වර්ණ සංයෝජනය කියන්නෙ පාට තැවරීම නෙවෙයි – දිනිඳු ජාගොඩ

Avatar Nisanka Weheraduwa | January 28, 2019 7 Views 0 Likes 0 Ratings

7 Views 0 Ratings Rate it

සංවාදය සහ සටහන : භාතිය ගුණසේන

****************************************************

‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ වර්ණ සංයෝජක දිනිඳු ජාගොඩ

‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය පසුගිය 18 වැනිදා තිරගත වීම ඇරඹිණි.   සිනමාපටය පිලිබඳ කෙරෙන කතාබහේ දෙවැනි පියවර සඳහා අප සම්බන්ධ කර ගත්තේ, ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ කලා අධ්‍යක්ෂවරයා වන උදේනි සුබෝධි සහ වර්ණ සංයෝජකවරයා වන දිනිඳු ජාගොඩ යන නිර්මාණකරුවන් දෙපළයි. මේ ඔවුන් දෙදෙනා අප සමඟ පැවසූ අදහස්ය.

වර්ණ සංයෝජනය කියන විෂයය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ?

අපි වර්ණ සංයෝජනයට යන්න ඉස්සෙල්ලා චිත්‍රපටයට අදාළ කාලවකවානුව එහෙම නැත්නම්, අපට අවශ්‍ය ලුක් එක හදාගන්න ඕනෑ. අපි කැමරා ටෙස්ට් එකක් කළා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වර්ණ සංයුතිය තීරණය කරන මිම්ම සොයාගැනීම. ඊට අමතරව කැමරා එකෙන් රූගත කිරීමෙන් ලැබෙන පෙනුම ලබා ගන්න, ලිමිටේෂන්ස් ටික හඳුනාගන්න, අපිට ඕනෑ පින්තූරය ලබා ගන්න කැමරා එක එක්ස්පෝස් කරන්න ඕනෑ කොයි විදියටද කියන කාරණා තුන හතරම බලන්න තමයි, අපි කැමරා ටෙස්ට් එක කරන්නේ. මොකද? අපි රූගත කරපු කැමරාව ලංකාවේ වැඩිය චිත්‍රපටවලට භාවිතවෙලා තිබුණේ නෑ. ඇත්තටම ප්‍රධාන දර්ශන තලයේ තිබෙන බිත්තිවල පාට පවා අපි වෙනස් කරගත්තා. එතනදී කලා අධ්‍යක්ෂවරයා එහෙම නැත්නම්, ප්‍රඩක්ෂන් ඩිසයිනර් තීරණය කරන්නේ, කැමරා අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂවරයා එක්ක ඒ කාලෙට උචිත වර්ණ ටික සහ ඒ ලොකේෂන් එකේ තියෙන වර්ණ ටික මොන වගේද වෙන්නේ කියලා. එතකොට වර්ණ සංයෝජකයා හැටියට මට දෙන්න පුළුවන් උපදෙස තමයි. මේ මේ වර්ණ පාවිච්චි කළොත් අපිට මෙන්න මේ ලුක් එක ගන්න පුළුවන් කියන එක. ඒ වාගේම කැමරා එකේ තිබෙන අඩුපාඩු කොහොමද අපි මඟහරවා ගන්නේ කියන එකට උපදෙස් දෙන එක තමයි, මගේ ක්‍රියාවලිය. මේ ඇවිල්ලා පූර්ව නිෂ්පාදන අවධියේදී අපි කරන දේවල් ටික.

එතනින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ?

