“රූකඩ පැංචි” ළමයින්ට අලුත් පරමාදර්ශයක් – සුරේඛා සමරසේන.
සටහන – සුරේඛා සමරසේන.
කල්පන සහ වින්දන යන සහෝදරයින් දෙපළ විසින් අධ්‍යක්ෂණය කර ප්‍රේක්ෂාගාරයට මුදාහැර තිබෙන ‘රූකඩ පැංචි‘ දකින විට, ජපාන චිත්‍රපට අධ්‍යක්ෂක හයාඕ මියසාකිගේ My Neighbor Totoro නමැති අති සාර්ථක ළමා චිත්‍රපටය සිහිපත්වීම නොවැලැක්විය හැකි ය. එහි සිටියේ සිය මව රෝහල්ගත කිරීමත් සමඟ ආගන්තුක නිවසක පදිංචියට යාමට සිදුවන අක්කා-නගෝ දෙදෙනෙකි. ‘රූකඩ පැංචි‘ චිත්‍රපටයේ ද සිටින්නේ, තම මව රෝහල්ගත කිරීමත් සමඟ ‘හෝටලයක‘ පදිංචියට යාමට සිදුවන අක්කා-මලෝ දෙදෙනෙකි.
‘My Neighbor Totoro‘ හි ළමුන්ට සිය අලුත් නවාතැන අසලින් ‘Totoro‘ නම් වූ ‘බලගතු ආත්මය‘ මුණගැහෙන්නා සේ ම, ‘රූකඩ පැංචි‘ හි ළමයින්ට, ‘අංකල් ලුවී‘(ජැක්සන් ඇන්තනී) මුණගැහෙන්නේ ය. මේ ආකාරයට චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නේ, එහි ප්‍රධාන චරිතය මවන ගැහැනු ළමයා, ‘අංකල් ලුවී‘ නම් වූ ‘රූකඩ නැට්ටුවා‘ වෙතින් ද අනුප්‍රාණය ලබමින්, සිය ළමා පෞරුෂය හැඩගස්වාගන්නා ආකාරය යි.
කෙසේ වෙතත්, මෙහිදී සිදුවන්නේ, ‘හිස් කරදහියක්‘ (Blank Sheet) සිත්තරෙකු අතින් සිතුවමක් බවට පත්වන ආකාරයට නොවේ. නොඑසේ නම්, පිරුණු කලයකින්, හිස් පොල්කටුවක් පිරෙන ආකාරයට නොවේ. පැංචී යනු, ‘අංකල් ලුවී‘ට මුණගැහෙන විටත්, ස්වීය විභවතාක් සංවර්ධනය කරගෙන සිටි ළමයෙකි. නමුත්, අවාසනාවට, යථාර්ථයේ අපට මුණගැහෙන බොහෝ වැඩිහිටියන් සිතා සිටින්නේ, ළමයින් යනු ‘හිස් කරදහි‘ නැත්නම් ‘හිස් පොල්කටු‘ කියා ය. එහෙත් ඇත්තට ම එය වැඩිහිටියන්ගේ මිථ්‍යාවකි. සිනමාකරුවන් දෙපළ එය පුපුරුවාහරින්නට දරා තිබෙන වෑයම ප්‍රශංසනීය ය.
‘පැංචී‘ යනු, අන්තර්ජාලය ඇසුරිනුත්, පොත පත ඇසුරිනුත් සොයා, යාවත්කාලීන කරන ලද දැනුමින් සන්නද්ධව සිටින්නියකි. හැකියාවෙන්, මෙන් ම ආකල්ප අතින් ද ඇය සිටින්නේ ඌන-සංවර්ධන මට්ටමක නොවේ. සංවර්ධනය වෙමින් පවතින මට්ටමක ය. ඒ අනුව ‘පැංචී‘ නමැති චරිතය ගොඩනංවා තිබෙන්නේ, අපේ ළමයින්ට දේශීය සිනමාව තුළින් සාමාන්‍යෙයන් මුණනොගැහෙන පන්නයේ අලුත් පරමාදර්ශයක් හැටියට ය.
‘ඇය‘ දැනුමේ බලය (Power of knwladge) ලුහුබඳින්නියකි. දැනුම යාවත්කාලීන වන බව ත්, තාක්ෂණය අලුත් වන බව ත් විශ්වාස කරන්නියකි. මේ අතර ඇය දක්ෂතාවයක් දක්වන්නේ, පාසල් විෂය මාලාවට පමණක් ම නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීත් ඇය ඉතා හොඳින් කැපීපෙනේ. පාසැල් ළමුන්ගේ දක්ෂතා එළිදක්වන උත්සවයේ (school talent show) දී, ඇය ජයග්‍රහණය කරන්නේ ‘රූකඩ රංගයක්‘ ඉදිරිපත් කරමිනි. එය එතෙක් මෙතෙක් එම වේදිකාව තුළ රඟ දක්වන ලද එකම ‘රූකඩ රංගය‘ වන බව, මයික්‍රෆෝනයේ සිටි ගුරුවරිය කියයි. එබැවින් ඇය හැමවිට ම අනූපම (unique) ළමයෙකි. නිර්මාණශීලීව හිතන (creative) ළමයෙකි.
