මේ කියන්නෙ අළු පාට හංසයින් සහිත එක හංස විලක් ගැන.
381 Views
5
On 7 Ratings
Rate it
සටහන : කාංචනා ප්‍රියකාන්ත
ක්ලෝඩ් ශැබ්රොල් විසින් අධ්යක්ෂිත , 1969 දී තිරගත වූ The Unfaithful Wife ඇසුරින් නිෂ්පාදිත , රිචර්ඩ් ගියර් රංගනයෙන් දායක වන Adrian Lyne (ඒඩ්රියන් ලින් )ගේ Unfaithful (2002) සිනමා පටය මා මුලින්ම නරඹන්නේ 2009 වර්ෂයේදීය. සුලබව දක්නට ලැබෙනා තේමාවක් තිබුණේ මුදු මේ චිත්රපටයට මා කම්පනයට පත් කිරීමට හැකි වූ අතර මිනිස් සබඳතා පිළිබඳ එතෙක් ඇඳී තිබූ සාම්ප්රදායික චිත්රයෙන් එපිටට බලන්නට පෙළඹවීමක් ඇති කරන්නට සමත් වූ චිත්රපටයක් ලෙස එය විශිෂ්ටය. . කෙතරම් සුලබ තේමාවක් වුවද එකී චරිතයන් විනිශ්චය කිරීම වෙනුවෙන් පාඨකයා නතර නොකොට සහානූභූතියෙන් යුතුව පාත්රවර්ගයා දෙස පමණක් නොව සැබෑ ජීවිතයේ මුණගැසෙන්නන් දෙසද මානුෂිකව බලන්නටත් Unfaithful චිත්රපටය ප්රේක්ෂකයා වෙතින් ඉල්ලීමක් කරන බව මට සිතේ. ආශාවන් සහ චිත්ත වේග පාලනයේ සමබරතාවය ගිලිහී යන්නට දෙන මිනිසුන්ට මුහුණපාන්නට වෙන අනිටු විපාකත් මිනිස් සබඳතාවන්හි සංකීර්ණ පැටලිලි ස්වභාවයත් ඉතාම සියුම්ව චිත්රණය කළ චිත්රපටයක් ලෙසත් Unfaithful මට මතක ඇත. එවැනිම වූ කම්පනයක් ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංස විලක් චිත්රපටය 2021 දී නැරඹීමෙන් පසු දැනුණු බව කියා මෙම සටහන ලියනු කැමැත්තෙමි.
ඉහත සිනමා පටයන්ට පාදක වූ තේමාවන් රැගත් වෙනත් නිර්මාණ ලෙස ලියෝ ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කෘතියද ද ,එමිලි සෝලාගේ ( Émile Zola) ගේ Theresa Raquin (1867),හා For a Night of Love (Pour une nuit d’amour) යන කෘතීන් ද මගේ මතකයට නැගේ . ( සනත් ගුණතිලක විසින් අධ්යක්ෂණය කරන ලද එකමත් එක රටක චිත්රපටය තැනෙන්නේ For a Night of Love කෘතිය ඇසුරිණි .
1980දී මුල්වරට හංස විලක් තිරගත වී බොහෝ කාලයකට පසු උපත ලද මා හට මුල් වරට හංස විලක් නරඹන්නට ලැබුණේ 2021 වර්ෂයේදීය. 1876 වර්ෂයේදී මුල්වරට ප්රදර්ශනය කරන ලද , රුසියානු ජාතික Pyotr Ilyich Tchaikovskyගේ The Swan Lake ( හංස විල ) ලොව ප්රචලිත මුද්රා නාටකයකි. එහි මුඛ්ය තේමාවන් වන්නේ පවුල , බලය, ආශාව, ඊර්ෂ්යාව, බලාපොරොත්තු, වගකීම්, යහපත අයහපත, අහිමිවීම් , අනුගතවීම්ය. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ”හංස විලක් ” චිත්රපටයේ තේමාව වන්නේද ඉහත කී තේමාවන්ය. නමුත් ඒ කතාව මුද්රා නාටකයේ වන හංස විල පිළිබඳ නොව එක් හංස විලක් පිළිබඳවයි. තවත් එවැනි බොහෝ හංසවිල් තිබිය හැකි බවද තිබෙනා බවද චිත්රපටයේ නම ප්රේක්ෂකයාට ඉඟි කරයි. මේ එක හංස විලක කතාවයි. හංසයාගෙන් සංඛේතවත් වන්නේ ප්රේමය, පක්ෂපාතීත්වය . සුන්දරත්වය සහ පාරිශුද්ධත්වයයි. එසේ නමුත් මේ හංස විලේ නානා ප්රකාර හංසයෝ වෙති. නමුත් ඒ සාම්ප්රදායික සුදු හන්සයින්ම පමණක් නොවේ. අළු පැහැති හංසයන්ය . ඒ අනුව බලන කළ ඒ සම්පූර්ණ චිත්රපටියම එකට කැටි කරනා නමකි.
