යුගයක් රසවත් කළ ෆ්‍රෙඩී – මානෙල් සුසංයෝගය

Avatar Kavinu Weerakkody | August 9, 2024 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

ඔබත් ’80 ‘90 සිංහල සිනමාවේ රසවතෙකු නම්, එකල යුගයක් රසවත් කළ ෆ්‍රෙඩී – මානෙල් සුසංයෝගය අමතක වන්නට විදිහක් නැහැ. එක්තරා කාලයකදී මෙරට සිනමාවේ ජනප්‍රියම සහ ජනකාන්තම හාස්‍ය රංගන ශිල්පී යුවල ලෙසින් සැලකුනේ ප්‍රවීණ රංගන ශිල්පී ෆ්‍රෙඩී සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වූ මානෙල් චන්ද්‍රලතා මහත්මියයි.

ඔවුන්ගේ රංගනයෙන් හැඩවුනු කොළොම්පූර් – නොම්මර 17 – චෙරියෝ කැප්ටන් වැනි හාස්‍ය චිත්‍රපට මෙරට රසිකයින්ගේ හදවත් තුළ අදටත් නොමැකෙන සලකුණත් තබා තිබෙනවා.

2001 වසරේදී ෆ්‍රෙඩී සිල්වා මහතාගේ අභාවයත් සමඟ සිංහල සිනමාවට අහිමිව ගියේ අතිශය දක්ෂ සහ ජනකාන්ත සිනමා පෞරුෂයක්. ඉන්පසුව මානෙල් චන්ද්‍රලතා මහත්මිය මුහුණ දුන් අසනීප තත්වය නිසා ඇය ද දිගු කාලයක් පුරාවටම සිනමාවෙන් සහ රංගනයෙන් ඈත්ව සිටියා.

කලක සිටම රෝගාතුර ව ප්‍රතිකාර ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය, පසුගියදා ජීවිතයෙන් සමුගත්තේ ද එම අසනීප තත්වය උත්සන්න වීම නිසාවෙනුයි. මිය යන විට ඇය 65 වියෙහි පසුවුනා. වසර පහළොවක පමණ සිට පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගත් මානෙල් චන්ද්‍රලතා මහත්මිය, පානදුර රෝහලට ඇතුළත් කර සිටින අවස්ථාවේදී යි අභාවප්‍රාප්ත වූයේ…

ගල්කිස්ස බෞද්ධ බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මන්ත්‍රී – දොන්ත බබක්කා වැනි වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසියා.

ඇය සිනමා රංගනයට එකතු වන්නේ 1984 වසරේදී ජය සිකුරුයි චිත්‍රපටය තුළිනුයි. ඉන්පසුව චණ්ඩින්ගෙත් චණ්ඩියා සිනමාපටයට රංගනයෙන් එක් වන අතර කලක් ගතවෙත්ම හාස්‍ය රංගන ශිල්පිනියක ලෙසින් මෙරට සිනමා රසිකයින්ගේ අතිශය ජනාදරයට පත් වන්නට ඇයට හැකියාව ලැබෙනවා.

නොම්මර 17 – චෙරියෝ ඩොක්ටර් – කොළොම්පූර් – චෙරියෝ කැප්ටන් – සක්කර සූස්තර – ජීවන් මල්ලි – ඔබ කොහෙද ප්‍රියේ – ලඟින් ගියොත් ඇහැක් නෑ – ඔක්කොම හොඳටයි – දඩුවම – නැව ගිලුනත් බෑන් චූන් ආදිය මානෙල් චන්ද්‍රලතා මහත්මිය රංගනයෙන් එක් වුනු ජනකාන්ත සිනමාපට කිහිපයක්…

ඇය සහ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ චිත්‍රපට එකල සිංහල සිනමාවේ Blockbuster නිර්මාණ බවට පත්වුනේ නිතැතින්මයි. ඒ නිසාම එකල සිනමාව තුළ ෆ්‍රෙඩී – මානෙල් යුගයක් ද නිමැවී තිබුනා.

අසනීප තත්ව නිසාම කලක් රංගනයෙන් ඈත්ව සිටි ඇය 2015 වර්ෂයේදී පමණ නැවතත් සිනමාවට එකතු වූ අතර මහරජ අජාසත් – ඩොක්ටර් නවරියන් – පුංචි අන්දරේ ආදී චිත්‍රපට කිහිපයක්ම ඇගේ රංගනයෙන් හැඩවුනා.

නැසී ගිය හාස්‍ය රංගන ශිල්පී ෆ්‍රෙඩී සිල්වා මහත්මාගේ බිරිඳ වන්නේ ද ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මියයි.

Share

40 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.