක් වටා දිවෙන්නක්. ස්නේහ කියන්නේ Romance | Thriller ආශ්‍රිතව නිර්මාණය වූවක්. ඒ වගේම තුංමං හංදියට පාදක වන්නේ Psychological | Drama සංකල්පයක්.
හැබැයි ආදරණීය පබලු ඇතුළේ ඊට වඩා අතිශයින්ම වෙනස් ශානරයක් මතු කරන්නට තමයි අපි උත්සාහ දරන්නේ. ලංකා ඉතිහාසයේ එක්තරා කාලයක අපි කවුරුත් නොදන්නා ඈත පිටිසර ගමක සිදු වූවා යැයි සැලකෙන කතාවක් මේ…

ලොකු පරාසයක් තියෙනවා අපිට මේ නිර්මාණය ඇතුළේ cover කරන්න. ලොකු ඉතිහාසයක් තියෙනවා අපිට re-create කරන්න. මේ සිදුවීම පාදක කරගෙන බිහි වූ මුල් කලාකෘතිවලට සාධාරණයක් ඉටු කරන්නට වගකීමක් තියෙනවා අපිට. ක්ෂේත්‍රයේ ජනප්‍රියම සහ ප්‍රවීණතම කලාකරුවන් එකතු වනවා මේ චිත්‍රපටයට.
ඉතින් මේ සෑමදෙයක් නිසාම මගේ මුල් කෙටි චිත්‍රපට ද්විත්වයට වඩා විශාල වෙනස්කමක් සහ විවිධත්වයක් “ආදරණීය පබලු” තුළ තියෙනවා.

Q: ආදරණීය පබලුට පාදක වන්නේ සත්‍ය සිද්ධියක්ද? මෙහි පසුබිම් කතාව මොකක්ද?

චිත්‍රපටයේ පසුබිම් කතාව දැන්මම ප්‍රකාශ කිරීම සුදුසුයි කියලා මන් හිතන්නේ නැහැ. නමුත් මන් මෙහෙම කියන්නම්.
ලංකාවේ සාහිත්‍යමය ප්‍රවාද ඇතුළේ මේ පසුමිබ් කතාව හරිම ජනප්‍රියයි. නමුත් එය 100%ක් සත්‍ය වන්නේ නැහැ. මේ කතාව අර්ධ – සත්‍යයක්! කොටසක් සත්‍ය වුනත් ඉතිරිය සාහිත්‍යමය අවශ්‍යතාව අනුව නිර්මාණය වුනු ප්‍රබන්ධයක්. අපි අපේ සිනමාපටයට පාදක කරගත්තේත් ලංකාවේ සාහිත්‍යමය අවකාශය තුළ ජනප්‍රියත්වයට පත්වී තිබෙන මෙම අර්ධ සත්‍ය කතාවයි.

Q: ආදරණීය පබලු වෙනුවෙන් අති විශාල පිරිවැයක් දරන්නට ඔබ සූදානම් වන බවකුත් දැනගන්නට ලැබුනා. ඒ ගැන සඳහන් කළොත්?

ආදරණීය පබලු නිෂ්පාදනය සඳහා අපි සමඟින් එකතු වන්නේ ස්නේහ; මගේ පළමු කෙටි චිත්‍රපටය නැරඹූ රසිකයෙක්. ස්නේහ චිත්‍රපටයෙන් පසුව අපි දෙදෙනා මිත්‍රයින් බවට පත් වුනා. ඔහු නමින් නෆ්ලාන් නසර්.
මේ වගේ දැවැන්ත වැඩකට සම්බන්ධ වීම ගැන නෆ්ලාන්ට නැවතත් ස්තූතිවන්න වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ කෙටි චිත්‍රපටයකට වියදම් කරන්නට නොහිතන තරමේ දැවැන්ත පිරිවැයක් මීට වැය වනවා.
නිෂ්පාදකවරයෙකු පමණක් නෙමෙයි; ඔහු හොඳ සිනමා ලෝලියෙක්.
ඉතින් මට සතුටක් තියෙනවා ව්‍යාපාරිකයෙක් නොවන රසිකයෙක් මගේ වැඩකට මෙහෙම සම්බන්ධ වීම ගැන. විශේෂයෙන්ම මෙතරම් පිරිවැයක් දරන්නට ඉදිරිපත් වීම ගැන.

