රාම් චරන්ගේ ද්විත්ව චරිත රංගනය- RC15 වැඩ අරඹති

Avatar Kavinu Weerakkody | May 10, 2022 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

Eega, Bahubali, Bahubali 02 වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ SS Rajamouliගේ “RRR” චිත්‍රපටයේ රාමරාජු චරිතය හරහා මුලු ඉන්දියාවේම අවධානය දිනාගත් රංගන ශිල්පී Ram Charanගේ නවතම සිනමා නිර්මාණයේ රූපගත කිරීම් මේ දිනවල වයිසාග් හිදී සිදු වනවා. ඒ දකුණු ඉන්දියාවේ දැවැන්තම සිනමා අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනා අතුරින් අයෙක් වන Shankar Shanmugham යටතේයි.

එම චිත්‍රපටයේ විශේෂ දර්ශනවාර කිහිපයක් ඇතුළත් වූ රූපගත කිරීම් කොටසක් ඉන්දියාවේ අම්රිට්සර් ප්‍රදේශය මුල් කරගනිමින් පසුගියදා ඇරඹුණු අතර මේ වනවිට එම කොටසේ නිෂ්පාදන කටයුතු සියල්ලම අවසාන වී තිබෙනවා. ඒ අනුව චිත්‍රපටයේ සිව්වන දර්ශනතල ප්‍රදේශය ලෙසයි වයිසාග් තුළ මෙසේ රූගත කිරීම් සිදු වෙමින් පවතින්නේ…

දැනට RC15 යනුවෙන් නම් කර තිබෙන මෙම චිත්‍රපටයේ වයිසාග් රූපගත කිරීම් ඇරඹුනේ පසුගිය මැයි 05 වනදා සිටයි.
තෙළංගානා හි සිනමා කර්මාන්තයට සෘජුවම සම්බන්ධව තිබෙන ඇතැම් මාධ්‍ය වාර්තා කරන අන්දමට චිත්‍රපටයේ ගීතයක කොටසකුත් මෙම වයිසාග් ප්‍රදේශයේදී shoot කිරීමට නියමිතව තිබෙනවා. වයිසාග් හි පිහිටි මෙම දර්ශනතලය තුළ ප්‍රධාන චරිතය නිරූපණය කරන Ram Charan මෙන්ම ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන Kiara Advaniගේ ඇතැම් දර්ශන ද රූපගත කිරීමට සූදානම් බවටයි ඒ මාධ්‍ය විසින් සිනමා රසිකයින්ට දැනුම් දී තිබෙන්නේ…

RC15 යනුවෙන් දැනට හඳුන්වා දෙන මෙම චිත්‍රපටය පිළිබඳව මුල්වරට මාධ්‍යයට අණාවරණය කළේ 2021 පෙබරවාරි මාසයේදී යි. තෙළිඟු රංගන ශිල්පී Ram Charan රඟන 15වන සිනමා නිර්මාණය වන මෙය Shankar Shanmugham විසින් අධ්‍යක්ෂණය කරන පළමු සහ කුළුදුල් තෙළිඟු චිත්‍රපටය ද වනවා. මෙහි නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රකට තෙළංගානා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තලපති විජෙයිගේ මීළඟ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන Dil Rajuයි.
ඔහු හිමිකාරීත්වය දරන Sri Venkateshwara Creations සිනමා සමාගමේ 50වන නිර්මාණය මෙය වීමත් විශේෂත්වයක්..! එම හේතුව මත SVC50 යනුවෙනුත් දැනට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබෙනවා.

2021 වසරේදී මෙම චිත්‍රපට ව්‍යාපෘතිය ගැන reveal කළත් මෙම වසර මුල භාගය වනතුරුම එහි සැලකිය යුතු විස්තරයක් හෝ යාවත්කාලීන වූ තොරතුරක් ගැන ප්‍රේක්ෂකයින්ට දැනගන්නට ලැබූයේ නැහැ. දක්ෂ, තරුණ දමිළ අධ්‍යක්ෂකවරයෙකු වන Karthik Subbaraj අදාළ නිර්මාණය ගැන වැදගත් තොරතුරක් පවසන්නේ මේ අතරතුරේදී යි. RC15 තිරපිටපත රචනය Shankar Shanmugham විසින් සිදු කරනු ලැබූවද, චිත්‍රපටයේ කතාව සහ සිදුවීම් මාලාව රචනා කළේ තමන් විසින් බව Karthik Subbaraj පවසා සිටියා. ඒ 2022 වසරේ ජනවාරියේදී Cinema Vikatan මාධ්‍ය ආයතනය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ජාවකදී යි…
චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා Kiara Advani ගිවිසුම්ගත වූ බව පසුගිය සැප්තැම්බර් මාසයේදී දැනුම් දුන් අතර ඊට අමතරව Anjali, Sunil, Srikanth, Jayaram, සහ Naveen Chandra වැනි විවිධ ප්‍රාන්තීය සිනමාවන්ට අයත් ශිල්පීන් ගණනාවක්ම මීට එක්වුනා. Maanadu දමිළ චිත්‍රපටය නිසා පසුගිය වකවානුවේදී දකුණු ඉන්දියාවේම අවධානය දිනා ගත් S J Sriyah මෙහි වැදගත් චරිතයකට එක්වූ බව දැනුම් දුන්නේ මෙම පෙබරවාරි මාසයේ දී යි.

