ලාංකේය සිනමාවයි, මලයාලම් සිනමාවයි.

Avatar Nisanka Weheraduwa | February 19, 2021 249 Views 0 Likes 0 Ratings

249 Views 0 Ratings Rate it

සටහන : කවිඳු වීරක්කොඩි

අතීතයේ සිටම ලාංකීය නිර්මාණකරුවන්, ඉන්දියානු සිනමාවත් සමග නව සම්බන්ධතා ඇති කරගනු ලැබුවා. තම දැනුම සහ සිනමා භාවිතයන් හුවමාරු කර ගත්තා. මෙනිසාම ලාංකීය සිනමාවත් ඉන්දියානු සිනමාවත් අතර පවතින්නේ ඉතාමත් තද සම්බන්ධයක්. එයිනුත් දකුණු ඉන්දියානු සිනමාව විශේෂයි.

2017දි තිරගත වුණු ධර්ම යුද්ධය සිනමාපටය මේ කාරණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුලුවන් හොඳම නිදසුනක්. ජැක්සන් ඇන්තනි සහ දිල්හානි ඒකනායක ප්‍රධාන රංගනයෙන් දායක වුණු ධර්ම යුද්ධය සිනමාපටය, වසරේ වැඩිම ආදායම්ලාභි සිංහල සිනමාපට අතරටත් එකතු වුණා. විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් ඉහළ බොක්ස් ඔෆිස් ආදායමක් පවා ලැබුවා. නමුත් මෙම නිර්මාණයට මුල් වුණු අදහස හා කතා තේමාව ලාංකිකයෙකුගේ නම් නෙමෙයි. එය මලයාලම් සිනමාපටයක සිංහල ප්‍රතිනිර්මාණයක්. ධර්ම යුද්ධයට පාදක වුණේ Drishyam නැමැති මලයාලම් සිනමාපටයයි. 2013 වසරේදී තිරගත වුණු එම Drishyam චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කළේ ජිතූ ජෝසප් විසින්.

(Drishyam දර්ශන තලයේදී ජිතූ ජෝසප්)

මෙම Drishyam සිනමාපටය සිංහල භාෂාවට අමතරව හින්දි, තෙළෙඟු, දමිළ, කන්නඩ සහ චීන භාෂාවන්ටද ප්‍රතිනිර්මාණය වුණේ මෑතකාලීන ඉන්දීය සිනමාව තුළ iconic ලකුණක් තබන්නට පවා සමත් වෙමින්. මෙවන් දැවැන්ත නිර්මාණයක සිංහල ප්‍රතිනිර්මාණය වූ ධර්ම යුද්ධය පවා අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දීය පුද්ගලයෙක් වීමත් විශේෂත්වයක්. ඔහු නමින් චෙයියාර් රවී! රවී තමිල්නාඩුව ඇතුළේ ප්‍රසිද්ධ ටෙලි කතාමාලා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමන්ගේ නිර්මාණ බොහෝමයක් නිෂ්පාදනය කළේ රූපවාහිනි තිරය උදෙසායි. ධර්ම යුද්ධය සිනමාපටයේ සංස්කාරකවරයා ඇතුළු තාක්ෂණික ශිල්පීන් කිහිප දෙනෙකුත් ඉන්දීය ජාතිකයින් වූවා. මීට අමතරව Polladhavan සහ Kanchana යන ඉන්දියානු නිර්මාණවල සිංහල ප්‍රතිනිර්මාණ වූ ප්‍රවේගය සහ මායා ද ධනාත්මක ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්න සමත් වුණා.