චිත්‍රපටය සංස්කරණය කළාට පස්සේ අපි බලනවා, අපට ඕනෑ ඒ කාලවකවානුවට අදාළ හෝ චිත්‍රපටයට තිබෙන මූඞ් එක දැනෙන්නේ කොහොමද කියන එක අදාළ කරගෙන අපි වර්ණ සංයුතිය (කලර් පැලට් එකක්) හදාගන්නවා. ඒක අපි කරන්නේ ටෙස්ට් එකක් වගේ. ඒ කියන්නේ, පොඩි පොඩි වෙනස්කම් කරලා බලනවා මොන තැනටද ගේන්න ඕනෑ කියලා. එහෙම නැතිව එක පාරටම කරගෙන කරගෙන යන්නේ නැහැ. ප්‍රධාන ජවනිකා ටිකක් ගත්තාම ඒ හැම සීන් එකක්ම තියෙන මේන් ෂොට් එකක්. ඒ මේන් ෂොට් එක වයිඞ් ෂොට් එකක් විදියට තමයි, බොහෝ විට එන්නේ. එතකොට එහෙම ජවනිකා කිහිපයක් අරගෙන ඒකේ පැය කිහිපයක් තියෙනවා නම්, ෆිල්ම් එකේ උදේට, දවල්ට, රෑට කියන හැම අවස්ථාවකටම අපි ලුක් දෙක තුනක් හදාගන්නවා. ඒ ඒ ලුක් එක හදනකොට අපිට තේරෙනවා, සාමාන්‍යයෙන් මේක මොන තැනටද යන්න ඕනෑ කියන එක. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය කරන කොට අපිට ඕනෑවෙලා තිබුණු දෙයක් තමයි, අසූව දශකය ගත්තොත් එහෙම ඒ කාලේ හැදුණු චිත්‍රපටවල තිබුණු ලුක් එකක් තිබුණා. ඒ ලුක් එක රඳාපැවතුණේ ඒ කාලේ ෆිල්ම්වල තිබුණු යම් යම් ගුණාංග සහ ඒක ඩිවලොප් කරපු ආකාරය මත. එතකොට අපේ මතකයේ තිබුණ ලුක් එක ඇතුළේ තමයි, අපි මේ චිත්‍රපටය කළේ. මොකද? අපි හිතන්නෙ නැහැ මොකක් හරි චිත්‍රපටයක් කරන කොට ඒ චිත්‍රපටයේ පරණ ලුක් එක නේ තියෙන්න ඕනැ කියලා. හැබැයි, මෙතනදී පරණ දේවල් මතක් වෙන විදියේ ෆීලිංග් එකක් ගන්න අපි උත්සාහ කළා. ඒ නිසා අපි චිත්‍රපටයේ මුල සිට අග දක්වාම ‘පරණ’ ගතිය ඉස්මතු කළා. සමහර අය හිතන්නෙ පරණ ගතිය කියන්නෙ වර්ණ නැතිකම කියලා. නමුත්, චිත්‍රපටය බලන කොට තේරෙයි. එහෙම වර්ණ නැති වගක් නැහැ. වර්ණ නැති කළොත්, චිත්‍රපටයට පණ නැතිකමක් එනවා. එතකොට ඒකට ප්‍රාණය ඇති කරන්න තමයි, අපි හැමදේම කළේ.

අපේ රටේ සිනමාව තුළ කෙරෙන වර්ණ සංයෝජන ක්‍රියාවලිය පිළිබඳව ඔබට තියෙන්නේ මොන වගේ කියවීමක්ද?

අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි, ඉගෙන ගන්න තිබෙන අවස්ථා අඩුයි. ඒ වාගේම අපි අතර තිබෙන අදහස් උදහස්, දැනුම වාගේ දේවල් බෙදාගන්නේ හරි අඩුවෙන්. ඒක ඇතුළේ අපි ගොඩක් වෙලාවට මේ වර්ණ සංයෝජනය කියන එක දකින්නෙ ‘ලස්සන කරන’ දෙයක් හැටියට. නමුත්, මම දකින්නෙ එහෙම දෙයක් නොවෙයි. ලස්සනත් තිබෙනවා, ගුණත් තිබෙනවා. අපි ඒකට අවස්ථානුකූලව තමයි, අනුගත වෙන්නේ. ඒ වාගේම එහි කලාත්මක සහ තාක්ෂණික ගුණයන් ටිකක් තිබෙනවා, මේන්ටේන් කළ යුතු. අපට තිබෙන ලොකුම ප්‍රශ්නය ඉගෙන ගැනීමට තිබෙන ඉඩ අඩු හින්දා පටන් ගන්න තැනින් ම වැරදි විදියට තමයි, අපි එක්ස්පෝස් කරන්නේ. මම කරන නිර්මාණවලට සමහර අය මගෙන් අහනවා, මේකෙ වර්ණ සංයෝජනය කළාද කියලා. ඇත්තටම මම ඔරිජිනල් එක පෙන්නුවට පස්සෙයි ඒ ගොල්ලන්ට තේරෙන්නෙ ඔරිජිනල් එක හා වර්ණ සංයෝජනය කරපු නිර්මාණය කොච්චර වෙනස්ද කියලා. එතකොට ගොඩක් අය වර්ණ සංයෝජනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ වර්ණ ගොඩක් යොදන එක. ඇත්තටම අපි එහෙම කොටු වෙන්න නරකයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ඔබේ කාර්යභාරයට අනෙකුත් අයගේ සහයෝගය ලැබුණේ කොයි ආකාරයටද?