Q: මෙය සෙසු ලාංකීය කෙටි චිත්‍රපට සමඟ සසඳනකොට අති දැවැන්ත නිර්මාණ කාර්යයක්. ඔබ සමඟින් මෙම නිර්මාණයට එකතු වන පිරිස ගැන මතක් කළොත්?

ඉතාමත්ම දක්ෂ – තරුණ පිරිසක් මෙම චිත්‍රපටයේ Cast සහ Production Crew විදිහට අපිත් සමඟින් එකතු වී සිටිනවා. අත්දැකීම් බහුල ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කිහිප දෙනෙකුත් මේ වැඩේ හරහා දැකගන්න පුලුවන්.
ඒ වගේම ආදරණීය පබලු ඇතුළේ සංගීතයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මෙහි සංගීත අධ්‍යක්ෂණයට මෙරට තරුණයින් අතරෙ හි අතිශයින්ම ජනප්‍රිය – දක්ෂ නව පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ කටයුතු නිල වශයෙන් තහවුරු වූ පසුම ප්‍රේක්ෂකයින්ව දැනුවත් කරන්න අපි සූදානම්.
අනිත් සියලු දෙනා ගැනත් අපේ Promotional campaigns තුළින් ඉදිරියේදී reveal කරන්න සැලසුම් කරමින් යනවා.

Q: ආදරණීය පබලු මෙරට කෙටි චිත්‍රපට කලාව තුළ යම් වෙනසක් ඇති කරාවි යැයි ඔබ විශ්වාස කරනවද?

අඳුරු කතා තේමා, අඳුරු හැඩතලවලින් පිරිලා තිබුනු අපේ කෙටි චිත්‍රපට කලාවට යම් commercial ගතියක් සහ entertainment හුරුවක් ගේන්නට ‘ස්නේහ’ තුළින් අපිට පුලුවන් වුනා. ඒ හරහා මෙරට කෙටි චිත්‍රපට යම් තාක් වාණිජකරණයකට ලක් වුනා කියලා මන් විශ්වාස කරනවා.
නමුත් ආදරණීය පබලු හරහා මෙරට කෙටි චිත්‍රපට කලාවට වෙනසක් වේවි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද එහෙම අරමුණක් නෙමෙයි මට තියන්නේ! අපිට අවශ්‍ය වුනේ ලංකාවේ කතාවක් ලංකාවේ සිනමාවට අරගෙන එන්න.

වැදගත් වන්නේ මේ චිත්‍රපටය කෙටිද දිගුද කියන එක නෙමෙයි. මට ඕනෙ කරන්නේ සිනමාවට ඇලුම් කරන mass audience එකට මේ චිත්‍රපටය ගෙනියන්න. මොනවද අපිට තියෙන කතා..? කොහොමද අපි චිත්‍රපට කරන්න ඕනෙ..? වගේ දේවල් ගැන ඉඟියක් දෙන්නයි ආදරණීය පබලු තුළින් මට අවශ්‍ය වෙන්නේ.

Q: ඔබ සඳහන් කළ ආකාරයට මෙය 1930-1960 අතර කාල වකවානුව පසුබිම් වුනු කතාවක්. ඒ කාල වකවානුවට සමාන සිද්ධි සහ ඒ පරිසරය නැවත ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගයක් නෙමෙයිද?

ඇත්තටම ඒක තමයි අපිට ලැබෙන ලොකුම අභියෝගය. අපිට සිදු වනවා මෙම සිද්ධියට සමකාලීන 1930 -1960 වකවානුවේදී දක්නට ලැබුනු භෞතික දේවල් සියල්ලම පාහේ ප්‍රතිනිර්මාණය කරන්න. ඒ භූමිය, ඒ නිවාස, ඒ ප්‍රවාහන මාධ්‍ය… මේ සෑම දෙයක්ම කැමරාවට හසු කරගැනීමේ අභියෝගය අපිට ඉතිරි වී තිබෙනවා.