මේ ආකාරයට ඇය විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ ‘හොඳ ළමයෙකුටත්‘ වඩා ‘දක්ෂ ළමයෙකි‘. ඇය තමන් තුළ සංවර්ධනය කරමින් සිටින්නේ, හුදෙක් ‘අනුකාරක පෞරුෂයක්‘ නොව, අභාසය තුළින් ඔපමට්ටම් කරගන්නා ‘තමන්ගේ ම පෞරුෂයකි‘. එහෙයින් මෙම ‘පරමාදර්ශය‘ අපේ ළමයින් ට ආකර්ශනීය වනවාට කිසිඳු සැකයක් නැත.
මේ අතර චිත්‍රපටයෙහි එන තවත් එක් ප්‍රබල සහ සංවේදී අවස්ථාවක එකී ‘පරමාදර්ශ ළමයා‘ වැඩිහිටියන් කෙරෙහි ද බලපෑම් සහගත වන ආකාරය නිරූපනය වේ. ඒ කඩාකප්පල්කාරයින් පිරිසක් විසින්, සම්පූර්යෙන් ම කඩා බිඳ දමා තිබුණු රූකඩ මඩුව යළි පිළිසකර කිරීමට, ‘පැංචී‘ විසින් පෙරමුණ ගන්නා අයුරු දක්වමිනි. ඒ වන විටත් ‘අංකල් ලුවී‘ සිටියේ අපේක්ෂාභංගත්වයේ පතුලේ ය. ඇතැම්විට දරුවන් සිටින දෙමාපියන්ට නම් මෙය අතිශය සමීප අද්දැකීමක් වනවාට කිසිඳු සැකයක් නැත. යථාර්ථයේ අපට මුණගැහෙන බොහෝ වැඩිහිටියන් තමන් මුහුණ දෙන නොයෙකුත් සමාජ ආර්ථික සංකීර්ණතා හමුවේ, ඒවා ට ඔරොත්තු දීම සඳහා ධෛර්යය උපදවාගන්නේ තම දරුවන් වෙතින් ලබන අනුප්‍රාණයෙනි. ඇතැම්විට බිමටම වැටුණු දෙමාපියන් යළි නැඟිටින්නේ, ළමයින් නිසා ය. දෙමාපියන්ට කුමන තත්වයක් යටතේවත්, දුර්වල වීමට ඉඩ නොදෙන්නේ ළමයින් ය. කඩා වැටුණු රූකඩ මඩුව යළි නඟා සිටුවීමට ‘පැංචී‘ මැදිහත්වන දර්ශනය ‘අංකල් ලුවීගේ‘ පමණක් නොව, එය නරඹන ඕනෑම වැඩිහිටියෙකුගේ සිත් සතන් වල වුවද නිවි නිවී යමින් තිබෙන ධෛර්යයේ පුළිඟු යළිත් දල්වනු ලබයි.
මේ අතර, ‘ඇය‘ පසුගිය කාලයේ ‘ළමා – වට්ටෝරු සිනමාව‘ තුළ අප දුටු, දුක දිනා ජය ලබන්නට වෙහෙසෙන වර්ගයේ ළමයෙකු නොවීම ද විශේෂත්වයකි. එකී වට්ටෝරු සිනමාවේ දිගින් දිගටම අප දුටුවේ, එක්කෝ, මඩොල්දූවේ ‘උපාලි‘ මෙන්, කුඩාකාලයේ දී ම ‘අම්මා‘ මියගිය ළමයින් ය. නොඑසේ නම් ඔවුන් උපන්ගෙයි නැති-බැරියන් ය. ළමා-වට්ටෝරු සිනමාවේ නිර්මාණකරුවන්ට ඉන් එහා ගිය ළමා චරිතයක් පරිකල්පනය කරන්නට නොහැකි වූවාක් වැනි ය. එහෙයින් ‘ඉහළ මධ්‍යම පාංතික‘ සමාජ පසුබිමකින් එන ළමයෙකු ‘ප්‍රධාන චරිතය‘ කරගැනීම අතින් ද ‘රූකඩ පැංචී‘ සුවිශේෂී වන්නේ ය. එහෙයින් එහි නිර්මාණකරුවන්ට චිත්‍රපටිය තුළ සාකච්චාව වෙනත් මානයකට ඔසවා තැබීමට හැකි වී තිබේ.