චිත්රපටය ආරම්භයේදී ප්රේක්ෂයාට දැක ගන්නට ලැබෙන යුගල යහනක රූප රාමුවකි. එහි කිසිවෙකු නැත. නමුත් යුගල යහන ප්රබල සංඛේත රූපකයකි. ඉන් පසුව ප්රේක්ෂකයාට ඇසෙන්නේ රමණ කෙඳිරියකි. තවම යුගල යහන පමණක් දිස්වේ. පසුව දරුවෙකුගේ හැඬුමකි .පසුව අඩ දබර හඬ ඇසේ . කාන්තාවකට පහර දෙන පුරුෂයෙකි. පහර දෙන බවක් පෙන්වුවත් පහර වලක්වා ගනිමින් දිව යන ඇයට පහර වදින බව ප්රේක්ෂකයාට නොපෙනේ. පහර කන ගැහැනිය උමතුවෙන් මෙන් සිනාවන්නීය. එය පුරුෂයාගේ මනසේ ඇසෙන සිනාවක් යැයි ප්රේක්ෂකයාවන අපට උපකල්පනය කළ හැකිය. එසේත් නැත්නම් ඒ ගැහැනිය සැබවින්ම තමාට පහර දෙන පුරුෂයාට සිනාසෙන්නේදැයි නොසිතෙන්නේද නොවේ. දොරට තට්ටු කරනා හඬ ඇසී විපිළිසර වන පුරුෂයා දොර අරිත්ම ඉන් එබෙන මිනිසෙක්ද ඔහුට සිනාසේ. පුරුෂයා ඔහුටද දිගින් දිගටම පහර දුන්නත් පහර වළක්වාගෙන තමාට පහර දෙන පුද්ගලයාට සිනා සෙන මිනිසාගෙන් ගැලවී ගැලවී පලා යන්නට ඔහුට අවශ්යය. පුරුෂයා පසු පස ඔහුට සිනාසෙන මිනිසෙක් එලවාගෙන දිව එයි. අවසානයේදී ගරා වැටුණු ගොඩනැගිල්ලකට රිංගා හතිලන මිනිසාට තමා පසු පස හඹා එන පොලිස් නිලධාරීන් පිරිසක්ද ඒ පිරිස ආපසු හැරී යනුද දකින්නට ලැබේ.
පාරක ඇවිද යන කාන්තාවකි. මේ කාන්තාව කවුදැයි අපට නොපෙනේ. ඇය කුඩයක් ඉහලාගෙන සිටියි. කුඩා දරුවෙක් සමග ඈ කොහේදෝ යන වගක් අපට පෙනේ. මව දරුවාගේ අතින් අල්ලාගෙන යන නමුදුපාරේ වම් පසින් පාර අයිනට වන්නටද දරුවා පාර පැත්තෙන් ද යන වගක් ප්රේක්ෂකයාට දැකිය හැකිය. තවමත් ප්රේක්ෂකයා ඒ මුහුණේ හිමිකාරියව නොදකියි. කුඩා දරුවෙකු පාර පැත්තෙන් රැගෙන යෑම තුළින් නොසැලකිලිමත් මවකගේ චිත්රයද වම් පසින් ඇවිද යෑම පිළිගත් සමාජ සම්මතයන්ට පිටින් වැඩ කරනා ගැහැණියකගේ චිත්රයද සංඛේතවත් කරන අතර කුඩය ඉහලාගෙන සිටීම ඈ තමා පිළිබඳ සැලකිලිමත්ය යන වගද පිළිඹිබු කරයි. ඒ අප නොහඳුනනා මුහුණ නොදකින ගැහැනියකි.ඈ ඕනෑම කෙනෙකු විය හැකිය.
