ලොක් ඩවුන් – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | September 17, 2024 28 Views 0 Likes 0 Ratings

28 Views 0 Ratings Rate it

රොශාන් රණවන සමඟින් චුලක්ෂි රණතුංග ප්‍රධාන චරිත රඟපෑ ලොක්ඩවුන් සිනමා නිර්මාණය, 09වන දෙරණ Lux සිනමා (Derana Lux Film Awards) උළෙලට තරඟ වදින තවත් ජනප්‍රිය සිනමාපටයක්.

අතිශය කාර්යබහුල දෙමාපියන් දෙදෙනෙකුගේ කුඩා දියණියකට, ලොක්ඩවුන් සමයේදී අත්වන අනුවේදනීය සහ අනපේක්ෂිත සිද්ධියක් වටා ගෙතෙන ලොක්ඩවුන් සිනමාපටය අධ්‍යක්ෂණය කළේ සුනිල් ප්‍රේමරත්න විසිනුයි.

සහනි නැමැති සිය දියණිය එක්වරම නිවසෙන් අතුරුදහන් වීමත් සමඟ ඇගේ දෙමාපියන් සහ සමීපතමයින් සහනි ගැන තොරතුරක් සොයාගන්නට දරන වෑයමත්, ඇයට සිදුවූයේ කුමක්ද යන්නත්, ලොක්ඩවුන් (Lockdown) චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දිවයින පුරා සිනමා හල්වලදී මෙහි ප්‍රදර්ශනය ඇරඹි අතර සිනමා රසිකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාගන්නට ත් එය සමත් වුනා.

රොෂාන් රණවන විසින් මෙහි නිරූපණය කරන්නේ සමන්ත නැමැති රජයේ කාර්යාලයක, කාර්යබහුල විධායක නිලධාරියෙකුගේ චරිතයයි. ඔහුගේ බිරිය වන ලෝචනා නැමැති වෛද්‍යවරියගේ චරිතය චුලක්ෂි රණතුංග විසින් රඟපානවා. ප්‍රවීණ චරිතාංග නලු කුමාර තිරිමාදුර විසින් සිල්වා නැමැති ආරක්ෂක නිලධාරියාගේ භූමිකාවටත්, මීනා කුමාරි විසින් නිලන්ති නැමැති අසල්වැසි කාන්තාවකගේ භූමිකාවටත් මෙම සිනමාපටය තුළ එක්වී සිටිනවා.

“ලොක්ඩවුන්” සුනිල් ප්‍රේමරත්නගේ සිව්වන චිත්‍රපට නිර්මාණයයි. 2018 වසරේදී “ටවුමේ ඉස්කෝලේ” තුළින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු ඉන්පසුව “වැලිපවුරු” සහ “නිහඬ සෙවණැලි” නැමැති චිත්‍රපට ද්විත්වයත් අධ්‍යක්ෂණය කළා.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම කතාව – දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද සුනිල් ප්‍රේමරත්න විසින්මයි. සිසිකිරණ පරණවිතාන චිත්‍රපටයේ කැමරාකරණ ශිල්පියායි. ආලෝකකරණය සිදු කර තිබෙන්නේ ද ඔහුයි.

විශාරද දර්ශන වික්‍රමතුංගගේ නාද රටාවන්ට හැඩ වුනු මෙහි ගීත ගායනයෙන් එක්වන්නේ සුනිල් එදිරිසිංහ සමඟින් ශෂිකා නිසංසලායි. ලංකා ධර්මවික්‍රම විධායක නිෂ්පාදනයෙන් සහ ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් සම්බන්ධව තිබෙනවා. සංස්කරණය සහ වර්ණ සංයෝජනය ශාන් අල්විස්ගෙනි. සම්පත් රත්නායක චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයායි.

උපාලි උදයසිරි Lockdown හි කලා අධ්‍යක්ෂකවරයායි. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණකරණය සිදු කොට තිබෙන්නේ ඔහු විසිනි. ශබ්ද පරිපාලනය සශින් ගිම්හාන් පෙරේරාගෙනි. තනුෂ්ක කහඳවල දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණයෙන් සහ තීක්ෂණ තිසර ඩ්‍රෝන කැමරා හැසිරවීමෙන් ලොක්ඩවුන් චිත්‍රපටයට සහාය වී තිබෙනවා.

Lockdown චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Share

28 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.