මේ තත්වය යටතේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හීන දැකීම හාස්‍යජනකයි – සිනමාවේදී නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්

Avatar Nisanka Weheraduwa | January 20, 2018 11 Views 0 Likes 0 Ratings

11 Views 0 Ratings Rate it

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකය පුරා පසුගිය සියවස පුරාම විවිධ කතාබහ ඇතිව තිබේ. අයිතීන්, හිමිකම්, ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා සිදුවන සමාජීය විපර්යාසයන් පිළිබඳවද සාකච්චා කෙරෙමින් තිබු ලෝකය මෙම සංකල්ප නව්‍යකරණයට ලක් කරමින් තිබේ. එනම් තුන්වන ලිංගිකතත්වයක්ද (third gender) මෙම සාකච්චා තුලට ඈඳා ගැනීමෙනි. සමරිසි ප්‍රජාව නැතහොත් සාමකාමී නැඹුරුවක් ඇති තවත් කොටසක් (Homosexual) පිළිබඳවද තැනින් තැන විවෘත කතාබහ ඇතිවීම සහ ඊට සහයෝගය මෙන්ම විරෝධය පල කරමින් ලෝකය පුරාම නව සමාජමය ගැටුම්ද නිර්මාණය වෙමින් පවතී. කෙසේ නමුත් විවිධ කලා මාධ්‍ය ඔස්සේ මෙම මාතෘකා පිලිබඳ කතිකාව මතුවීම සමග ලෝකය පුරාම මේ සඳහා දැඩි අවධානයක් යොමු වීමද සිදුවිය. තුන්වන ලෝකයට අයත්, සංස්කෘතික ජීවින් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව තුළද මෙම ගැටලුව කරලියට ගෙන ඒමට කලා නිර්මාණ සමත්ව තිබිණ. වර්ථමානයේ වැඩිපුරම කතාබහට ලක්වුණු සිනමා නිර්මාණයක් හරහා මේ මාතෘකා පිලිබඳ සාකච්චාව යළි මතුපිටට ගැනීම සඳහා මැදිහත්වීමක් ලබාදීමට විසාකෙස චන්ද්‍රසේකරන් සමත් විය. කලාකරුවකු ලෙස විවිධ කලා මාධ්‍යන් ඇසුරු කරමින් නිර්මාණ කටයුතු කළ මානව හිමිකම් නීතිඥවරයකු වන විසාකේස චන්ද්‍රසේකරම් සමග ඔහු නිර්මාණය කළ සයපෙති කුසුම හෙවත් Frangipani සිනමාපටය පිළිබඳව කතාබහක යෙදීමට cinema.lk අවකාශ වෙනකොට තිබේ.

මේ කතාබහට මූලික නිමිත්ත වන්නේ ඔබේ චිත්‍රපටය. අපි එතැනින්ම මේ කතාබහ පටන් ගමු.
ඔව්. ලංකාව ඇතුලේ නාට්‍ය නවකතා වගේ විවිධ කලා නිර්මාණ කරමින් හිටපු මම මුල් වරට සිනමා මාධ්‍ය පරිහරණය කරන්න පටන් ගත්තා. මේක මගේ පළවැනි සිනමා නිර්මාණය. මේ වෙද්දී චිත්‍රපටය තිරගත වෙලා සම්මාන උළෙල කිහිපයක් නියෝජනය කරලා මේ සියල්ලම අවසන්. නිර්මාණකරුවෙක් විදිහට සමාජය තුල කිසියම් අවදිවීමක්, කතාබහක් ඇතිකරන නිර්මාණයක් එලියට ගේන්න මට හැකියාව ලැබුනා කියල මම හිතනවා. විශේෂයෙන්ම පොදු සමාජයේ අවධානයෙන් ගිලිහුණු නමුත් අවධානයට ලක් විය යුතු සුළුතරයක් ගැනයි මම මේ හරහා කතා කරන්න උත්සාහ කලේ.