යුගල යහනක සිප වැළඳ ගන්නා යුවලකි. ඒ කාමරයට පොලීසියෙන් කඩා පනියි. වැඩිහිටි ගැහැනුන් සහ පිරිමින්ගේ පෞද්ගලික ජීවිතයට කඩා වැදීමටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා කිරීමටත් පොලීසියට ඇති අයිතිය කුමක්දැයි ප්රේක්ෂකයාට සිතෙනු ඇත. 2021දීත් මුහුදු වෙරළේදී හෝ උයනකදී පොලීසියට බයෙන් ඇවිද යන පෙම්වතුන් පෙම්වතියන් සිටින රටක අසූව දශකයේදී එසේ නොවන්නේ කෙසේදැයි සිතේ. වික්ටෝරියානු සදාචාරය කරපින්නාගෙන සිටි මිනිසුන් ජීවත් වූ සමාජයක මිනිසුන් යහපත් කරන්නට සිතාගෙන වැටලීම් කරනා නිලධාරින් වීරයන් කිරීමට පිටපත් රචකයාට අවශ්ය වූවේ යයි සිතීමට නොහැක. සැබවින්ම එවැනි වැටලීම් කඩාවැදීම් හරහා ඔවුන් කරන්නේ සමාජ මෙහෙවරකට වඩා අවැඩකි. නිස්සංකගේ බලවත් ඉල්ලීම නොතකා නිස්සංක මිරැන්ඩා යුවලට තානායමෙන් පිටවී යන්නට නොදෙන මේ පොලිස් නිලධාරින් ඔවුන්ගේ පවුල්වල අයද එකිනෙකා මුණගැස්සවීමට වැඩ සලස්වන්නේ නිස්සංක මිරැන්ඩා යුවල පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද තව තවත් අපහසුතාවයට පත් කරමිනි.
ජීවිතය පුරාවටම ගැහැනියකට හෝ පිරිමියෙකුට එකම සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් දිවි හිමියෙන් ප්රේම කරන්නට පුළුවන්කමක් තිබේද? ඉතිහාසය පුරා අන්තඃපුර තිබූ රජවරුන්ද , එකගෙයි කෑ ගැහැණු පිරිමින් ගැනද කතා අපි අසා ඇත්තෙමු. වික්ටෝරියානු සමාජය විවාහය නීත්යානුකූල සම්බන්ධතාවයක් බවට පත් කළේය. පිටස්තර මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා දරාගැනීමටත් එකිනෙකාගේ අවශ්යතා ඉටුකරමින් එකිනෙකා රැක බලාගැනීමත් දරුමල්ලන් හදාවඩාගෙන පරම්පරාව ඉදිරියට ගෙන යෑමත් විවාහය හා බැඳුණු යතාර්ථය වන්නේය. ගැහැණුන් පිරිමින් අතර ඇතිවන බොහෝ බැඳීම්වල ආරම්භය ඉතා උද්වේගකර ආහ්ලාදජනක ආශ්වාදජනක එකකි. මින් සමහරෙක් එකිනෙකා කෙරෙහි ඇතිවන ගරුත්වය සහ අන්යොනය අවබෝධය මත එකිනෙකා දරාගනිමින් ආශ්වාදජනක කාලය අවසන් වූ පසුද එක මග යන අතර තවත් සමහරෙක් හුදු දරුවන් කරන කොටගෙන සියලුම නොගැලපීම් ගැලපීම් කරගෙන ජීවත් වීමට උත්සහ දරන්නේය. මිනිසා යනු ස්වභාවයෙන්ම අතෘප්තකර ආශාවන්ගෙන් යුක්තය විවිධත්වයට ආශා කරන්නෙකි. ඒකාකාරී ජීවන රටාවක් තුළ සනීපය කෙතරම් තිබුනද අවදානම් ගැනීමට මිනිස් චිත්තාභ්යන්තරයේ ගූඪ ආශා ඇතිවීම මිනිස් ස්වභාවයයි. ”සබ්බේ පෘතග්ජනා උම්මන්තකා” යැයි බුද්ධ දර්ශනයේ කියැවේ . අඩු වැඩි වශයෙන් රාගය, ද්වේශය, මෝහය, ඇතුළු ආශාවන්ගෙන් යුතු වූ මිනිසා සිය චිත්තාවේග පාලනයෙහි ලා අසමත් වූ කළ තමාවද පීඩාවට පත් කරගනිමින් අන් අයවද පීඩාවට පත් කිරීමට තැත් කරන්නේය.