මෙසේ ඉන්දීය-ලංකා හවුල් නිර්මාණයක් ලෙසින් බිහිවුණු තවත් දැවැන්ත සිංහල සිනමාපටයක් නුදුරු අනාගතයේදීම තිරගත වීමට නියමිතයි. එය නමින් ගාඩි. ගාඩි අධ්‍යක්ෂණය කරන්නේ වර්තමානයේදී ලංකාවේ සිටින විශිෂ්ටතම සිනමාකරුවෙකු වන ප්‍රසන්න විතානගේ විසින්. ගාඩි සිනමාපටයට සම්බන්ධ වුණු ඉන්දීය සිනමාකරුවන් අතර වැදගත්ම පුද්ගලයා වන්නේ රාජීව් රවී. රාජිව් රවී ගාඩි සිනමාපටයට සම්බන්ධ වන්නේ එහි කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙනුයි. නමුත් ඔහු කැමරා අධ්‍යක්ෂකරයෙකුගේ භූමිකාවට අමතරව අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් ලෙසත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

(ගාඩි සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂක රාජිව් රවී සහ බිරිඳ ගීතු මෝහන්දාස්)

2013 වසරේදී තිරගත වුණු රාජිව්ගේ පළමු අධ්‍යක්ෂණය, Annayum Rasoolum චිත්‍රපටයට 60වන National Film Awards හිදී ජාතික සම්මානයක් පවා හිමිවුණා. ඔහු විසින් 2016 වසරේදී නිර්මාණය කළ Kammattipaadam සිනමාපටය කේරළ ප්‍රාන්තීය සිනමා උළෙලේදී සම්මාන 04කින් පිදුම් ලැබුවා. මීට අමතරව ලංකාවේදීම රූපගත කළ Bombay Talkies, Gangs of Wasseypur සහ Virus වැනි නිර්මාණ රාජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු ප්‍රසිද්ධ නිර්මාණ විදිහට හඳුන්වන්න පුලුවන්. රාජිව් රවීගේ බිරිඳ, ගීතු මෝහන්දාස් ද සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකාවක්. ගීතුගේ පළමු සිනමාපටය වන Liar’s Dice 87වන ඔස්කාර් සම්මාන උළෙලට, හොඳම විදේශ භාෂා චිත්‍රපට කැටගරිය යටතේ ඉන්දියාව නියෝජනය කරන්නටද වරම් ලැබුවා. පසුගිය දිනවල ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ වෙනස්ම කතාබහක් ඇති කළ Moothon සිනමාපටයද ඇයගේ නිර්මාණයක්! ගාඩි සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයාද ඉන්දීය ජාතිකයෙක්. ගාඩි සිනමාපටයේ සංස්කාරකවරයා වූ Sreekar Prasad පවා ඉන්දියානු ජාතික සම්මානලාභියෙක්. Thuppakki, Sarkar, Saaho වැනි ජනප්‍රිය නිර්මාණ සඳහාත් තම දායකත්වය ලබා දුන් පුද්ගලයෙක්.

අප මෙතෙක් කතා කළේ මෑතකාලීන ඉන්දීය-ලාංකීය හවුල් නිර්මාණ පිළිබඳව පමණයි. අතීතයේ සිටම අපගේ නලු නිළියන් පවා ඉන්දීය නිර්මාණවල පෙනී සිටියා. දමිළ සිනමාවේ පුරාවෘතයක් බඳු වූ සිවාජි ගනේෂන් සමඟ මාලනී ෆොන්සේකා මහත්මිය රඟපෑ Pilot Premnath (1978) වැනි නිර්මාණවල සිට මේ දක්වාම විටින් විට ලාංකීය රංගන ශිල්පීන් ඉන්දියානු සිනමාපටවලට තම දායකත්වය ලබා දෙමින් සිටිනවා. උදාහරණ වශයෙන්,

1990දී සුරේෂ් ගෝපි සමඟ Aacharyan මලයාලම් චිත්‍රපටයේ යශෝදා විමලධර්ම…

2009දී මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු වන මම්මුටි සමඟ Kutty Srank චිත්‍රපටයේ මීනා කුමාරී…