RRR තුළින් Ram Charan ලබා ගත් අසීමිත ජනප්‍රියතාව නිසාම මුලු ඉන්දියානු රසිකාගාරයේම උනන්දුව සහ අවධානය RC15 වෙත යොමුව තිබෙන බව නොරහසක්! දකුණු ඉන්දියාව තුළ මෙන්ම උතුරු ඉන්දියානු හින්දි රසිකයින් අතරේත් RRR චිත්‍රපටය ලබා ගත් ජනප්‍රියතාව නිසා RC15 නිර්මාණයත් පුළුල් ලෙස එම කලාපීය සිනමාහල්වලට නිකුත් කරන්නට නිෂ්පාදක කණ්ඩායම තීරණය කර තිබෙන බවටත් වාර්තා වනවා.

කෙසේ වුවත් විශේෂත්වය වන්නේ මේ චිත්‍රපටය තුළ Ram Charanගේ ද්විත්ව චරිත රංගනයක් දැකගැනීමට ලැබීමයි. නිල නිවේදනයක් මඟින් තහවුරු නොවුණත්, ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝමයක් දෙනා විසින් එම තොරතුර conform කළ බවක් පෙනෙන්නට තිබෙනවා. පියෙකු සහ පුතෙකුගේ ද්විත්ව චරිත නිරූපණය කරන Ram Charanගේ එක් චරිතයක් IPS Officerවරයෙකු බවත් සඳහන් වනවා. එමෙන්ම ඔහු විසින් දූෂිත දේශපාලකයින්ට එරෙහිව සිදු කරන ක්‍රියාදාම ගණනාවක්ම මේ සිනමාපටයට ඇතුළත්..!

පසුගිය සැප්තැම්බර් 08 වනදා හයිද්‍රාබාද් හිදී සාම්ප්‍රදායික පූජා උත්සවයක් සමඟින් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වූ අතර ඉන්පසුව මහාරාෂ්ට්‍ර, ආන්ද්‍රා ප්‍රදේශ් සහ පන්ජාබය මුල් කර ගනිමින් RC15 රූගත කිරීම් සිදුවුනා. දැනට අවසන් කළ දර්ශන අතර රාමෝජි සිනමා ගම්මානයේදී සිදු කළ ගීතයකුත් ඇතුළත් වනවා. දින දහයක් වැය කරමින් රූගත කළ එම ගීතය සඳහා රාමෝජි සිනමා ගම්මානය තුළ නවතම දර්ශන තලයකුත් කෘත්‍රිමව නිමවා තිබෙන අතර The Times of India වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම ගීතය සඳහා පමණක් ඉන්දීය කෝටි 23ක මුදලක් වැය වී තිබෙනවා.
ඉන්දීය කෝටි 10කට ආසන්න මුදලක් වැය කර තැනූ මිනිත්තු හතකට නොවැඩි තවත් ක්‍රියාදාම ජවනිකාවක් ගැනත් එහි කියැවෙනවා. චිත්‍රපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂණය Anbarivගෙනි. සමස්තයක් ලෙස RC15 හි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා නිසා චිත්‍රපටයේ releasing screens ප්‍රමාණයත් හැකි තාක් විශාල විය හැකි බවයි සිනමා තොරතුරු සපයන්නන් විසින් ඉඟි පළ කරන්නේ… ඔවුන්ට අනුව ලෝ පුරා සිනමාශාලා 10000කට අධික සංඛ්‍යාවක් RC15 වෙනුවෙන් වෙන් විය හැකියි.

අධ්‍යක්ෂක Shankar Shanmugham විසින් මුලදී ගණනය කළ ආකාරයට RC15 වෙනුවෙන් ඉන්දීය කෝටි 200ක සමස්ත නිෂ්පාදන පිරිවැයක් දැරීමට Dil Rajuගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් නිෂ්පාදක – අධ්‍යක්ෂක අතර සිදු වූ සාකච්ඡා කිහිපයකින් පසුව කෝටි 30කින් පමණ එහි පිරිවැය අවම කරන්නට Shankar එකඟ වනවා. ඒ අනුව මේ වනවිට RC15 හි නිල නිෂ්පාදන පිරිවැය ලෙස සැලකෙන්නේ ඉන්දීය කෝටි 170 යි!
මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය Tirru විසින් සිදු කරන අතර සංස්කරණය Shameer Muhammedගෙනි. සංගීතය සපයන්නේ වර්තමාන ඉන්දියාවේ ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂකවරයා වන S Thaman ප්‍රමුඛ කණ්ඩායමයි. Naayak සහ Bruce Lee සිනමාපටවලට පසුව Ram Charan රඟන නිර්මාණයකට S. Thaman සංගීතය සපයන තෙවන අවස්ථාව වන්නේ මෙයයි.

ලබන 2023 වසරේ සංක්‍රාන්ති උත්සවයට සමගාමීව චිත්‍රපටය මුදා හරින බවට ආරංචි වන අතර තෙළිඟු භාෂාවට අමතරව හින්දි, දමිළ, කන්නඩ සහ මලයාලම් භාෂාවලට හඬ කවා එම ප්‍රාන්ත තුළත් ප්‍රදර්ශනයට සූදානම් කරන බවට විස්තර ලැබෙනවා… කෙසේ වුවත් මෙය Ram Charanගේ සිනමා ජීවිතයේ සුවිශේෂි නිර්මාණයක් වනු ඇති බවට නම් නොඅනුමානයි!

Share

36 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.