නිස්සංක හා මිරැන්ඩා අතර සම්බන්ධයක් ඇති වීමට පැහැදිලි හේතුවක් චිත්රපටය අපට පවසන්නේ නැත. චිත්රපටය ආරම්භ වනවිටම ඔවුන්ගේ සම්බන්ධය ආරම්භ වී අවසානය කරාද ළඟා වී තිබෙද්දී ඊළඟට වන්නේ කුමක්දැයි ප්රේක්ෂක සිත්සතන්හී කුතුහලයක් ජනිත කරවයි. චිත්රපටයක් යනු සැමවිටම මුල මැද අග එක පෙලට හිස් තැන් පුරවන කතාවක් නොවේ. එසේ නොවෙන අවස්ථාද තිබෙන්නට පුළුවන. කුමක් හෝ හේතුවක් මත නිස්සංක සහ මිරැන්ඩා අතර සම්බන්ධයක් ඇති වී ඇති අතර එය කායික සම්බන්ධතාවයක් දක්වා දුරදිග ගිය එකක් බව ප්රේක්ෂකයාට අවබෝධ කරගත හැකිය. පවුල යන සංස්ථාවට ලැබෙන සාමාජීය වැදගත්කම තුළ ඔවුන් එකිනෙකා සමග සාමදානයෙන් සිය නිවෙස් කරා බලා යනු දැකීම අපේ අවිඥානික ආශාවයි. ඒ ආශාවන් සුණු විසුණු කරදමමින් ඩග්ලස් සහ සමන්ති මිරැන්ඩා සහ නිස්සංකගෙන් වෙන්වෙයි.
හංස විලක් අපට පෙනෙන්නේ නිස්සංක හරහාය. පොලිසියේදී සහ කාමරයේදී අපට මුණගැසෙනා ඩග්ලස් සහ සමන්තිගේ අඩුපාඩුවක් ප්රේක්ෂක ඇසට හසු නොවේ. එහිදී මේ චරිතයන්හී ස්වභාවයන් පිළිබඳ ඉඟි වරින් වර ඉදිරිපත් වේ.
1. නිස්සංක – ඔහු මහා කපටි කෛරාටික හෝ සිවිල් හෝ දේශපාලනික හෝ බලයක් හිමි මිනිසෙකු නොවේ. ඔහු පොලිසියට පගාව දී ගැලවී යාමට තැත් කරනු අපට නොපෙනේ. ඔහු ඉතාම සාමාන්ය මධ්යම පාන්තිකයෙකි. . බිය , පසුතැවීම මෙන්ම ආත්මාර්ථකාමී බවද ඔහු වෙත දැකිය හැකි චරිත ලක්ෂණයන්ය. .චිත්රපටයේ ප්රධාන චරිතය ඔහු වන අතර යම් කිසි හේතුවකින් හට ගත්තා වූ ඵලයකින් ඇතිවන අතුරු ඵල නිසා ජීවිතය තුළින් ගිලිහී යන සාමකාමී බව සුව පහසුව යළි තමාවෙත ළඟා කරගන්නට කුමක් කරන්නදැයි නිවැරදිව තීරණය කළ නොහැකි චරිතයක් නිස්සංක හරහා අපට සම්මුඛ වේ. ඔහු මේ සිනමා පටයේ වීරයා නොවේ. මේ චිත්රපටයේ වීරයන් හෝ දුෂ්ටයන් නැත. නමුත් අපට එදිනෙදා ජීවිතයේ මුණගැසෙන චරිතයන්ගෙන් බහුලය. චිත්රපටය රසිකයාට වඩාත් සමීප වන්නටද සහානුභූතියක් ඇති කරන්නටද එය හේතුවක් වෙයි.
ඔහු යම් ආකාරයක උඩඟුබවකින් යුතු පුරුෂයෙකු බව සමහර අවස්ථාවන්වල ඔහුගේ හැසිරීම ප්රේක්ෂකයාට කියා පායි .
