Sri Lanka's Best Cinema Portal

 

ලංකාවේ සිනමාව ගැන මගේ වෙනම අර්ථකතනයක් තියෙනවා

0
Posted September 20, 2012 by Cinema.lk in Articles
laksiri

‘දෙරණ’ රූපවාහිනියේ සභාපති ලක්සිරි වික්‍රමගේ

මෙරට සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සිහිවටනයක් තබමින් තවත් අසිරිමත් රැයක් ගෙවී ගියේය. නෙක තරු රැසින් විචිත්‍රවත් වූ ඒ සොඳුරු රැයේ අපේ සිනමා ලොවේ විශිෂ්ටතමයන් සහ ජනකාන්තයන් උදෙසා සම්මාන රැසක් පිරිනැමුණේ ලාංකේය සිනමා සම්මාන උළෙල ඉතිහාසය අලුතින් ලියා තබමිනි.

මා ඒ පූර්විකාව තැබුවේ ඉකුත් 14 වැනි දින කොළඹ මියුසියස් විදුහල් රඟහලේ පැවැති ප්‍රථම ‘දෙරණ – ලක්ස්’ සිනමා සම්මාන රාත්‍රිය පිළිබඳය. මෙම සම්මාන පිරිනැමුණේ 2011 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙනි.

මේ දැවැන්ත කාර්ය පසුපස තිබූ අයෝමය හස්තය ඔහුගේය. සිනමාව පිළිබඳ තමන් සතු ඉහළ දැනුමත්, අපූර්ව රසිකත්වයත් එකට යා කරමින් බිහි වූ සංකල්පයක නිශ්චිත ඉලක්කය වූයේ මෙවැනි සම්මාන උළෙලක් බව ඔහු ක්‍රියාවෙන් අපට දැන් ඔප්පු කොට හමාරය. අද අප ඔහු හා මෙසේ සම්මුඛ වන්නේ එකී සම්මාන උළෙල පිළිබඳ කිසියම් අන්දමක පසු විපරමක යෙදෙන්නටය. ඒ ‘දෙරණ’ රූපවාහිනියේ සභාපති ලක්සිරි වික්‍රමගේ සමගිනි.

මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීමට අදහස් කළේ ඇයි?

සිනමාව හා රූපවාහිනිය තරගකාරී මාධ්‍යය දෙකක් නෙවේ. එකිනෙකෙන් ප්‍රතිපෝෂණය වන මාධ්‍යය දෙකක්. සිනමාවේ ‘තරු’වලින් රූපවාහිනිය ප්‍රයෝජනය ලබනවා. ඒ ජනප්‍රිය ‘තරු’ යොදා ගනිමින් විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරනවා. ඊළඟට සිනමාවේ ‘තරු’ ගැන උණුසුම් පුවත්, ඕපාදූප මැවෙන කොට ටෙලිවිෂන් එක ඒවා ප්‍රයෝජනයට අරගෙන ප්‍රේක්ෂකයා වෙත සමීප වෙනවා. හැබැයි මේ අය දෙපිරිසක්. මේ මාධ්‍ය දෙකේම වැඩ කරන අය ඉන්නේ ඉතාම සුළු පිරිසයි. ඒ කියන්නේ සියයට පහක් විතර. දැන් ෂාරුක් ඛාන් පටන් ගත්තේ ටෙලිවිෂන් එකෙන්. ඒත් පසුව ඔහු රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විදිහට පමණයි.

හොඳම ගායිකාව –
දීපිකා ප්‍රියදර්ශනී – ගාමනි
හොඳම අධ්‍යක්ෂණය –
සරත් වීරසේකර – ගාමනි

නමුත් අපේ රටේ තත්ත්වය ඔයිට වෙනස්?

අපේ රටේ සිනමාවෙන් පමණක් යැපෙන නළු නිළියන් නෑ. සිනමාව සඳහාම බැඳී සිටින නළු, නිළියන්ට එයින් පමණක් ජීවනෝපාය සලසා ගන්න බෑ. අපේ සිනමාව අර්බුදකාරී තත්ත්වයක දැන් තියෙන්නේ.