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය මම වැඩියෙන්ම වැඩ කරන්නේ කැමරා අධ්‍යක්ෂවරයාත් එක්ක. හැබැයි, චිත්‍රපටය ඇතුළේ කලා අධ්‍යක්ෂවරයා සියයට අසූපහක් අවශ්‍ය දේවල් කරලා තිබුණා. එතකොට කලර් එක ගොඩක් වෙනස් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. එතකොට මම ඒ කියපු අයගේ සංයුතියක් තමයි, මෙතන ඇති වෙන්නේ. අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම, සිතුම් පැතුම් ඇතුළේ තමයි, සියල්ල සිද්ධ වෙන්නෙ. හැබැයි, චිත්‍රපටයේ වර්ණ සංයෝජනයේ යෙදෙන කොට මම කෙළින්ම ධනුෂ්කත් එක්ක තමයි, වැඩ කළේ. නමුත්, මම හිතන්නෙ අනෙක් කට්ටියගේ සහයෝගය නැත්නම්, අපිට චිත්‍රපටයේ ලුක් එක හදාගන්න එක ලෙහෙසි වෙන්නෙ නැහැ. හැබැයි, මේ ෆිල්ම් එක ඇතුළේ මට එහෙම කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එතකොට මට කරන්න තිබුණේ, අපට ඕනෑ කරලා තිබුණු කාලවකවානුවට අදාළ ලුක් එක ගන්න එක විතරයි.
——————————————————————————-
——————————————————————————-

රූප රාමුවෙන් රූප රාමුවට
කලා අධ්‍යක්ෂවරයා වගකිව යුතුයි

‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ කලා අධ්‍යක්ෂ
උදේනි සුබෝධි

‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ කලා අධ්‍යක්ෂ කියන කාර්යභාරයට ඔබේ ප්‍රවේශය සිද්ධ වුණේ කොහොමද?

කලා අධ්‍යක්ෂණය කියන කතන්දරේ තියෙන්නේ, ලංකාවේ පමණයි. නමුත්, මේක වෙනත් රටවල භාවිත කරන්නේ ‘ප්‍රඩක්ෂන් ඩිසයින්’ කියන සමස්ත ක්‍රියාවලිය විදියට. එතනදී ඔය කලා අධ්‍යක්ෂණය කියන එක ඉක්මවා ගිය විශාල පරාසයක් තියෙනවා. එතකොට මම ප්‍රවේශය ගන්නේ එතන ඉඳලා. මොකද? නිර්මාණයට අවශ්‍ය සියලුම දර්ශන තලවලට ප්‍රධාන වශයෙන් අපි මේ චිත්‍රපටයේ යොදා ගත්තේ රන්මිණිතැන්න. ඊට අමතරව අපි රියල් විදියට පාවිච්චි කළා බණ්ඩාරවෙල, ලෙව්වෙගොඩවත්ත. අනෙක් සියල්ලම වගේ අපි උපකල්පනය කරලා ගත් ඒවා.ඒ වාගේම විජේවීර සහෝදරයා ජීවත් වෙච්ච හැම තැනකටම අපි ගියා. උදාහරණයක් විදියට ඒ කාලේ වාහනයක් පාවිච්චි කළා නම්, ඒ වර්ගයම අපි හොයාගන්න ඕනෑ. ඒ වාගේ අපිට පොඞ්ඩක් ගැඹුරට යන්න වුණා.

කලා අධ්‍යක්ෂණය කියන විෂයය සම්බන්ධයෙන් ඔබේ කියවීම මොකක්ද?