” මම නම් කිසිම කෙනෙක් ළඟ දණගහන්නේ නෑ .” යයි ඔහු වරෙක් තමා හමුවට පැමිණ සිය වේදනාව පවසන ඩග්ලස් හට මහත් ගර්වයෙන් පවසයි. තවත් මිනිසෙකුගේ වේදනාවට සංවේදීවනවා වෙනුවට ඔහු ඩග්ලස් පරදා මිරැන්ඩා ලබා ගැනීම තමා අත්පත් කරගත් ජයග්රහණයක් සේ සලකයි. මිරැන්ඩා කෙරෙහි අධිකාරි බලයක් පැතිරවීමට ඔහු උත්සහ කරයි. ඔහු තමා වරදක් කළ බව හෝ තමාගේද මැදහත් වීම නිසා තමාගේද වෙනත් අයෙකුගේ ද පවුල් සංස්ථාවක් බිඳවැටී ඇති බව නොසිතයි. . දෙදරු පියෙකු වන ඔහුට ඔවුන්ට ලිපි ලිවීමට හෝ දැකීමට යෑමට උවමනාවක් ඇති වන්නේ මිරැන්ඩා ඇගේ දියණිය සහ ඩග්ලස් කෙරෙහි දක්වන ආකල්ප මතය. නමුත් බලන බලන අත ඔහු පදිංචි වී සිටිනා නිවාස සංකීර්ණයේ ඔහුට පෙනෙන්නේ සිය දරුවන්ගේ වයසේ වන ළමුන්වය. ඔහු සිය දරුවන්ට ආදරය නැති බව වරෙක මිරැන්ඩා පවසයි.
සමහර අවස්ථාවන්හීදී පුරුෂයා දරුවන් කෙරෙහි ලැදියාවක් නොදැක්වීම ස්ත්රිය පුරුෂයාගෙන් ඈත් කිරීමට සමත් වන බව මනෝ විද්යාත්මකව තහවුරු වී ඇත. දරුවන්ට් සිටින විවාහක කාන්තාවන්ට ලං වීමට තැත් දරනා පිරිමින් බොහෝ විට එම කාන්තාවන්ගේ දරුවන් කෙරෙහි ස්නේහයක් පෙන්වන අවස්ථා ඇති බවත් එවැනි පිරිමින් කෙරෙහි ස්ත්රියගේ චිත්තයේ අවිඥානිකව ලැදියාවක් ඇතිවන බවද මනෝ විද්යාත්මකව තහවුරු වී ඇත.
2. මිරැන්ඩා – ඉතා ආකර්ශනීය ගැහැනියකි. දැඩි ගතිගුණ ඇත්තියකි. පොලීසියෙදී ඈ හඬමින් සිටියත් වාගාලාප කියමින් විලාප නොතියයි. ඩග්ලස්ගේ දෙපා නමදිමින් සමාව ඉල්ලා හඬා නොවැටේ. (සාමන්යයෙන් මෙවැනි අවස්ථාවන්හීදී අප බලාපොරොත්තුවන සාමන්ය ගැහැනිය ඇය වුවත් මිරැන්ඩා එසේ නොවන්නීය. ) සිය දියණිය කෙරෙහි ලැදියාවක් පෙන්වන්නියක වුවද සැමියා දියණිය රැගෙන යන විට නාටකීය හැසිරීම් පෙන්වමින් දරුවා තමාට ඇද ගැනීමට වෙර නොගන්නීය. අඩුම තරමේ සිය සැමියා ඉවත්ව ගිය පසු නාටකීය ස්වරූපයෙන් නිස්සංක වෙත හැරී අනේ නිස්සංක කියා හෝ ඈ නොපවසයි. මිරැන්ඩාගේ චරිතයේ දැඩි බව පෙන්වීමට අඩු දෙබස් ප්රමාණයක් යොදාගෙන තිබීම සාර්ථක උපක්රමයකි. දික්කසාදයෙන් පසුවද නිස්සංක සමගින් ප්රීතියෙන් බස් තෙපලන ඈ තුළ අපට පෙනෙන්නේ සාම්ප්රදායික ගැහැනිය නොවේ. ” ඇයව විවාහ කර නොගන්නා ලෙස සිය ඥාති හිත මිතුරන් පැවසූ බව ඩග්ලස් නිස්සංක හමුවේ වරෙක ප්රකාශ කරයි . එසේනම් මිරැන්ඩා මුල සිටම සමාජය සහ සංස්කෘතිය විසින් කුටුම්භයකට ලං කරගැනීම බියවන ආකාරයේ ගැහැනියකගේ චරිත ලක්ෂණ මුල සිටම සිය හැසිරීම් රටාව තුළ ප්රකට කර ඇත. එවැනි චරිතයක වන චරිත ස්වභාවයේ එන දැඩි බව ආත්මාර්ථකාමී බව සහ අහංකාරය එතරම් අපූරුවට නිරූපණය කරන්නට හැකි මුහුණක් ස්වර්ණා හැරුණු කොට සිංහල සිනාමවේ වෙනත් නිළියකට නැති බව මාගේ පෞද්ගලික මතයයි. ඇගේ රංගන පෞරුෂය මිරැන්ඩා නමැති චරිතයට මනා සාධාරණයක් කර ඇති බව චිත්රපටය නරඹන බොහෝ දෙනෙකුට පෙනෙනු ඇත.