ඒ කියන්නේ සිනමාව කඩා වැටිලා?

ඔව්, කර්මාන්තයක් විදියට කඩා වැටිලා. නමුත් කලාවක් හැටියට එය උසස් මට්ටමක තියෙනවා. දවසින් දවස හොඳ නිර්මාණකරුවන් බිහි වෙනවා. ඒත් ඒ අයට බැට් කරන්න හොඳ පිච් එකක් නෑ. මමත් පික්චර් පිස්සෙක් නිසා අපේ සිනමාව ගැන මට දුකයි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා පිටුවකින් කියන්න බෑ. මගේ විෂය ක්ෂේත්‍රය අලෙවිකරණය. ලංකාවේ සිනමාව ගැන මගේ වෙනම අර්ථකතනයක් තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරන්න පුළුවන් අපේ සිනමාවේ කඩා වැටීම ගැන.

එතකොට මෙවැනි සම්මාන උළෙලක් හරහා ඔබ බලාපොරොත්තු වුණේ ඇත්තටම මොකක්ද?

සිනමා කර්මාන්තය දිරිමත් කිරීම. ඒක අපට පමණක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ. මේ පුංචි තල්ලුවක් දුන්නේ. විශේෂයෙන්ම අපට අවශ්‍යය වුණේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට මේවා පෙන්වන්න. ටෙලි නාට්‍යය කියන්නේ අපි ගෙදර මල්, පහන් පූජා කරනවා වගේ දෙයක් නම් සිනමාව කියන්නේ අපි පන්සලට, දේවාලයට යන ගමන. ඒ කියන්නේ සිනමාව දැවැන්ත මාධ්‍යයක්. 70 දශකයට පසු පරම්පරාව මේ වෙනස හඳුනා ගත්තේ නෑ. සිනමාවේ දැවැන්තකම කවදාවත් අපට රූපවාහිනියෙන් දකින්නට බෑ.

නමුත් ඔය දැවැන්තකම අපේ සිනමාවේ දකින්නට ලැබෙනවාද?

ඇත්තටම මේ සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත්ත ‘ගාමනී’ මට නම් දැවැන්ත චිත්‍රපටයක්. එහෙම යලට, මහට එන දේවල් තියෙනවා. දැන් කලාත්මක සිනමාවෙන් තමයි මූලධාරී සිනමාව පෝෂණය වෙන්නේ.

ඒ කියන්නේ වාණිජ යැයි හඳුන්වනු ලබන සිනමාවද?

වාණිජ සිනමාව කියන්නේ නිකම් වචනයක් විතරයි. ඔවැනි වර්ගීකරණ නිසා තමයි අපට වැරදුනේ. වාණිජ කියන වචනය අදාල වෙන්නේ නිෂ්පාදනයේදී විතරයි. ආර්ථික විද්‍යාවේ ‘නිෂ් මාර්කට් කියා දෙයක් තිබෙනවා. නිෂ්පාදනය ලොකුª තාප්පයක් නම් නිෂ් මාර්කට් එක කියන්නේ ඒ තාප්පයේ හිලක්. තාප්පය ලොකු වෙන්න වෙන්න තමයි අර හිල ලොකු වෙන්නේ. සිනමා කර්මාන්තය ලොකු වුණාම එහි කලාත්මක සිනමාවත් විශාල වෙනවා. 70 දශකයේදී මුළු සිනමා කර්මාන්තයම ආවරණයට ලක්වුණා. ආණ්ඩුව විසින් ආරක්ෂණය කළා. විවෘත ආර්ථිකයෙන් පස්සේ සිනමාව හැරෙන්න සියලු දේ විවෘත වුණා. රජය සහ පෞද්ගලික අංශ තරග කළා. දෙකම ඉහළ ගියා. ඒත් සිනමාව එතනමයි.

අපි නැවත සම්මාන උළෙල දිහාට හැරෙමු?