ඔබ සිනමා නිර්මාණයකට එන ගමන් මගේ තවත් හුඟක් සංධිස්ථාන පසු කළා. ඒ අතීතය ගැන මතක් කරන්නම අවශ්‍යයි.
ඔව්. ඉතිහාස කතා බොහොමයි. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. පහ වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි මම රාජකීය විද්‍යාලයට ඇතුල් වුනේ. කොහොමහරි සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මම filming ගැන උනන්දුවකින් කටයුතු කළා. සිනමාවට තිබුන කැමැත්ත නිසාම මම ලලිත් කරුණාරත්න, ෂර්ලි පි. විජේරත්න වගේ අය එක්ක සිනමා නිර්මාණ වල වැඩ කළා, සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට. මම මේ කියන්නේ මට වයස 17 දී කළ දේවල් ගැන. මට මේ අතරේදී “රජ ගෙදර” චිත්‍රපටයේ වැඩ කරන්න ලැබුනා. එතැනදී මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බොහෝ දෙනෙක් හඳුනා ගත්තා. නමුත් මේ වෙද්දී සිනමාව අතාරින්නත් දිගටම ඉගෙන ගන්නත් කියල මට අපේ ගෙදරින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබුනා. මමත් ඒ වෙද්දී තේරුම් අරන් තිබුන දෙයක් තමයි film industry එකේ වුනත් ඉස්සරහට යන්න නම් හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම වැදගත් කියලා. පස්සේ මම ආපහු උසස් පෙළ විභාගය කළා. ප්‍රථිපල අනුව මට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න හැකි වුනා නීතිය හදාරන්න. උසස් පෙළ ප්‍රථිපල එනතුරු මම NISCO Video පාඨමාලාවක් කළා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගිහින් අධ්‍යාපන කටයුතු අවසන් වනවාත් එක්කම වගේ නැවත කලා කටයුතු ආරම්භ කළා. තහනම් අඩවිය සහ දේවදාසි කියල නාට්‍ය ද්විත්වයක් මම නිර්මාණය කළා. මේ නාට්‍ය ඉංග්‍රීසියෙන් නිර්මාණය කරලා පස්සේ සිංහලට නගපු ඒවා. කාලය ගෙවෙද්දී මම මානව හිමිකම් නීතිඥයෙක් විදිහට වැඩ කරන්න ඔස්ට්‍රේලියාවට ගියා. 2004 අවුරුද්දේ මම ලංකාවට ඇවිත් “කටු යහන” කියල නාට්‍යක් කළා. ඒක සිනමා ආකෘතියටම නිර්මාණය කෙරුණු එකක්. සරල ගීත හයක් තිබුනා. ඒ හරහාත් මම කතා කරේ සාමකාමී ප්‍රජාව ගැන.
2007 වසරේදී මම ඕස්ට්‍රේලියාවේ නාට්‍යක් කළා, Gods in war නමින්. තව භාරත නාට්‍යම් ආශ්‍රයෙන් සිඩ්නි වලදී නිර්මාණයකුත් කළා. දේව සංකල්පය ඇතුලේ sexuality කියන දේ කොහොමද සාකච්චා වෙන්නේ කියල මම එතැනදී කතා කරන්න උත්සාහ කළා. තව short film එකකුත් කළා ඒ කාලෙම. ඔය පියවර සියල්ල අහරහා ඇවිල්ලයි මම feature film එකට අත තිබ්බේ.

චිත්‍රපටයට අමතරව ඔබේ කලා ඉතිහාසය තුල ඔබ තවත් නිර්මාණ කාර්යන් කිහිපයක්ම කරලා තියෙනවා. එහෙම නේද..?
2012 වසරේ මම මානව හිමිකම් කියන විෂය ක්ෂේත්‍රය සමග නිතිය කියන විෂය ආශ්‍රයෙන් මගේ ආචාර්ය උපාධිය හදාරනවා. ඒ වෙනුවෙන් මට පර්යේෂණාත්මක නිබන්ධනයක් කරන්න සිදු වනවා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඒ වෙද්දී ලංකාව තුළ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබුනා. එක තමයි මගේ පර්යේෂණයට මූලික වෙන්නේ. මේ පනත, පනතේ හැසිරීම සහ පනත භාවිතා කරමින් සිටි ආකාරය ගැන මම පර්යේෂණයක් කළා. Tigers don’t confession (කොටියෝ පාපොච්චාරණය නොකරති) කියන මගේ ඒ නවකතාව 2012දී ඉන්දියාවේදී publication එකක් විදිහට පල කෙරුනා. ඊට පස්සේ තමයි මම 2013 ලංකාවට ඇවිත් Frangipani කරන්නේ. ඒකට සමගාමිව මම “රජ සහ ඝාතකයා” කියන කෘතිය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් නිර්මාණය කළා.