ඔවුන් අභිමුඛ වීමට එන ඩග්ලස්ගේ ආවේගශීලී හැසිරීම හමුවේදී ඈ නිස්සංකට පහරදෙන ඩග්ලස්ට කම්මුල් පහරක් දෙන්නේ සිය කුටුම්භයට පිටු පෑ ආකාරය සංඛේතවත් කරමිනි. නිස්සංක සමග විවාහ වන ඈ ඔහු සමග සිදුවන විවිධ බහින් බස් වීම් හමුවේ ඩග්ලස්ව සහ නිස්සංකව සංසන්දනය කරනා බව ප්රේක්ෂකයාට පෙනෙයි. තමා ආශාක්තවී සිටින ගැහැනියක තමාව වෙනත් පිරිමියෙකු හා සංසන්දනය කිරීමේදී ඒ වෙනත් පිරිමියා ඉදිරියෙන් සිටිනා බව ඒ කාන්තාවගේ මුවින් අසන්නට ලැබීම පිරිමියෙකුගේ අභිමානයට පහරකි. මෙය ස්ත්රී පුරුෂ දෙපාර්ශවයටම පොදුය. එය කෙතරම් එසේ නැතැයි සිතුවත් අවිඥානිකව මිනිසා නැමති සත්ත්වයා තුළද සියලුම සතුන්ට පොදු ප්රාථමික ලක්ෂණ තවමත් ඉතිරිව පවතී.
ඩග්ලස් – විටෙක ආවේගශීලීද විටෙක අධි සංවේදී ලෙසද ක්රියාකරන ඔහුගේ මේ යැයි කිව හැකි වරදක් ප්රේක්ෂකයාට සොයාගත නොහැකිය. සිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමග සම්බන්ධයක් පවත්වන බව අසන්නට ලැබෙනා ඕනෑම පුරුෂයෙකු හැසිරෙන ආකාරයට වඩා යහපත් ආකාරයට ඔහු හැසිරෙයි. ඔහු කිසිඳු විටක සිය බිරිඳට පහරදෙන්නට පෙළඹෙන්නේ නැති යහපත් ස්වාමි පුරුෂයෙකි. තමා සමග යහන බෙදාගන්නා ගැහැනිය වෙනත් පිරිමියෙකු සමග යහන් ගතවීම සාමාන්ය මනෝභාවයකින් යුතු පිරිමියාගේ ගර්වයට පහරකි. එය විශ්වාසය කඩ කිරීමකටත් එහා ගිය වේදනාවකි. තමාට හිමි ගැහැනිය වෙනතක් බැලීම පුරුෂයෙකුට එක්තරා ආකාරයක පරාජයකි. නිස්සංකට වඩා මිරැන්ඩාගේ චරිත ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති තැනැත්තා වන්නේ ඩග්ලස්ය. අපට ඩග්ලස් හරහා පෙනෙන්නේ සිය දරුවාට මවගේ සෙනෙහස යළි ලබාදීමට උත්සහ ගන්නා අසරණ සැමියෙකි. පියෙකි. මේ චරිතයේ අභ්යන්තරයටම කිඳා බැස බලන්නේනම් සිය පරාජය ජයග්රහණයක් බවට හරවා ගැනීමට උපක්රමශීලිව උත්සහ දරනා පුරුෂයෙකු මුණගැසෙනු ඇත. අහිමි වීම තුළ මිරැන්ඩා කෙරෙහි වූ ආදරය වැඩි වුණු බව ඔහු කියයි. “Absence make the heart grow fonder’ යනුවෙන් කියමනකි. එය සියලුම සාමාන්ය මිනිසුන්ට පොදු කාරණාවකි. නමුත් out of sight ,out of mind යනුවෙන්ද කියමනක් ඇති බවද මතක තබා ගත යුතුය.
