රජිනි කාන්ත් ඉගෙනගත් පාඩම – Jegan Ganeshan ලියයි.

Avatar Nisanka Weheraduwa | December 27, 2019 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

භෛරවි චිත්‍රපටියෙන් අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක ප්‍රධාන නළුවාගේ චරිතය මෙන්ම දුෂ්ඨයාගේ චරිතවලට ද රජිනි කාන්ත් දායකවෙමින් සිටියේය. නමුත් ඔහුගේ නම ඒ වනවිට එතරම් ප්‍රසිද්ධ මට්ටමක නොතිබුණි.

කෙසේ වෙතත් ඔහුගේ නාමය ගම් නියම්ගම්වල සිටින සියලුම සිනමා රසිකයන් වෙත රැගෙන යනු ලැබුවේ “පදිනාරු වයදිනිලේ” යන චිත්‍රපටියයි. එම චිත්‍රපටියේ පරට්ටෛ යන චරිතය හරහා ඔහු නගරයේ හා ගමේ සිටි තරුණයින් වෙත ඉතා ඉක්මනින් ළඟා වූ අතරම රජිනි වටා තවත් ප්‍රේක්ෂකයින් එක්වීමක් සිදු විය.

“පදිනාරු වයදිනිලේ” චිත්‍රපටියෙහි වැඩ කටයුතු සිදු කරමින් සිටි අවස්ථාවකදී රජිනිකාන්ත්ව හමුවීමට එකළ සිටි ප්‍රබල නිෂ්පාදකවරයෙකු පැමිණියේය. එහිදී අදාළ නිෂ්පාදකවරයා විසින් රජිනි හට චිත්‍රපටියක් සඳහා ආරාධනා කළ අතර එහි අධ්‍යක්ෂකවරයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ එකල දමිළ සිනාම ක්ෂේත්‍රයේ සිටි ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකුයි. එම චිත්‍රපටියේ කතානායකයා ලෙස තවත් ප්‍රබල නළුවෙක් කටයුතු කරන අතරම රජිනිටත් එහි සුවිශේෂි චරිතයක් ලබා දෙන බවට එම නිෂ්පාදකවරයා විසින් එහිදි පොරොන්දුවක් ද ලබා දුන්නේය. රජිනි ද එම ආරාධනාව පිළිගෙන එම චිත්‍රපටියේ රංගනයෙන් දායකවීමට රුපියල් 10,000ක වැටුපක් ඉල්ලා සිටියේ ය.කෙසේ වෙතත් ඊට නිෂ්පාදකවරයා අකමැති වූ අතර එම චිත්‍රපටිය සඳහා රුපියල් 6000 ක් ගෙවීමට ඔහු පොරොන්දු විය. අනතුරුව අත්තිකාරම් මුදලක් ලෙස රජිනිකාන්ත් විසින් රුපියල් 1000 ක් ඉල්ලා සිටියේ ය. එකල චිත්‍රපටියෙහි වැඩ ආරම්භ කිරීමට පෙර අත්තිකාරම් ගැනීම නළුවන්ගේ පුරුද්දකි.

කෙසේ වෙතත් නිෂ්පාදක තෙමේ ඊට එකඟ නොවූ අතර චිත්‍රපටිය ආරම්භ කළ පසුව එම අත්තිකාරම් මුදල ලබා දෙන බවට ඔහු පොරොන්දු විය. එහෙත් චිත්‍රපටියේ වැඩ කටයුතු ආරම්භ වනතුරු රජිනි හට අත්තිකාරම ලෙස රුපියල් දහසක් නොලැබුණි.අනතුරුව එම අත්තිකාරම් මුදල් ලබානොදෙන්නේ නම් තමා මෙම චිත්‍රපටියට නොපැමිණෙන බව රජිනි විසින් නිෂ්පාදකවරයා වෙත දන්වා යැව්වේය. නිෂ්පාදකවරයාගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය එතරම් සුබදායක නොවිය. රජිනි ද එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් නොසිටින්නට ඇත. එහිදී නිෂ්පාදකවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ, ඔබට මෙම චිත්‍රපටියේ අවස්ථාව ලබා නොදෙන ලෙසත් ඒ හේතුවෙන් රූගත කරන ස්ථානයෙන් පිටත්ව යන ලෙසත් ය.