අපේ මංගල පියවර හුඟක් සාර්ථක වුණා. ඒ ගැන සතුටුයි. සිනමා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එකම දිනක, එකම තැනකට රැස් කරන්නට පුළුවන් වීමත් අප ලැබූ ජයග්‍රහණයක්.

සාමාන්‍යයෙන් නිර්දේශිත නාමයන් අතරින් තමයි සම්මානලාභීන් තෝරා ගැනෙන්නේ. ඒත් නොමිනේෂන් නැතිව සම්මාන පිරිනැමූ අවස්ථාත් තිබුණා?

සමහර සම්මාන සඳහා නිර්දේශිත නාමයන් තිබුණේ නැහැ. ඒවා කෙලින්ම සම්මානයට පාත්‍ර වුණා. තවත් ඒවා තෝරා ගත්තේ නිර්දේශිත නාමයන් අතරින්. කෙසේ වුණත් පසුගිය වසර චිත්‍රපට නිෂ්පාදනය අතින් දුර්වල එකක්.

කවුද විනිශ්චය මණ්ඩලය විදිහට කටයුතු කළේ?

බුද්ධදාස ගලප්පත්ති, ජයන්ත චන්ද්‍රසිරි, සබීතා පෙරේරා, ආචාර්ය පැට්‍රික් රත්නායක හා රංග දසනායක කියන ප්‍රවීණ කලාකරුවන්.

සම්මාන උළෙලක් අවසානයේදී සාමාන්‍යයෙන් එහි තීන්දු, තීරණ ගැන යම් විවේචන, චෝදනා එල්ල වෙනවා?

පැහැදිලිව කියන්න ඕනෑ අපි විනිශ්චය මණ්ඩලයට කිසිදු බලපෑමක් කළේ නෑ. ඔවුන්ගේ තීරණවලට ඇඟිලි ගැහුවෙත් නෑ. ඒ නිසා මේ වන තෙක් සම්මාන පිළිබඳ කිසිම ගැටලුවක් මතු වුණෙත් නැහැ.

වගකීමෙන් ද ඔබ ඔය කියන්නේ?

ඔව්. ඒ වගකීම අප සතුයි. විනිශ්චය මණ්ඩලයේ ඇතැම් තීරණ පිළිබඳ පෞද්ගලිකව මා එකඟ නොවුණ අවස්ථා තිබෙනවා. අපි ඒ ගැන තර්ක කරන්න ගියෙත් නෑ. මම සිනමාව හදාරපු කෙනෙක්. ඒත් විනිශ්චය මණ්ඩලයට තමන්ගේ නිදහස, අයිතිය ලබා දුන්නා.

එකඟ නොවු තැන් තිබුණ බව ඔබ කිව්වා?

ඒ මගේ පෞද්ගලික මතය. ඒත් සම්මාන උළෙලේ තීරණ ගැන බොහෝ දුරට එකඟ වෙනවා.

මෙතෙක් සම්මාන උළෙලවල අවධානයට පාත්‍ර නොවූ අංශයන්ටත් සම්මාන හිමි වුණා. මේ පිළිබඳ යමක් පවසනවා නම්?

Best Actor in a Comic Roal කියන සම්මානය අපි විකට රංගනය උදෙසා පිරිනැමුවේ සිනමා සම්මාන ඉතිහාසයේ ප්‍රථමවරට, ඒ වගේම හොඳම සටන් අධ්‍යක්ෂණය සඳහාත් අපි සම්මානයක් පිරිනැමුවා. ජාත්‍යන්තර සිනමාවේ ඔය සම්මානය පිරිනැමෙන්නේ Stunt Director කියන කෙනාට. ඒත් අපේ රටේ එහෙම අය නැති නිසා අපි එය සටන් අධ්‍යක්ෂ කියා නම් කළා. Best Actor in a Negative Roal කියන සම්මානය හොඳම ප්‍රතිවීර චරිතයට අපි පිරිනැමුවේ ඉතිහාසයේ ප්‍රථම වරට.

