මේක පුදුම කතාවක් – දෙරණ LUX සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 29, 2024 12 Views 0 Likes 0 Ratings

12 Views 0 Ratings Rate it

නමවන දෙරණ සිනමා සම්මාන රාත්‍රිය සඳහා තෝරාගත් චිත්‍රපට ලැයිස්තුවෙ හි තිබෙන තවත් ලාංකීය සිනමා නිර්මාණයක් තමයි, මේක පුදුම කතාවක්…

මේක පුදුම කතාවක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ චිලී තිවංක විසිනුයි. ගායකයෙකු ලෙස ජනප්‍රියතාවයක් උසුලන ඔහු මින් පෙරත් විවිධ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා. නමුත් චිලී තිවංක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් මෙරට සිනමාවට පිවිසෙන්නේ මේක පුදුම කතාවක් සමඟිනුයි.

හොරර් – ත්‍රිලර් ශානරයට අයත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ලාල් ප්‍රියදේව විසිනුයි. මගේ යාලු පුංචි භූතයා, මගෝ ඩිගෝ ඩයි, මගේ යාලු මාලු වැනි මෙරට ජනප්‍රිය සිනමාපට රැසකම අධ්‍යක්ෂකවරයා ඔහු වන අතර මේක පුදුම කතාවක් ඔහුගේ 14වන සිනමා අධ්‍යක්ෂණය ලෙසත් පැවසෙනවා.

සුනිල් ටී ප්‍රනාන්දු විසින් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දැරූ අතර සුනිල් ටී ප්‍රනාන්දු සමඟින් එක්ව ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන තවත් අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම් ද මේ දිනවල සිදුවනවා. නුදුරේදීම එයත් මෙරට සිනමා හල්වල තිරගත වීමට නියමිතයි.

චිලී තිවංක සමඟින් රෙක්ස් කොඩිප්පිලි, කාන්චනා කාන්, මානෙල් වානගුරු, කැලුම් ශ්‍රී, ටෙඩී විද්‍යාලංකාර වැනි ජනප්‍රිය නලු නිළියන් පිරිසක් මේක පුදුම කතාවක් සමඟින් රංගනයෙන් එකතු වුනා.

පසුගිය වසරේ සැවෝයි සිනමා වසන්තය චිත්‍රපට උළෙලට සමගාමීව මෙම චිත්‍රපටයේ තිරගත වීම ඇරඹුනු අතර ඊට පසුදිනම පියෝ ටීවී ඔස්සේ නිවසේ සිටින ප්‍රේක්ෂකයින් වෙතත් මෙය නැරඹීමේ පහසුකම ලබා දුන්නා. මෙරට සිනමාපටයක් සිනමා හල් ප්‍රදර්ශනය සහ ඩිජිටල් ප්‍රදර්ශනය එකවර ඇරඹූ ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.

ජනිත් ගුණසේකර විසින් චිත්‍රපටයේ කැමරාකරණය හැසිරවූ අතර සංස්කරණය ධනල් තිරංජන විසිනි. සංගීතය නිර්මාණය කළේ ජයමාල් සමන්ත ප්‍රනාන්දුයි.

මේක පුදුම කතාවක් චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

12 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.