මේ Conjuring සීනමා විශ්වයේ අවසානය ද?

Avatar Kavinu Weerakkody | February 2, 2024 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

මෙතෙක් ලෝක සිනමා ඉතිහාසයෙන් බිහිවී තිබෙන අතිශය – සාර්ථක සිනමා විශ්වයක (Cinematic Universe) නිමාව ලකුණු කරමින්, ජනප්‍රිය චිත්‍රපට මාලාවක් නිල වශයෙන්ම අවසන් කරන්නට සූදානම් වන පුවතක් හොලිවුඩයෙන් ආරංචි වනවා.

ඒ ලෝකය පුරා සිටින චිත්‍රපට ලෝලීන් හොඳින් හඳුනන ‘The Conjuring Universe’ හෙවත් Conjuring චිත්‍රපට මාලාවයි.

Conjuring චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2013 වසරේදී, The Conjuring නැමැති එහි පළමු චිත්‍රපටයත් සමඟයි. එඩ් වොරන් සහ ලොරේන් වොරන් නැමැති ගුප්ත විද්‍යා පරීක්ෂකයින් දෙදෙනා විසින් යක්ෂයින් සොයා යමින් සිදු කරන පරීක්ෂණත්… එම යක්ෂකයින් අවේෂ වුනු මනුෂ්‍ය ශරීරවලින් ඔවුන්ව පලවා හැරීමට වොරන් යුවළ ගන්නා උත්සාහයත්… මෙම Conjuring සිනමාපට සඳහා පාදක වී තිබෙනවා.
2013 වසරේදී තිරගත වුනු The Conjuring චිත්‍රපටයට ලැබුනු ප්‍රේක්ෂක අවධානය නිසාම දිගින් දිගටම එහි සීක්වල් චිත්‍රපට නිෂ්පාදනය කරන්නට එම කණ්ඩායම කටයුතු කළ අතර අද වනවිට එය සිනමාපට 08කින් සමන්විත විශාල සිනමා විශ්වයක් දක්වාම වැඩි දියුණු වී තිබෙනවා.

Conjuring සිනමා විශ්වයේ පුළුල් පරාසය නිසා එය නැවතත් උප චිත්‍රපට මාලා කිහිපයකට බෙදී තිබෙනවා. ඒ Conjuring, Annabelle සහ Nun යන චිත්‍රපට මාලා ත්‍රිත්වය යටතේයි. එකිනෙකට වෙනස් කතා තේමාවන් ඔස්සේ නිර්මාණය වුවත්, මෙම චිත්‍රපට මාලා සියල්ලම The Conjuring සිනමා විශ්වයට පොදු එක කාල රේඛාවක් ඔස්සේ නිර්මාණය වන චිත්‍රපට…

Conjuring චිත්‍රපට මාලාව යටතේ The Conjuring (2013) – The Conjuring 2 (2016) – The Conjuring: The Devil Made Me To Do It (2021) යනුවෙන් නිර්මාණ තුනක් තිරගත වී තිබෙන අතර Annabelle (2014) – Annabelle: Creation (2017) – Annabelle Comes Home (2019) යනාදී වශයෙන් Annabelle චිත්‍රපට මාලාව අයත් සිනමාපට තුනකුත් මේ වනවිට නිකුත් වී අවසන්!
2021 වසරේදී තිරගත වුනු The Nun චිත්‍රපටයේ සීක්වල් නිර්මාණයක් ලෙසින් Nun 2 අවසානයට ප්‍රදර්ශනය වුනා.

‍වසර දහයකට අධික කාලයක් පුරාවට චිත්‍රපට අටක් ඔස්සේ ගොඩ නැඟුනු මෙම සිනමා විශ්වය, වර්තමාන හොලිවුඩයේ තිබෙන දැවැන්තම සහ ජනප්‍රියම Modern Horror Cinema Universe මාලාව ලෙසට හැඳින්වූවාට ත් වරදක් නැහැ. සාමාන්‍යයෙන් හොලිවුඩය හෝ වෙනත් ඕනෑම සිනමා කර්මාන්තයක් තුළ ක්‍රියාදාම – සටන් පාදක කරගත් Action Cinematic Universe විශ්වයක් නිර්මාණය කරනවාට වඩා භූතජනක යක්ෂයින් සහ Supernatural සිද්ධි මුල්කරගත් Horror Cinematic Universe මාලාවක් නිර්මාණය කිරීමට අතිශය අපහසුයි.
හොරර් සිනමාපට නරඹන සාපේක්ෂව සීමිත ප්‍රේක්ෂකාගාරය නිසා, Supernatural සිද්ධි මුල්කරගත් සුලු කතා තේමාවක් දීර්ඝ චිත්‍රපට මාලාවක් දක්වා දීර්ඝ කිරීමට බොහෝ සිනමාකරුවන් පෙළඹෙන්නේ නැහැ. නමුත් 2013 වසරේ ඇරඹි පළමු චිත්‍රපටයේ සිටම Conjuring චිත්‍රපට මාලාවට ලැබුනු දැවැන්ත ප්‍රේක්ෂක අවධානය නිසා එහි නිර්මාණකරුවන්ට එතරම් ගැටලුවකින් තොරව සිය සීක්වල් චිත්‍රපට නිර්මාණය කරන්නට අවස්ථාව හිමිවුනා.