එමෙන්ම, ඒ කාලයේ භාෂා හැසිරීම – මිනිස් සංස්කෘතිය වැනි දේවල් ගැනත් අපේ අවධානය යොමු කරන්නට සිදු වනවා. මේ දෙපැත්තෙන්ම අපිට එන්නේ අභියෝග! අපේ arts department, costume & make-up artists සියලු දෙනාම ලොකු අධ්‍යයනයක නිරත වනවා මේ වෙනුවෙන්ම.
කවුරුත් මේ මොහොතෙදි ඉන්නේ තමන්ට හැකි උපරිමයෙන්ම ඒ අභියෝග ජය ගැනීමේ බලාපොරොත්තුවෙන්.

Q: ඔබේ රසිකයින්ට ‘ආදරණීය පබලු’ නරඹන්නට අවස්ථාවක් ලැබෙන්නේ කවදාද?

ලබන වසරේ මැයි-ජුනි කාලය වෙනකොට චිත්‍රපටයේ සියලුම වැඩ කටයුතු අවසන් කරන්නට හැකි වේවි කියලා මන් විශ්වාස කරනවා. ෆිල්ම් එක පෙන්වන තැන්, දින, ප්‍රමෝෂනල් කැම්පේන්ස්.. මේ සියලු දේම අපි සැලසුම් කරමින් යනවා.
ඉතින් බලන් ඉමු අපි! අනිවාර්යෙන්ම ලබන වසර ඇතුළත ආදරණීය පබලු රසවිඳින්නට ඔබට අවස්ථාව ලැබේවි.

Q: ස්නේහ සහ තුංමං හංදිය හරහා, සිනමාව තුළ යම් ස්ථාවරත්වයක් සහ ආකර්ෂණයක් ඇති කරගන්නට ඔබ සමත් වුනා යැයි විශ්වාස කරනවාද?

මන් හිතන්නෙ, ඒක මට තීරණය කරන්න බැහැ. ඒක ඩිසයිඩ් කරන්න ඕනෙ එළියෙ ඉන්න ප්‍රේක්ෂකයෝ. නමුත් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මන් වැඩ කරන විදිහ ඇතුළේ එහෙම ස්ථාවරත්වයක් ඇති කරගන්න පුලුවන් කියලා මන් හිතන්නෙ නැහැ.
මොකද මන් එකදිගට වැඩ කරන පුද්ගලයෙකුත් නෙමෙයි. එක නිර්මාණයක් කළාට පස්සේ ඊළඟ නිර්මාණයට අත ගහන්නේ බොහොම කාලයක් ගිහින්. කෙටි වේවා, දිගු වේවා මන් ඒ කාලය ඒ වැඩේට ගන්නවා.

මට ඇත්තටම අවශ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ පෞද්ගලික ස්ථාවරත්වයක් හදාගන්නවාට වඩා, මේ කැඩී බිඳී ගිය යාවත්කාලීන නොවුණ සිනමාවට ස්ථාවරත්වයක් හදාගන්න යම් දායකත්වයක් ලබා දෙන්නයි. අන්න ඒ කර්තව්‍යය මගේ අතින් හරියට වෙනවා කියලා මන් හිතනවා.

Q: මහේල හෙට්ටිආරච්චි කෙටි සිනමාපටයෙන්, දිගු – වෘතාන්ත සිනමාපටයට මාරු වන දවස කවදාද?

දිගු වෘතාන්ත සිනමාපට කිහිපයක්ම මම ලියලා අවසන්. තව අදහස් කිහිපයකුත් මන් ගාව තියෙනවා. හැබැයි අපි කෙටි චිත්‍රපට කරන්නෙත් ලංකාවේ සමහර වෘතාන්ත චිත්‍රපටවලට යන තරමේ budget එකක් වියදම් කරලා.
මොකද මට ඕනෙ budget එකට ගැළපෙන කතාවක් කරන්න නෙමෙයි. මට ඕනෙ මන් කැමති කතාවට ගැළපෙන budget එක්ක හොයාගෙන වැඩේ කරන්න!

ඒක නිසා දැන්මම දිගු චිත්‍රපටයක් කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නෙ නැහැ. කිසි හදිස්සියක් නැතිව යන මේ ගමන හරි පහසුයි. හැබැයි අවුරුදු 30 සම්පූර්ණ වෙන්න කලින් දිගු චිත්‍රපටයක් නිර්මාණය කිරීම තමයි මේ මොහොතේ මගේ ඉලක්කය!

Share

298 Views 5 On 4 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.