ඔබේ චිත්‍රපටයට විෂය වෙන්නේ එතෙක් ලංකාවේ අඳුරේ අතපතගාන ලද මාතෘකාවක්. එහෙම නේද..?
ඔව් ඇත්ත. මේ මාතෘකාව ගැන එළිපිට කතා නොකරපු ස්වභාවයක් තිබුනා. විශේෂයෙන්ම අපේ සිනමාව ඇතුලේ මේ මාතෘකාව කතා කරාද කියන එකත්, කතා කළා නම් ඒ කල විදිහත් ගැටළු සහගතයි. ලෝක අර්ථයෙන් ගත්තහම සාමකාමී හෝ සංක්‍රාන්ති ලිංගික ජන කොටස් පිළිබඳව ධනාත්මක අංශයෙන් කතා කරන නිර්මාණ බොහොමයි. නමුත් මලට නොඑන බඹරු වගේ චිත්‍රපට එතන නැහැ. ඒ නිසා මේ ගැන නිවැරදි සාකච්චාවකට යන්න උත්සාහයක් තිබුනේ අසෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ පමණයි මම හිතන විදිහට. ජාත්‍යන්තර සිනමා උළෙල නිර්දේශ අරගෙන බැලුවහම සාමකාමී ප්‍රජාව නියෝජනය කරන චරිත, ප්‍රධාන චරිත ලෙස යොදාගෙන ඒ මාතෘකාව පිලිබඳ ධනාත්මක සාකච්චාවක තියෙන චිත්‍රපට තමයි ඒ නිර්දේශයන් අතර තිබුනේ. මලට නොඑන බඹරු වගේ චිත්‍රපට හරහා ඒ අරමුණු ඉටු වුනේ නැහැ. මේ ජනකොටසේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවෘතව සහ දේශපාලනිකව බලපු තවත් නාට්‍යක් තමයි “කටු යහන” ඉතින් ඔන්න ඔහොම වටපිටාවකයි මම මේ චිත්‍රපටය කරන්න හිතුවේ, ඇත්තටම කිවුවොත් මම හිතාගෙන හිටියෙත් වෙන මාතෘකාවක් ආශ්‍රයෙන් චිත්‍රපටයක් කරන්නයි. නමුත් ඒ අවස්ථාවේ මේ මාතෘකාව මා විසින් ගෙන ආ යුතුව තිබුනා. ඒ පිලිබඳ මම වගකීම ගත යුතුව තිබුනා. ඒ නිසයි මම මේ වැඩේ කරන්න පෙළඹුනේ.

සංස්කෘතික තහංචි රැසක් එක්ක පවතින සමාජයක් වුනු ලංකාව ඇතුලේ මේ සිනමාපටය අභියෝගයක් වුනේ නැද්ද.?
සංස්කෘතිකමය අභියෝග එන්නේ පස්සේ. නමුත් ඊට කලින් පොදුවේ සිනමාකරුවෙකුට මතුවන අභියෝග රැසක් තියෙනවා. විශේෂයෙන්ම නවක නිර්මාණ කරුවෙකුට. ඒ සියල්ලට මමත් මුහුණ දුන්නා. producer කෙනෙක් නෑ. ශිල්පින් සපයා ගැනීම අපහසු වුනා. කොහොමහරි අන්තිමේ කුලරුවන් කැමරාව බාර ගත්තා. ඊළඟට ශිල්පින් සෙවීම. අන්තිමේ දසුන් සහ ජෙහාන් වෘත්තිමය රංගන ශිල්පින් විදිහට මේ අභියෝගය බාරගත්තා. අන්තිමේ යශෝධාත් ජෙහාන් සහ දසුනුත් ප්‍රධාන චරිත සඳහා දායක වුනා. ඒ අය තෝරාගෙන අනිකුත් ශිල්පින් සම්බන්ධ කරගෙන workshops කළා. ඔය සියල්ල ජයගෙන චිත්‍රපටය කරා කියමුකෝ. අන්න ඊට පස්සේ එනවා ඔබ අර කියපු අභියෝග. ප්‍රධානම අභියෝගය ප්‍රදර්ශන බලපත්‍රය. 2014 වසරේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා ලැබුනෙත් එක දිනක අවසර පත්‍රයක් පමණයි. වාසනාවකට රටේ දේශපාලනික වාතාවරණය වෙනස් වුනා. වාරණ මණ්ඩල රැඟුම් පාලක මණ්ඩල සියල්ල වෙනස් වුනා. ඒ අනුව වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනයට අවස්තාව ලැබුනා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වැඩේ මුල සිට අගටම අභියෝගයක් තමයි මට අනුව නම්.