සමන්ති- 80 දශකයේදී අපට මුණගැසෙන සාම්ප්රදායික ”යහපත්” බිරිඳ සමන්ති හරහා අපට මුණගැසේ. උපේක්ෂා සහගත ඇය සිය සැමියා කෙරෙහි අවසානය වන තෙක්ම ක්රෝධ නොකරන්නීය. ඔහුට බැන අඬගසමින් ක්රියාකරනු වෙනුවට ඇය සිය දරුවන් සමග ජීවිතයට මුහුණ දෙයි. සමන්තිගේ චරිතය ඉල්ලා සිටින්නේ සංස්කෘතිය සහ ඇගේ සමාජ පරිසරය තුළින් සංයමයකින් යුතු කලබල නැති උපේක්ෂා සහගත රංගනයක් වන අතර වසන්ති චතුරාණිගේ රංගනය සමන්තිගේ චරිතයට සාධාරණයක් කර ඇති බව මගේ පෞද්ගලික විශ්වාසයයි.
ෆ්රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ සිද්ධාන්තයට අනුව මිනිස් පෞරුෂය කොටස් තුනකට බෙදෙනු ලැබේ. id , ego සහ superego යන මේ කොටස් තුනෙන් ඉඩ් දැඩි ආත්මාර්ථකාමයකින් කටයුතු කරනා අතර ඔවුන්ගේ ලොව තමා වටාම පමණක් ගොඩ නැගී ඇත. . මිනිසාගේ හැසිරීම කෙරෙහි id ආධිපත්ය දරන කල්හි මිනිසාගේ මූලිකම අවශ්යතාවය කෙසේ හෝ කවර ආකාරයෙන් හෝ සිය ආශාවන් තෘප්ත කරගැනීම පමණකි. එහිදී සිය ආශාවන් තෘප්ත කරගැනීමේදී ක්රියාකරන ආකාරයෙන් පසුව ඇතිවන ප්රතිපල කෙරෙහි අවබෝධයකින් හෝ වගකීමකින් යුතුව හැසිරීමට ඔහුට නොහැකිවන්නේය. idට ඉවසීමක් නැත. ආශාවන් තෘප්ත කරගැනීමේ අශාවෙන්ම පමණක් දැවේ සහ ඒ අනුව ක්රියාකරයි. අතිශයින් ආත්මාර්ථකාමීය. තමන්ගේ වැඩය පමණකි. අනුන්ට හෙන ගැසුවත් කමක් නැත.
ego මූලිකව ක්රියාකරන කල්හි idව යටපත් කරමින් ක්රියා කළ හැකිය. නමුත් එවැනි අවස්ථාවන්හීදී යටි සිත ඉල්ලන බොහෝ දෙයින් උඩු සිත වළකින්නේ සමාජ දේශපාලන සහ සංස්කෘතික බලපෑම නිසාය. ලෝකයේ වැඩිපුරම ඉන්නේ රටේ ලෝකේ මිනිස්සු බලාගෙන ඉන්නා නිසා හෝ නීති රීතිවලට යටත් වීම නිසාම බොහෝ දේ කරන සහ නොකරන මිනිසුන්ය. super ego මුල් වන විටදී තමන්ගේ පාලනය තමන් තුළ ඇතිව ක්රියා කළ හැකිය. ස්වයං විනයකින් සහ මධ්යස්ත බවකින් යුතුව නීති රීති තිබුනත් නැතත් සමාජය බලාගෙන සිටියත් නැතත් වඩාත් සාධාරණව සහ නිවැරදිව මේ අයට කටයුතු කිරීමට හැකිය.