2011දි Mr. Rascal තෙළෙඟු සිනමාපටයේ නදීශා හේමමාලි…

මීනා කුමාරි Kutti Srank චිත්‍රපටයේ

යශෝදා විමලධර්ම Aacharyan චිත්‍රපටයේ

ලාංකීය ශිල්පීන්ගේ මෙම දකුණු ඉන්දීය ආගමනයන් පිළිබඳව කතාබහ නැවතත් කරළියට පැමිණියේ හේමාල් රණසිංහ රඟන නවතම දමිළ සිනමාපටයක් ගැන තොරතුරු අණාවරණය වීමත් සමඟයි. Second Show ලෙස හැඳින්වෙන මෙය හේමාල් රණසිංහගේ පළමු විදේශ භාෂා චිත්‍රපටයයි. T. Gnanam විසින් කුළුදුළේ අධ්‍යක්ෂණය කළ Second Show චිත්‍රපටය මෙම වසර මැද භාගය වන විට ප්‍රදර්ශනය කිරීමටද නියමිත බවට දමිළ මාධ්‍ය වර්තා කරනවා. මෙම සිනමාපටයේ සිංහල ගීත ලියා තිබෙන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. Cyber Beggars වෙබ් කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වන කසුන් හීනටිගල විසින් විදෙස් සිනමාපටයක් සඳහා ගීත රචනා කළ පළමු අවස්ථාව වන්නේද මෙයයි. Second Show සිනමාපටය සිංහල, දෙමළ භාෂා ද්විත්වයෙන්ම තිරගත කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසෙනවා.

හේමාල් රණසිංහගේ මෙම දකුණු ඉන්දීය ආගමනයට පෙර ජැක්සන් ඇන්තනි සහ පියුමි හංසමාලි රංගන දායකත්වය ලබා දුන් Lucknow නැමැති මලයාලම් සිනමාපටයක් පිළිබඳවත් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වුණත් වසර කීපයක සිට ඒ පිළිබඳව කිසිදු තොරතුරක් යාවත්කාලීන වුනේ නැහැ. චිත්‍රපටයේ තම චරිතය සඳහා මලයාලම් භාෂාවෙන් හඬ මුසු කළේද ජැක්සන් ඇන්තනි මහත්මා විසින්මයි. කෙසේ නමුත්, ලාංකීය ප්‍රේක්ෂකයන් වන අප තවමත් එම සිනමාපටය තිරගත වන තුරු බලා හිඳින බවද ලියුම්කරු විසින් මෙසේ මතක් කිරීමට කැමැත්තෙමි.

ලක්නව් මලයාලම් සිනමාපටයේ දර්ශන

නමුත් මෙම සියල්ලට වඩා සමාජ මාධ්‍ය ජාලා තුළ වැඩිම අවධානයට යොමු වූයේ, Android Kunjappan Version 5.25 මලයාලම් සිනමාපටයේ දමිළ ප්‍රතිනිර්මාණය වන Google Kuttappan සිනමා නිර්මාණය සඳහා ලාංකිකයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ පුවතයි. Kerala State Awards හිදි පවා සම්මානයට පාත්‍ර වූ Android Kunjappan සිනමාපටය රතීශ් පොදුවාල්ගේ පළමු අධ්‍යක්ෂණයයි. Google Kuttappan සඳහා තෝරාගත් ලාංකිකයින් දෙදෙනා වූයේ, කමලාසන්ගේ Big Boss Tamil වැඩසටහන හරහා ජනප්‍රියත්වයට පත් දර්ශන් ත්‍යාගරාජා හා ලොස්ලියා මරියනේසන් ය. මොවුන් දෙදෙනා Google Kuttappan චිත්‍රපටයේ රඟපාන චරිත ද්විත්වය පිළිබඳව තවමත් මාධ්‍යයට අණාවරණය වී නැත. කෙසේ නමුත්, K.S. රවිකුමාර් වැනි දැවැන්ත රංගන පෞරුෂයක් සමඟ රංගනයේ යෙදීමට ලැබීමම විශාල භාග්‍යයක් බව ලියුම්කරුගේ පෞද්ගලික මතයයි.