කෙසේ වුවත්, ජනප්‍රිය චිත්‍රපට අටකින් පසුව සිය නවවන චිත්‍රපටය හරහා මෙහි අවසානය සනිටුහන් කිරීමට Conjuring කණ්ඩායම දැන් සූදානම් වන බවටයි හොලිවුඩයෙන් වාර්තා වන්නේ…

පසුගිය වසරේදී Conjuring සිනමා විශ්වයේ අටවන චිත්‍රපටය, The Conjuring: The Devil Made Me To Do It (2021) ලෝ පුරා සාර්ථකව තිරගත වෙමින් තිබූ කාලයේදීම එම නිර්මාණයකට පසුව තිරගත වන තවත් අලුත් Conjuring චිත්‍රපටයක් ගැන හොලිවුඩයෙන් වාර්තා වුනා. නමුත් ඒ නවතම චිත්‍රපටය ගැන පළමු නිල නිවේදනය නිකුත් වුනේ ඊට වසරකටත් පසුවයි.

ඒ අනුව 2022 ඔක්තෝබර් මාසයේදී The Conjuring: The Devil Made Me To Do It සිනමාපටයට සමගාමීව තවත් සීක්වල් නිර්මාණයක් නිෂ්පාදනය වන බවට පළමු වරට නිල වශයෙන් දැනුම් දුන් අතර සුපුරුදු පරිදි රංගන ශිල්පී Patrick Wilson – Vera Farmiga යුවල විසින් එඩ් වොරන් සහ ලොරේන් වොරන්ගේ ප්‍රධාන භූමිකා නිරූපණය කරන බවටත් පැවසුවා.
එමෙන්ම මෙම නවතම චිත්‍රපටය හරහා වොරන් යුවලගේ දියණිය වන ජූඩි වොරන්වත් දැකගත හැකිවේවි.

මෙම අවසාන චිත්‍රපටය නම් කොට තිබෙන්නේ The Conjuring: Last Rites යනුවෙනුයි.

සුපුරුදු පරිදි වොරන් යුවල විසින් තවත් අමනුෂ්‍ය ආත්මයක් පසුපස හඹායන සිද්ධි දාමයක් වටා ගොඩ නැඟෙන මෙම චිත්‍රපටය David Leslie Johnson-McGoldrick රචිත තිර පිටපතක් ඇසුරෙනුයි නිෂ්පාදනය වෙන්නේ. මෙතෙක් තිරගත වුනු Conjuring චිත්‍රපට සියල්ලේම තිර පිටපත් රචකයා වන්නේ ද ඔහුයි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ James Wan සහ Peter Safran විසිනි. James Wan යනු මෙම සිනමා විශ්වයේ නිර්මාණකරු මෙන්ම 2013 වසරේදී නිකුත් වූ පළමු Conjuring චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි. මෙම නවතම නිර්මාණයේ නම පිළිබඳව මෑතක් වනතුරුම රසිකයින්ට නිශ්චිතව දැනගන්නට ලැබුනේ නැහැ. නමුත් පසුගිය අප්‍රියෙල් මාසයේදී පැවැත්වූ CinemaCon උළෙලේදී පළමු වරට මේ ගැන රසිකයින්ට නිවේදනය කළ අතර චිත්‍රපටය “The Conjuring: Last Rites” යනුවෙන් නම් කළ බව නිල වශයෙන්ම මාධ්‍යයට නිරාවරණය කළා.

පසුගිය සැප්තැම්බර් මාසය වනවිටත් මෙහි තිර පිටපත් රචනය අවසන් වී තිබුනේ නැහැ. චිත්‍රපටය ජනවාරි මාසයේදී රූගත කරන්නට මුලදී සැලසුම් කර තිබුනත්, තිර පිටපත මේ ආකාරයෙන් ප්‍රමාද වීමත් සමඟ එම රූපගත කිරීම් ආරම්භ කරන්නට ඉක්මන් අවස්ථාවක් නොලැබේවි.

Conjuring සිනමා විශ්වයේ අටවන චිත්‍රපටය, “The Nun 2” ඇමරිකානු ඩොලර් මිලියන 250කට අධික ආදායමක් සමඟින් පසුගියදා ලෝ පුරා තිරගත වුනා. එය තිරගත වීම ඇරඹුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදී යි. එහි අධ්‍යක්ෂකවරයා වන Micheal Chaves මීට පෙර කිහිප වතාවකදීම සඳහන් කළ ආකාරයට The Nun 2 සහ The Conjuring: Last Rites සිනමාපට අතර යම් සම්බන්ධතාවයක් පැවතීමට බොහෝදුරට ඉඩකඩක් තිබෙනවා.

Share

65 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.