අනාගත සිනමාව වෙනුවෙනුත් සම්මාන කිහිපයක් වෙන්ව තිබුණා?

ඔව්. ‘Cinama of Tomorrow’  කියායි අප එය නම් කළේ. ඒ සඳහා අපි හොඳම චිත්‍රපටය (Best Film) බලාපොරොත්තු තබා ගත හැකි සිනමාකරුවා (Promising Film Maker) හොඳම කෙටි චිත්‍රපටය (Best Short Film) සහ ජූරියේ විශේෂ සම්මානය (Special Jury Mention) ත් පිරිනැමුවා.

මෙහිදී අප සැලකිල්ලට ගත්තේ තවමත් ලංකාවේ ප්‍රදර්ශනයට එක් නොවුණ එහෙත් විදෙස් රටක හෝ මංගල දර්ශනයක් පවත්වා තිබෙන චිත්‍රපට. ඒ කාලය 2011 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වනදාටයි අප නිර්ණය කළේ. එහිදී හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වුණේ ’ඉනි අවන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම. ඒ චිත්‍රපටය වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක ප්‍රචාරක අනුග්‍රහයක් අප විසින් ලබා දෙනවා. ඉදිරියේදී අපි Best Coaryagraphy – හොඳම රංග වින්‍යාසයටත් සම්මානයක් පිරිනැමීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් තවම හොඳම රංග වින්‍යාසයක් ඉදිරිපත් කරන්නට අපේ සිනමාව පොහොසත් නෑ.

ලබන වසරේ පටන් නැවතත් ‘සරසවිය’ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ‘දෙරණ’ සිනමා සම්මාන උළෙලත් දිගටම පවත්වනවාද?

අපි ප්‍රථම දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල කියා මෙය නම් කළේ ඒ නිසයි. ඉදිරියේදීත් අපි මෙය සංවිධානය කරනවා. ඉන්දියාවේත් අයිෆා’, ‘ෆිල්ම් ෆෙයාර්’ වැනි සම්මාන උළෙල තියෙනවානේ. ‘සරසවියෙන්’ අපට මේ වගේ අනුග්‍රහයක් එදාටත් ලැබෙයිනේ.

සිනමාව ගැන මේ තරම් ඇල්මක් ඔබට ඇති වුණේ සිරිල් වික්‍රමගේ කියන විශිෂ්ට රංගවේදියා ඔබේ බාප්පා නිසාමද?

ඒකමත් නෙවේ. කොහොමත් මම පික්චර් පිස්සෙක්නේ. ඕඩියන්, වෙම්බ්ලි, වේල්ස්, නිව් සීගිරි කියන සිනමාහල් හතරේ ඉස්සර මම 10.30, 2.30, 6.30, 9.30 දර්ශන හතරම නරඹපු දවස් තිබුණා. කොටින්ම ටෙලිවිෂන්, වීඩියෝ නැති කාලේ මම අවුරුද්දකට චිත්‍රපට සීයක් විතර නරඹපු කෙනෙක්.

සිනමාවේ වඩාත් සිත්ගත් පිරිවර?

මනිරත්නම් ගේ ‘නායකම්’ චිත්‍රපටය තමයි මා කැමැතිම විදේශ චිත්‍රපටය. ඒ වගේම කරන් ජොහාර්ගේ චිත්‍රපටවලටත් මම ඉතාම කැමැතියි. අපේ රටේ ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා තමයි මගේ ප්‍රියතම නළු නිළි දෙපළ. ‘හතර දෙනාම සූරයෝ’, තුෂාරා’ මගේ ප්‍රියතම චිත්‍රපටයි. එච්. ආර්. ජෝතිපාල මම වඩාත් ප්‍රිය කළ ගායකයායි.

 

සරසවිය පුවත්පත වෙනුවෙන්,

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා

ඡායාරූප – මාලන් කරුණාරත්න

සැකසුම – යතේජා ඥානරත්න

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2