මනිරත්නම් වැනි දැවැන්තයෙකුගේ සිනමා නිර්මාණයකට එක් වන්නට ලැබීම බොහෝ ඉන්දීය නලු නිළියන්ගේ සිහිනයක් වුවත් එම අවස්ථාව ලැබෙන්නේ ඉතාම සුලු පිරිසකට පමනයි. මන්දයත්, මනිරත්නම් සිය සිනමාපටයකට ශිල්පීන් තෝරාගනු ලබන්නේ ඉතාමත් සියුම් ආකාරයකටයි. එය සැමදෙනාම දන්නා කරුණක්. මෙවන් තත්වයක් ඔහු සමඟ වැඩ කරන්නට ලැබීමම බොහෝ ඉන්දීය ශිල්පීන්ට සැබෑ කරගත නොහැක්කක්. නමුත් පසුගිය වසරේදී, අපේ ලාංකිකයෙකුට මනිරත්නම්ගේ චිත්‍රපටයකට එක්වන්නට අවස්ථාව ලැබුණා. ඔහු ශ්‍යාම් ප්‍රනාන්දු. ශ්‍යාම් ප්‍රනාන්දු එක් වූයේ, මනිරත්නම්ගේ නවතම නිර්මාණය වන Ponniyin Selvan චිත්‍රපටය සඳහායි. එය ඉන්දීය කෝටි 450ක පමණ පිරිවැයකින් නිපදවෙන දැවැන්ත චිත්‍රපටයක්. ශ්‍යාම් සමඟින් චෙයියාන් වික්‍රම්, ඵෙශ්වර්යා රායි බච්චන්, ජයම් රවී, ට්‍රිෂා වැනි ප්‍රධාන ශානරයේ නලු නිළියන් රැසක්ම මේ නිර්මාණයට එකතු වී අවසන්.

මෑතක් වනතුරුම ඇතැම් දකුණු ඉන්දීය සිනමාපටවල පසුබිම් දර්ශන සදහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ යොදාගත්ත ද මෙම කෝවිඩ් වසංගත තත්වය නිසාම ඒ සියලු කටයුතු නැවතී තිබෙනවා. අපි ඉහතදී කතා කළ Ponniyin Selvan සිනමාපටය පවා ලංකාවේ රූපගත කරන්නට සැලසුම් කර තිබූ බවට අන්තර්ජාලයේ සඳහන් වෙනවා. නමුත් දැන් එහි ඉතිරි රූපගත කිරීම් සියල්ලම ඉන්දියාව තුළදීම අවසන් කරන්නට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ. මේ අයුරින් 2020 වසරේදී ලංකාව තුළ රූපගත කරන්නට තිබුණු තවත් චිත්‍රපටයක් ලෙස, මලයාලම් සුපිරි තරුව මෝහන්ලාල්ගේ RAM හඳුන්වන්නට හැකියි.RAM යනු ධර්ම යුද්ධය සිනමාපටයේ මුල් කෘතිය වන Drishyam (2013) අධ්‍යක්ෂණය කළ ජිතූ ජෝසප්ගේම නිර්මාණයක්. කොළඹ ප්‍රදේශයේ රූපගත කිරීම් සඳහා යොදා ගන්නට සැලසුම් කර තිබුනත් කෝවිඩ් වසංගතය හමුවේ ඒ සියල්ලම ඇණ හිටියා.

ඉහත විස්තර කර ඇත්තේ අවස්ථා කිහිපයක් පමණක් වුවත් ලාංකීය සිනමාවත් දකුණු ඉන්දීය සිනමාවත් එදා සිට අද දක්වාම ශක්තිමත්ව සබඳතා පවත්නා සිනමා කර්මාන්ත දෙකක්.  2015න් පමණ මෙහා මෑතකාලීන යාවත්කාලීනවීම් පමණක් තෝරා බේරාගෙන ඇති බවත් සැළකුව මනායි.

Share

249 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.