ලෙයට ලෙය සොයන මැර පාතාලය නැවතත් සක්‍රීයයි – ගිනිඅවි සහ ගිනිකෙළි 02
උදයකාන්ත වර්ණසූරිය විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද ගිනිඅවි සහ ගිනිකෙළි සිංහල චිත්‍රපටයේ දෙවන දිගහැරුම, ගිනිඅවි සහ ගිනිකෙළි Chapter 02 (The Hunt Begins) නමින් දැන් දිවයින පුරා සිනමාහල් ගණනාවකදී තිරගත වනවා.
මෙරට පාතාලය සහ අඳුරු දේශපාලනය වටා ගෙතුනු කතාවක් හරහා, ලාංකීය දේශපාලකයින් විසින් පාතාලයේ මිනීමරුවන් ලවා සිය දේශපාලන උවමනාවන් පිරිමසා ගන්නා ආකාරයත්, දේශපාලන කොන්ත්‍රාතු මත පාතාලයෙන් සිවිල් සමාජයට එල්ල කරන බලපෑමත්, සිනමාත්මකව දැක බලා ගැනීමට ගිනිඅවි සහ ගිනිකෙළි 02 චිත්‍රපටය තුළින් ඔබට පුලුවන්.
ගිනිඅවි සහ ගිනිකෙළි පළමු චිත්‍රපටය නිර්මාණය වුනේ මීට සෑහෙන කාලයකට පෙර 1998 වර්ෂයේදී වුවත්, ඊට ලැබෙන රසික ආකර්ෂණය අදටත් අඩුවක් නැහැ. මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, රන්ගන ප්‍රේමරත්න ඇතුලු නලු නිලියන් පිරිසකුයි.
ඊට වසර 25කට පසුව නිර්මාණය වන ගිනිඅවි සහ ගිනිකෙළි දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ධනුක දිල්ෂාන් සමඟින් ඉසුරු හෙට්ටිආරච්චි යි. ධනුක විසින් මංජුගේ චරිතයත්, ඉසුරු විසින් බෝගහවත්තේ ලකීගේ චරිතයත් රඟපානවා.
ගිනිඅවි සහ ගිනිකෙළි 02 සිනමාපටය දිවෙන්නේ, දේශපාලකයින්ගේ සෙවණෙ හි හැදී වැඩෙන මෙම ලකී සහ මංජු නැමැති පාතාල නායකයින් දෙදෙනා අතර සිදුවන ගැටුම වටායි. උණ්ඩයෙන් පිළිතුරු සොයන ඔවුන්ගේ භිෂණයට හසුවන පුද්ගලයින් ගණනාවකට මැරුම් කන්නට සිදුවන අතර රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඝාතනයත් සමඟ මෙම පාතාලයේ ගමන් මඟ වෙනත් අතකට හැරෙවෙනවා.
සිය පෞද්ගලික ආරවුල් – පවුල් කොන්තර – දේශපාලන ගැටුම් හමුවේ ලෙයට ලෙය සොයන බෝහගවත්තේ ලකී සහ මංජුගේ ගැටුම කෙළවර වන්නේ කොතනින් ද?
ගිනිඅවි සහ ගිනිකෙළි 02 සිනමාපටයෙන් ඔබට මීට පිළිතුරු සොයාගන්නට පුලුවන්…
මුල් සිනමා නිර්මාණය මෙන්ම මෙය රචනා කර තිබෙන්නේ ද අනුර හොරේෂස් විසින් රචිත නව කතාවක් ඇසුරෙනුයි. තිර පිටපත සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය විසිනුයි. කැමරාකරණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි යි.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ ධනුක දිල්ෂාන්ට අමතරව පාලිත සිල්වා – ලකී ඩයස් – කුසල් මධුරංග – ජගත් බෙනරගම – රත්නා ලාලිනී – රංගන ප්‍රේමරත්න – රොජර් සෙනෙවිරත්න – අනුර බණ්ඩාර රජගුරු ඇතුලු ජනකාන්ත නලු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.
ක්ෂේත්‍රෙය් අත්දැකීම් බහුල, ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසූරිය මීට පෙර සිනමාපට සහ ටෙලි වෘතාන්ත 30කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර තිබෙන අතර නිෂ්පාදකවරයෙකු ලෙසත් සිනමාපට රැසකට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා. බහුරූ චිත්‍රපට වෙනුවෙන් ගිනිඅවි සහ ගිනිකෙළි 02 නිෂ්පාදනය කරන්නේ ද ඔහු විසිනුයි.
රන්කෙවිට – හිරිපොද වැස්ස – චැලෙන්ජර්ස් – කොස්තාපල් පුඤ්ඤසෝම – ආසයි මං පියාඹන්න – බහුබූතයෝ – ගින්දරී වැනි ජනප්‍රිය සිනමාපට සියල්ලේම අධ්‍යක්ෂකවරයා වන්නේ උදයකාන්ත වර්ණසූරියයි.
ගිනිඅවි සහ ගිනිකෙළි 02 හි සංස්කරණය සිදු කර තිබෙන්නේ රුවන් චාමර රණසිංහයි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් සහ ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂණයෙන් එක්වුනා. සසික මාරසිංහ චිත්‍රපටයේ ශබ්ද පරිපාලන ශිල්පියායි. චිත්‍රාල් සෝමපාල විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු නිර්මාණය සිදු කළා.
PVR, Regal, Lite Cinemas ඇතුලු දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට දැන් මෙම චිත්‍රපටය නරඹන්නට පුලුවන්!
Written by Kavinu Weerakkody