ලලිත් රත්නායක ඉරානයේදී මජිඩ් මජිඩි සමග උරෙනුර ගැටෙයි

Avatar Nisanka Weheraduwa | November 17, 2020 34 Views 0 Likes 1 On 1 Rating

34 Views 1 On 1 Rating Rate it

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
ලොව තරගකාරීම ‘අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙල’ ශ්‍රේණිගත කිරීම් තුළ තෙවෙනි ස්ථානයේ වැජඹෙන ඉරානයේ ඉස්ෆහාන් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙල (Isfahan International Film Festival for Children & Youth), සිය 33 වෙනි අදියර පසුගිය ඔක්තොම්බර් 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඉස්ෆහාන් නගරය ආශ්‍රිතව පැවැත්විය. එහිදී උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය වූ “අන්තර්ජාතික දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරගය” (International Competition- Feature Length Live Action Films) නියෝජනය කිරීමේ අවස්ථාව, වසර 10 කට පසුව ශ්‍රී ලාංකේය සිනමාපටයකට හිමිව තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “විෂම භාග” චිත්‍රපටය උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කළ අතර, එයට අමතරව රුසියාව, ඉරානය, ඉන්දියාව සහ කසකස්තානය නියෝජනය කරමින් තවත් ළමා සිනමාපට 07 ක් එම අංශය යටතේ පිරිනැමුණු සම්මාන 05 ක් උදෙසා තරග වැදුණි. ඒ අතුරින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය හා හොඳම ළමා රංගනය යන සම්මාන ත්‍රිත්වයම  ඔස්කාර් සම්මාන නිර්දේශලාභී සිනමා අධ්‍යක්ෂ මජිඩ් මජිඩි නිර්මාණය  කළ ‘Sun Children’ නම් ඉරාන සිනමාපටයට හිමිවිය. ඉතිරි සම්මාන ද්විත්වය ඉන්දියාව හා ඉරානය නියෝජනය කළ සිනමාපට ද්විත්වයක් විසින් දිනා ගැනුනි. “විෂම භාග” චිත්‍රපටයේ කතා තේමාව ළමයෙක් වටා ගෙතී තිබුනද, එය ළමා චිත්‍රපටයක් ලෙසින්  වර්ගීකරණයට ලක්වෙමින් ජාත්‍යන්තරය තුළ ළමා සිනමා උළෙලක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය.
ඉස්ෆහාන් උළෙලේ ආරම්භය 1985 වර්ෂයේදී සනිටුහන් වූ අතර, “විෂම භාග” චිත්‍රපටය එම උළෙලේ ප්‍රධානම  තරගකාරී අංශය නියෝජනය කළ සිව්වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසත්, උළෙල නියෝජනය කළ හයවෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසත් ඉතිහාසයට එක්විය. මීට පෙර මෙම උළෙල නියෝජනය කිරීමේ අවස්ථා පහම, මෙරටින් බිහිවූ විශිෂ්ටතම ළමා සිනමාපට නිර්මාණවේදීයා ලෙසින් ජාත්යන්තරව පිළිගැනෙන සෝමරත්න දිසානායකගේ චිත්‍රපට වලට පමණක් හිමිව තිබීම කැපී පෙනුණි. ඒ අනුව සෝමරත්න දිසානායකගේ සරෝජා (2000 දී) , පුංචි සුරංගනාවී (2002 දී) හා බින්දු (2010 දී) යන චිත්‍රපට ත්‍රිත්වය උළෙලේ ප්‍රධානම තරගකාරී අංශයත්, සූරිය අරණ චිත්‍රපටය (2004 දී) ආසියානු තරග අංශයත්, සමනළ තටු චිත්‍රපටය  (2005 දී) තරගයෙන් බැහැරවූ අංශයත් නියෝජනය කිරීමට සමත් විය. එහිදී 2000 වර්ෂය වෙනුවෙන් හොඳම ළමා රංගනය උදෙසා වූ රන් සමනල සම සම්මානයෙන් පිදුම් ලැබීමට සරෝජා චිත්‍රපටයේ රඟපෑ නිත්‍යවානි කන්දසාමි සහ ප්‍රමුදි  කරුණාරත්නත්, 2002 වර්ෂය වෙනුවෙන් හොඳම ළමා රංගනය උදෙසා වූ රන් සමනල සම්මානයෙන් පිදුම් ලැබීමට පුංචි සුරංගනාවී චිත්‍රපටයේ රඟපෑ නිත්‍යවානි කන්දසාමිත් සමත් වූහ.
ඉස්ෆහාන් උළෙල නියෝජනයත් සමග ලොව ප්‍රමුඛතම ළමා සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත් වූ “විෂම භාග” චිත්‍රපටය, මීට පෙර ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ  සිනමා උළෙල කාණ්ඩයට ඇතුළත් චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලත්, ඉන්දියාවේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලත් නියෝජනය කිරීමට 2019 වර්ෂයේදී සමත් විය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

34 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.