ඔබ කියන මේ ගැටලුව විවෘත සමාජය තුලට ගෙන එන විදිහ ගැනත් ලොකු ගැටළුවක් තියෙනවා නේද.? මේ සාකච්චාව පටන් ගන්නෙම මේක ලිංගික ගැටළුවක් කියන තැනින්. එහෙම නැත්තම් මේ ජන කොට්ටාසයට කවර හෝ පිඩාවක් ඇති කෙරෙන තැනකින්. මේ ක්‍රියාදාමයේම අවුලක් තියෙනවා නේද.?
පැහැදිලිවම. කාටවත් එහෙම මේක ලිංගික ගැටළුවක් කියල කියන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටළුවක්. බහුතරය විසින් සුළුතරය ආරක්ෂා වීමයි ප්‍රජාතන්ත්‍රවාදය විය යුත්තේ. එතැනදී මේ සුළුතරය කියන එකට ධුරාවලියක් අවශ්‍ය නෑ. නමුත් ලංකාවේදී ඒක වෙන්නේ නෑ. වාර්ගික හෝ ආගමික සුළුතරය ප්‍රමුඛයි. ලිංගික සුළුතරය ගැන සඳහනක් නෑ. සාමකාමී සහ සංක්‍රාන්ති ලිංගික කියන්නේ සුළුතර ප්‍රජාවක්. ඒ අයට සමානව සැලකීම අනිවාර්යයි. එහෙම නැතුව අපට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න අයිතියක් නැහැ. සාමකාමී ප්‍රජාව ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාමය වශයෙන් අපරාධ වරදක් ලෙස සලකනවා. කොහොමද එහෙම වෙන්නේ. ඒක ඒ අයගේ හැඟීම් පිලිබඳ කතාවක්නෙ, ඒක අපරාධයක් වෙන්නේ කොහොමද.? මේ යල්පිනූ නීති වෙනස් විය යුතුයි. ඒ අයට එලියට එන්න බෑ. සමකාමින්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න ආදරය කරන්න මේ කිසිවක් කරන්න බැහැ. ගැටළු, සංස්කෘතික බාධක මහා ගොඩක්. ඒ ප්‍රජාව අති දැවැන්ත පීඩනයකට ලක් වෙලා. ඉතින් මෙන්න මේ කාරණා දැන්වත් වෙනස් වෙන්න අවශ්‍යයි. මේ අය අස්වාභාවික පිරිසක් හෝ සමාජ විරෝධීන් කොටසක් හෝ විදිහට සැලකීම නවත්වන්නම වෙනවා. මේ අයට තමන්ගේ අයිතිය ගැන එලිපිට කතා කරන්න බෑ. මට තියෙන වෘත්තිමය සහ සිවිල් බලය එක්ක ඒක කරන්න පුළුවන්. නමුත් හැමෝටම බැහැ.

මේ තත්වය වෙනස් විය යුතුයි. මොනවද ඔබේ යෝජනා..?
විය යුත්තේ සියල්ලන්ටම සමානව සලකන වටපිටාවක් නිර්මාණය කිරීම. සමානාත්මතාව ලැබෙන දේශපාලනික නෛතික රාමුවක් සකස් කිරීම. තමන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා නීතිය ඉදිරියට යාමට අයිතිය තිබෙන්න අවශ්‍යයි මේ ප්‍රජාවන්ට. ඒ හරහා සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. කලාකරුවන්ට මෙහිදී ආකල්පමය වෙනසක් ප්‍රජාව තුළ ඇති කිරීමට දායක විය හැකියි. නමුත් ඉතින් ඒ අය මුලින්ම මේ ගැටලුව දෙස යතාර්ථවාදිව බැලිය යුතුයි. මේක ලංකාවට හුදෙකලා සිද්දියකුත් නෙමෙයි. බටහිර පවා මේ හිංසනයන්, දිවි නසාගැනීම් තර්ජන, තියෙනවා. නමුත් සාපේක්ෂව යම් ධනාත්මක පැත්තකුත් ඒවායේ තියෙනවා. ඉතින් සියල්ලන්ටම මිනිස්සු ලෙසින් සලකන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා පොදු සමාජය තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට ගත්ත උත්සාහයකුයි මම සයපෙති කුසුම හරහා ගෙන ආවේ.

සියල්ලන්ට ගෞරවය ආදරය රැකවරණය සහිත සමානාත්මතාවයෙන් යුතු සමාජ ක්‍රමයක් උදෙසා කලාත්මක මැදිහත් වීමකට විසාකේස චන්ද්‍රසේකරම් නැවතත් සුදානමින් සිටිනවා. ඒ පාංශු හරහා. ඒ නව මැදිහත්වීමේ තොරතුරු හරහා නැවත වතාවක් විසාකේසගේ හඬට කන්දෙන්න cinema.lk අපි, සුදානම්.

සංවාදය සහ සටහන : නිසංක වෙහෙරදුව

සයපෙති කුසුම (Frangipani) දැන් ඔබට www.gluuoo.com වෙත පිවිසීමෙන් නැරඹීමට අවස්ථාව තිබෙනවා.

Share

11 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.