මේක, දමිළ සිනමාවේ කළ වෙනස්ම උත්සාහයක්

Avatar Nisanka Weheraduwa | November 8, 2019 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

සටහන : ජෙගන් ගනේෂන්

අනාගත තාක්ෂණය හෝ එහි භාවිතය සම්බන්ධයෙන් සිතා වැඩ කරන පිරිස් සීමිතය. නමුත් ඔහු විසින් මීට වසර ගණනාවකට පෙර සිදු කළ දෑ අද විලාසිතාවක් යැයි පැවසීමට කිසිදු ආකාරයකට පැකිළිය යුතු නැත. ප්‍රථමයෙන් එම පුද්ගලයාව හඳුන්වාදිය යුතුය. ඔහු නමින් පාර්තිබන් ය. සාමාන්‍යයෙන් ආර්. පාර්තිබන් හෝ රාධාක්‍රිෂ්ණන් පාර්තීබන් ලෙස ඔහු තම නාමය චිත්‍රපටිවලට යොදා ගනු ලබයි. ඒ සිය පියාට ගරුත්වයක් ලබාදීමේ අරමුණින්ය. පාර්තීබන් මීට වසර 15 කට පෙර මාගේ මතකය නිවැරදි නම් පච්චකුදිරෛ (කොළ අශ්වයා) යන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කටයුතුවල නියැලෙමින් සිටියේය. එහි ප්‍රචාරණය සඳහා ඔහු විසින් නව ක්‍රමවේදයක් භාවිත කරනු ලැබිය. එනම් කොළ පැහැති රෙදි කඩක් හා අශ්වයෙක් පමණක් භාවිත කිරීමයි. එයත් ත්‍රීමාණ රූපිව සිදු කර තිබුණි. එදා බොහෝ පිරිස් අතර එය උදහසට ලක් විය. නමුත් අද පාර්තීබන් එදා භාවිත කළ ක්‍රමය බොහෝ ප්‍රචාරණ කටයුතුවල දැකිය හැකිය. එවැනි පුද්ගලයෙකුගේ අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී තිරගත වූ චිත්‍රපටිය “ඔත්තසෙරප්පු සයිස් සෙවන්” (එක සෙරෙප්පුවක් ප්‍රමාණය අංක 7) ය.

පාර්තීබන්ගේ අධ්‍යක්ෂණයෙන්,නිෂ්පාදනයෙන්, රචනයෙන් හා රංගනයෙන් තිරගත වූ මෙහි වස්තු විෂයවී තිබුණේ, අභිරහස් මිනිමැරුමක් සම්බන්ධයෙන් සිදුවන ප්‍රශ්න කිරීමක් හා ඊට සම්බන්ධ චූදිතයින් සොයා යෑමයි. මෙවැනි කතාවක් සඳහා සාමාන්‍යයෙන් යොදා ගත යුතු නළු නිළියන් සංඛ්‍යාව කොපමණක් විය යුතු ද.? යන පැනය ඕනෑම කෙනෙකු තුළ අනිවාර්යයෙන්ම මතු විය යුතුය. නමුත් මෙවැනි පුළුල් වස්තු විෂයක් සහිත මෙම චිත්‍රපටිය වෙනුවෙන් පාර්තීබන් යොදාගෙන තිබුණේ එක් චරිතයක් පමණයි. ඒ ඝාතනය සිදු කළ පුද්ගලයා පමණයි. ඔහු නමින් මාසිලාමනි විය. ඔහුගේ ප්‍රශ්න කරන පොලිස් නිළධාරීන්, වෛද්‍යවරුන්, ඇතුළු  සියලු දෙනාගේ හඬ පමණක් නියෝජනය විය. එක් පුද්ගලයෙකුගේ මුහුණ විනාඩි 100කට අධික කාලයක් බලාගෙන සිටිමට හැකි ද යන ප්‍රශ්නය ඔබට මතු විය හැක. නමුත් එය අනිවාර්යයෙන්ම සිදු කළ හැකි දෙයක් බව මෙම චිත්‍රපටිය හරහා ඔප්පු කොට තිබේ. ඊට ප්‍රධානතම හේතුව වී තිබුණේ සී.සත්‍යා ගේ පසුබිම් සංගීතයයි. චිත්‍රපටියේ දෙබස් අවම අවස්ථාවලදී ඔහුගේ සංගීතය තවත් ප්‍රබල විය. දෙබස් සහිත අවස්ථාවලදී මාසිලාමනිගේ හඬ සමඟ සංගීතය ප්‍රබලව බැඳී තිබිණ. ඔහුගේ සියලු හැඟීම් එකතු කර ප්‍රේක්ෂකයා ඉදිරියේ තැබීමට සී. සත්‍යා ප්‍රබල කාර්යයක් ඉටු කර තිබුණි. එමෙන්ම මෙම චිත්‍රපටියේ ශබ්ද සැලසුම්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන් යමක් කිව යුතුය. විටින් විට මාසීලාමනි අතීතාවර්ජනයට ගොස් පැමිණෙන අවස්ථාවලදී සත්‍යාගේ සංගීතය එය ඉතා අපුරු අයුරින් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට සමත් වී තිබුණි. චිත්‍රපටිය පුරාවට එක් ගීතයක් පමණක් අඩංගු විය. ඒ වෙනුවෙන් සන්තෝෂ් නාරායනන් සිය සංගීත භාණ්ඩ යොදවා තිබුණි. එක් පුද්ගලයෙක්, එක් කාමරයක් සම්පූර්ණ චිත්‍රපටියේ තිබුණේ එපමණයි. අවස්ථා දෙක තුනකදී පමණක් කැමරාව එම කාමරයෙන් පිටතට ගිය ද කාමරය තුළ සිදුවන දෙය ප්‍රේක්ෂකයාට වෙත දැනෙමින් තිබුණි. ඒ තරමට රාම්ජී සිය කැමරා කාචය හසුරුවා තිබුණේය. ඒ තුළින් ප්‍රේක්ෂකයාට හට කිසිදු අලස තත්ත්වයක් ඇති නොකිරීමට අධ්‍යක්ෂවරයා වගබලාගත්තා යැයි පැවසීම උචිත යැයි සිතමි.