විශේෂයෙන් ම එහි එන දිගු සහ විචිත්‍රවත් ගීතය, චිත්‍රපටයට අමුතු උත්සවාකාරී මුහුණුවරක් දෙයි. එමෙන් ම එය ‘පැංචිගේ කතාව‘ කුළුගන්වන ආකාරය අර්ථ-ධ්වනි පූර්ණය. ප්‍රධාන චරිතය නිරූපනය කරන ‘කුශේන්‍යා ෆොන්සේකා‘ ගේ යථාර්ථවාදී රංගනය ද අතිශයින්ම විස්මිත වන බව නොකියා බැරි ය. ඇය එම චරිතය තුළ කිසිසේත්ම ‘ආධුනික‘ බවක් ඵල නොකරන්නී ය. මේ අතර ජැක්සන් ඇන්තනී ට මෙහිදී සිය ‘අධිරංගයනය‘ ඉල්ලා සිටින චරිතයක් ලැබී තිබේ. ඒ නිරන්තරයෙන් ම සතර අභිනය වැඩිපුර හුවාදක්වමින් සිටින්නට සිදුවන ‘රූකඩ නැට්ටුවාගේ‘ චරිතය යි. ඔහු එය ඉතා පහසුවෙන් නිරූපනය කර ඇති බව පෙනේ.
මේ ආකාරයේ සාධනීයතා දක්වන චිත්‍රපටයෙහි ‘පැංචී‘ වෙතින් කියැවෙන ඇතැම් දෙබස් නම්, ‘ළමයාගේ ප්‍රවේශය‘ (Perspective) ඉක්මවා ගොස් තිබෙන බව කිව යුතු ය.
‘‘බබ්බුන්ට පුළුවන් ද බබ්බු බලාගන්න…‘‘
‘‘මීට කළින් ළමයින් දැකල නැද්ද…ළමයින්ගෙ හැටි එහෙම තමයි…‘‘
‘‘මේක මගෙ අංකල්ගෙ හෝටලේ… මෙහේ දේවල් ගන්න මට කාගෙන්වත් අවසර ඕන නෑ…‘‘ යනු ඊට දෙස් දෙන උදාහරණ ය.
මේ අතර චිත්‍රපටය නැරඹීමේ අද්දැකීම තුළ ‘ලියුම්කාරියට‘ විෂය වූ ‘සිනමා හලේ යථාර්ථය‘ ද මෙහි සටහන් කළ යුතු ම ය. ඇය විසින් චිත්‍රපටය නරඹන ලද්දේ, පසුගිය සතියේ සෙනසුරාදා පෙ.ව. 10.30 ට, රත්නපුර ජෝති සිනමා ශාලාවේ දී ය. පෙම් යුවල අටකගෙන් පමණ ‘බොක්ස්-ෆුල්‘ වී තිබුණු නමුත්, ‘ඕ.ඩී.සී.‘යේ බලු බල්ලෙක්වත් නොසිටියේ ය. ඇතැම්විට ඒ ‘කොරෝනා‘ නිසා ය. නොඑසේනම්, ප්‍රශස්ත මට්ටමේ තිබෙන සිනමා කෘතියක් වුව, කර්මාන්තය තුළ අත්විඳින පොදු යථාර්ථය එය වන නිසා ය. මේ නම් චිත්‍රපට වලට ‘බොක්ස් වාර්තා‘ මිස ‘බොක්ස් ඔෆිස් වාර්තා‘ තැබීමට හැකිවීම පිළිබඳ බලාපොරොත්තු පවා තැබිය නොහැකි තත්වයකි. වඩාත් කණගාටුදායක වන්නේ, මේ ආකාරයට මෙම චිත්‍රපටය ළමයින්ට මඟහැරී යාම ය. එදා ඒ වෙලාවේ, එකී සිනමා හලේ එම චිත්‍රපටය නැරඹූයේ එකම එක ළමයෙකු පමණි. ඒ ලියුම්කාරිය සමඟ ගිය ඇගේ ළමයා ය. දෙමාපියන් සමඟ යන ළමයින්ට ‘ටිකට් එක‘ නොමිලේ දීම දක්වා ම අනුග්‍රහශීලී වී සිටින චිත්‍රපට නිෂ්පාදකයාට සිදුවන්නේ කුමක් ද…? එය ද මඟහැර නොයා යුතු වැදගත්ම ප්‍රශ්නයක් ලෙස මතු විය යුතු ය.
අවසාන වශයෙන් දේශීය වශයෙන්, ළමා-සිනමාවට අතගසන කල්පන-වින්දන ලා අප විසින් හඳුනාගත යුත්තේ, තවත් වසර දෙකකින් (එනම් 2023 දී) ‘සියවසක්‘ සපුරන ‘ඩිස්නි අධිරාජ්‍යයට‘ ගල්කැට ගසන ‘ලිලිපුට්ටන්‘ ලෙස ය. අප ඔවුන්ට යෝධ බල යෝධ ශක්තිය පැතිය යුතු අතරම ඔවුන්ව ‘ධෛර්යයමත් කරන විවේචන‘ (constructive criticism) කෙරෙහි වැඩි බරක් තැබීමට තරම් නම්‍යශීලී විය යුතු ය. නොඑසේ නම්, අපේ ළමයින්ට, අපේ ම වූ සිනමාවක් දැකබලා ගැනීමට හෝ අවස්ථාවක් නැති වී යා හැකි ය.
සුරේඛා සමරසේන
Written by Nisanka Weheraduwa