හංස විලක් චිත්රපටය පුරාවට අපට මුණගැසෙන්නේ පළමු දෙවර්ගයේ මිනිසුන්ය. 80 දශකයේ පමණක් නොව 21 වෙනි සියවසේද නිස්සංකලාද මිරැන්ඩාවන්ද , සමන්තිලා මෙන්ම ඩග්ලස්ලාද අපට විවධ අවස්ථාවන්හීදී විවිධ චරිත හරහා මුණගැසෙනු ඇත. සිය ආශාවන් පාලනය කරගැනීමෙහි ලා අසමත් වන මිනිසුන් බොහෝ විට තමාගේ චිත්තාභ්යන්තරයේ ඇති වන ගැටුම්වලින් තමාවම පීඩාවට පත් කරගන්නා අතර එයින් සමහරවිට ඔවුන් උමතු ස්වභාවයට පත්වන අතර සිය පාලනය සහමුනින්ම තමාගෙන් ගිලිහී ගොස් අවාසනාවන්ත ඉරණමවලට ගොදුරුවන අවස්ථාද ඇත. එකම මිනිසෙකු තුළ වන id ego super egoගැටුමින් දැඩිව තුවාල වන හෙම්බත්වන දැඩි පීඩාවට ලක්වන නිස්සංකගේ චරිතයට ධර්මසිරි බණ්ඩාරනයක ඉතාම ප්රශස්ත මට්ටමේ සාධාරණයක් ඉටු කර ඇත.
හංස විලක් විශිෂ්ට සිනමා කෘතියක් වන්නේ විවාහක මිනිසුන් තවත් විවාහක මිනිසුන් සමග ඇතිකරගන්නා සම්බන්ධය දෙස විවේචනාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන චිත්රපටයක් නිසා නොව එවැනි චරිතයන්හී චිත්තාභ්යනතරයේ ඇතිවන සංකීර්ණ මනෝභාවයන් සහ සංකූලතාවයන්ගෙන් යුතු ගැටුම අති සාර්ථකව ඉදිරිපත් කර ඇති ප්රබල තිර පිටපතකින් සහ ප්රබල රංගන දායකත්වයකින් යුතු චිත්රපටයක් වන බැවිනි. ප්රේක්ෂකයාට චිත්රපටයේ එන චරිත කුරුසියක තබා ඇණ ගසන්නට නොසිතෙන්නේත් මනෝ විශ්ලේෂණාත්මකව චිත්රපටය සහ එහි චරිත දෙස බැලීමට පෙළඹෙන්නෙත් නිස්සංක නමැති චරිතය එහි වටපිටාව හා ඔහුගේ සිතුවිලි හරහා කතාන්දරය ඉදිරිපත් කිරීමේ උපක්රමය නිසාය. එසේ නොමැතිව එක එක චරිතයන්හී කතාන්දරය මේ විනාඩි ගණනාවක කතා පුවත තුළ ඉදිරිපත් කිරීමට ගියේ නම් හංස විලක් තවත් එක් වට්ටෝරු චිත්රපටයක් හෝ නාටකීය ජවනිකා රැගත් ටෙලි පටයක් සේ පමණක් වනු ඇත. හංස විලක් ශ්රී ලංකා සිනමාව තුළ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ ජාත්යන්තර මට්ටමේ විශිෂ්ට සිනමා කෘතියකි. මුළු චිත්රපටය පුරාවට දිවෙන පරිපූර්ණත්වය හේතුකොටගෙන සංස්කරණයෙන් ඉවත් කළා නම් හොඳ යැයි සිතෙනා කිසිඳු තැනක් එහි නැති තරම්ය. තමන්ගේ ක්රියාවන් හා මිනිස් දුර්වලතා හේතුකොටගෙන දැරිය නොහැකි චිත්ත පීඩාවකට පත්වන මිනිසෙකුගේ මනසේ ස්වභාවය පිළිබඳ පැවසෙන හංස විලක් වැනි සර්වකාලීන මෙන්ම විශ්වීය තේමාවකින් යුතු කතා පුවතක් රැගත් සිනමා පටයක් 80 දශකයේදී බිහිවීමම ලාංකේය සිනමාව ලද ජයග්රහණයක් බව කිවයුතුමය.
– කාංචනා ප්‍රියකාන්ත –
“හංස විලක්” නරඹන්න………

Comment
Share
381 Views
5
On 7 Ratings
Rate it
Written by Nisanka Weheraduwa