මින් ඉතා කණගාටුවට පත් වූ රජිනිකාන්ත් ඒ.වී.එම් ස්ටුඩියෝවෙන් පිටතට පැමිණියේ දැඩි සිත් තැවුලෙනි. සිත්තැවුලට පිළියමක් ලෙස ඔහු සිය නවාතැන වෙත පයින් ගමන් කිරීමට සිතාගෙන නිවස වෙත පියවර මැන්නේය. නමුත් මෙය ඔහු සිතු අයුරුන් ඔහුගේ සිත්තැවුල සුව නොකර තවදුරටත් වැඩි විය.ඊට හේතුව මාර්ගයේ දෙපස සිටි පිරිස් “ මේක කොහොම ?” යනුවෙන් රජිනිකාන්ත්ගෙන් ඇසීමයි. ඒ වනවිට “පදිනාරු වයදිනිලේ” චිත්‍රපටිය තිරගත වී තිබුණි. එහි දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කළ රජිනි යම් දෙයක් පැවසීමෙන් අනතුරුව “ මේක කොහොමද ? ” යනුවෙන් සිය සගයන්ගෙන් විමසීම පුරුද්දක් විය. ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා සේ මෙම ප්‍රකාශ හේතුවෙන් රජිනිගේ සිත්තැවුල තවත් වැඩිවන්නට විය.

එම අවස්ථාවේදී ඔහු විසින් අධිෂ්ඨානයක් කරගනු ලැබුවේ කවදා හෝ දවසක් සිනමාවේ තරුවක් වී ඒ.වි.එම් ස්ටුඩියෝව වෙතට යන බවයි. එම අධිෂ්ඨානය ඇති කරගෙන වසර තුනක් අවසන්වීමට පෙර විදේශීය කාර් රථයක් මිලට ගෙන විදේශ රියදුරෙකු ලවා එය පදවාගෙන රජිනි එම ස්ටුඩියෝව වෙත ගොස් සිගරට්ටුවක් ද දල්වා තම අතීතය මෙනෙහි කරමින් සිටියේ ය.එවිට එම ස්ථානයේ සිටි පිරිස් රජිනි දෙස විශ්මයකින් යුතුව බැලුහ කෙසේ වෙතත් ඔවුන් රජිනිගේ සිතේ තිබු දෙය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් නොතිබුණි.

ඉන් අනතුරුව සිය කාරයෙහි නැගි තමන් හට සිනමා ප්‍රවේශයට අවස්ථාව ලබා දුන් අධ්‍යක්ෂ කේ බලචන්ද්‍රන් වෙත ගොස් තමන්ගේ නව වාහනය පෙන්වා ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටියේය.කෙසේ වෙතත් මද වේලාවක් රජිනි දෙස බලා සිටි බාලචන්ද්‍රන් කිසිවක ප්‍රකාශ නොකර එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
ඉන් අනතුරුව රජිනි හට තමන් විසින් කරනු ලැබු වරද පැහැදිලි විය. මෙම ජයග්‍රහණය පිටුපස තමන් පමණක් නොව තමන්හට ලැබුණ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් තමන්ට ලැබුණ චරිත මෙන්ම රසිකයන් හේතුවෙන් තමන්ට මෙම ප්‍රසිද්ධිය හා ධනය හිමි වූ බව තමන් එදින වටහා ගත්තේ යැයි ඔහු පසුව පවසා තිබිණි.

සටහන : ජෙගන් ගනේෂන්

Share

80 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.