විනාඩි 105 ක් දර්ශනය තලයේ පාර්තීබන් පමණය. ඔහු එහිදී තමන් ඝාතනය සිදු කළ ආකාරය විස්තර කරමින් සිටී. නමුත් ඔහු ඒවා පැහැදිලි කළේ වචනවලින් පමණක් නොවේ. ඔහුගේ අභිරූපන සහිතවය. එහිදී තමන් සිනමා ජීවිතයේ අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් ලෙස ලැබු සියලු අත්දැකීම් ඊට භාවිත කර තිබුණා යැයි සිතිය හැක. ඔහු තම අතීතාවර්ජනයට යන අතරතුර තම බිරිඳ සමඟ කතා කරයි. ඇය ද ඔහු සමඟ කතා කරයි. නමුත් තිරයේ මාසිලාමනි පමණය. එම අවස්ථාවේදී ඔහුගේ හැඟීම් ප්‍රේක්ෂකයා වෙත දැනීමට ඉඩ හරියි. මෙහි මාසිලාමනිගේ බිරිඳ උෂාය. චිත්‍රපටිය පුරාවට ඇයගේ හඬ පිරි තිබුණි. නමුත් ඇයගේ රූපය චිත්‍රපටිය තුළ කිසිම ස්ථානයක දැකීමට නොහැකි විය. නමුත් ඇය චිත්‍රපටිය තුළමය. විනාඩි 100කට අධික කාලයක් ඔහු තනි පුද්ගලයෙක් ලෙස හඬ කවා තිබුණි. ඒ ඔහු රංගනයෙන් ඉදිරිපත් කළ හැඟීම් සමඟ මැනවින් ගැලපෙන හඬකැවීමකි. එය ඉතා සරල ආකාරයෙන් ඔහු විසින් කර තිබුණි. ඒ වෙනුවෙන්ම පාර්තීබන්ට ඔහුගේ සිනමා රසිකයන් වන අප ප්‍රශංසා කළ යුතුමය. ඔහුට මෙන්ම උෂාගේ චරිතය වෙනුවෙන් හඬ දුන් ගායත්‍රීට ද එම ප්‍රශංසාව එලෙසම හිමි විය යුතු යැයි සිතමි. පාර්තිබන් තමන් විසින් ඉදිරිපත් කළ දර්ශනය නරඹමින් හැඟීම් සහිතව හඬ කැවීම් සිදු කළ ද ගායත්‍රී හට එසේ කිරීමට හැකියාවක් නොතිබුණි. ඇය පැවරී තිබුණේ මයික් එක ඉදිරියට පැමිණ තමන්ගේ දෙබස් පැවසීම පමණකි. ඒ හඬ තුළ ප්‍රේමය, දුක, ව්‍යාජබව සියල්ල ගැබ්ව තිබුණි. නමුත් ඇයට උපකල්පනයක් මගින් හඬ කැවිය යුතු විය. ඇය තම රාජකාරිය 100%ක් නිවැරදිව ඉටු කර තිබුණා යැයි කීමට හැකිය. චිත්‍රපටිය නැරඹීම තුළින් මෙය ඔබටත් වටහා ගත හැකි යැයි සිතමි.

පිටපත් රචනය, අධ්‍යක්ෂණය, රංගනය, නිෂ්පාදනය යන කාර්යයන් සියල්ලම එක් පුද්ගලයෙකු විසින් කළ සිනමා නිමාර්ණය ලෙස ඒෂියන් බුක් ඔෆ් රෙකෝඞ් සහ ඉන්දියන් බුක් ඔෆ් රෙකෝඞ් අතරට ද පාර්තිබන් එක් විය. එමෙන්ම චිත්‍රපටිය නොසිතු අයුරින් ආදයමක් උපයනු ලැබිය. මෙම චිත්‍රපටියේ මාසිලාමනි, උෂා හැරුණු විට මහේෂ් යන කුඩා දරුවෙකු ද සිටියේ ය. ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි. ඔහුගේ හඬත් අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණි. මෙම චිත්‍රපටියෙන් ලද ලාභය තුළින් එවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පාර්තීබන් පියවර ගනු ලැබුවේ, ඔහු රංගනයෙන් තිරගත වූ පළමු චිත්‍රපටියේ සඳහන් අවසන් පාඨය යළිත් අප තුළ අවදි කරමින්ය. අනාථ දරුවන් කිසිදු අවස්ථාවක බිහි වීමට ඉඩ නොතැබිය යුතු යන්න එහි අවසන් පාඨය විය. එදා සිට ඔහු තමන්ට හැකි අයුරින් විශේෂ සමාජ සේවා රාශීයක් ආරම්භ කළේය. මෙය ද ඉන් එක් කොටසකි.

අවසන් වරට මෙලෙස සටහන් කරමි. දමිළ සිනමාවේ නව උත්සහයක්, එයත් අතිසාර්ථක උත්සහයක් ලෙස “ඔත්තසෙරුප්පු සයිස් සෙවන්” හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් දමිළ සිනමාව තාත්වික නැතැයි  නිතරම දෝෂාරෝපණය කරන පිරිස් වෙත මෙම චිත්‍රපටිය නරඹන ලෙස ආරාධනා කරමි.

සටහන – ජෙගන් ගනේෂන්

Share

40 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.