කලා අධ්‍යක්ෂවරයෙක් කියන්නේ, මට හිතෙන විදියට එතනින් එහා කාර්යභාරයක් පැවරෙන කෙනෙක්. මම දකින්නේ, නිර්මාණ සැලසුම්කරුවා කියන සන්දර්භය තුළ තමයි, කලා අධ්‍යක්ෂණය කියන කොටසත් තිබෙන්නේ. එතකොට මේ නිර්මාණ සැලසුම්කරුවා යටතේ විෂයයන් ගණනාවක් එකතු වෙනවා. මොකද? පසුතල, ඇඳුම් පැළඳුම්, රංග භාණ්ඩ, ඉතිරි අවශේෂ දේවල් ඇතුළු සියලු පරාසයන් මේ නිර්මාණයට එකතු වෙනවා. එතකොට මේ සියලුම දේවල් එක තීම් එකක් යටතේ තමයි, යන්න ඕනෑ. නමුත්, අද ඒ විෂයයන් ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙනම. එතකොට මේ දේවල් එක තීම් එකක තබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා. නමුත්, එහෙම ඒකාත්මික වෙලා යන ක්‍රියාදාමයක් ලංකාවේ නැහැ. මම උත්සාහ කරනවා, පුළුවන් තරම් කලා අධ්‍යක්ෂණය කියන විෂයයෙන් එපිටට ගිහිල්ලා, නිර්මාණ සැලසුම්කරණය දක්වා මේක ගෙන යන්න. බොහෝ නිර්මාණවල අධ්‍යක්ෂවරයා තමයි, සියලුම තීරණ ගන්නේ. ඒ කියන්නේ, පසුතල, ඇඳුම් පැළඳුම් කියන හැමදේම අධ්‍යක්ෂවරයාගේ මතය අනුව තමයි, යොදාගන්නේ. එතකොට ලංකාවේ අධ්‍යක්ෂවරයාගේ ඒකාධිකාරයක් තිබෙනවා. හැබැයි, මේ වෙනකම් මම චිත්‍රපට හතරක විතරයි, වැඩ කරලා තියෙන්නේ. ඒ චිත්‍රපට හතරේම අධ්‍යක්ෂවරුන් හතර දෙනා මට පූර්ණ නිදහස දුන්නා මගේ විෂයය ක්‍රියාත්මක කරන්න. ඒවායේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එතකොට නිර්මාණ සැලසුම්කරුවා කියන කෙනා සම්බන්ධයෙන් මම දකින ප්‍රධානතම කාරණා තමයි, හැම ෆ්‍රේම් එකකටම, ෆ්‍රේම් බයි ෆ්‍රේම් එයා වගකියන්න ඕනෑ කියන එක. ඒ තමයි, මම දරන මතය.

ඔබේ විෂය දැනුම මූලික කරගෙන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සඳහා කලා අධ්‍යක්ෂණයේ තාක්ෂණික ක්‍රමවේදයන් මුසු කළේ කොහොමද?

අපි මූලිකවම ස්ක්‍රීන් එකේ එක රාමුවක් ගැන කතා කරමුකො. ඔය රාමුවේ ප්‍රධානම දේවල් තමයි, වර්ණ, හැඩතල සහ ගැඹුර. ඒක තමයි ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේදය. ඒකට අනුගත කරන්න ඕනෑ තිර පිටපතේ තිබෙන කතාව සහ ඒ පරිසරය. එතකොට තිර පිටපතේ තිබෙන කතාව අපි සාධාරණීයකරණය කරන්න ඕනෑ. දක්ෂ කලා අධ්‍යක්ෂවරයකුගේ කෞෂල්‍යය තමයි, ඒක. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය ගත්තොත් ඊට පාදක වෙච්ච සිදුවීම් අහපු, දැකපු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයට මේක තහවුරු කරන්න ඕනෑ. අන්න ඒ තහවුරුව නිසියාකාරව ලබා දීම තමයි. මගේ කාර්යභාරය වුණේ.

මේ චිත්‍රපටය බලද්දී, එහි කලා අධ්‍යක්ෂවරයා විදියට ඔබට මොකද හිතෙන්නේ?

සාපේක්ෂව දැනට ලංකාවේ ඉතාම සාර්ථක නිර්මාණයක් බවට ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය පත්වෙලා තිබෙනවා. නමුත්, නිර්මාණකරුවකු විදියට අපි කිසිම වෙලාවක තෘප්තිමත් වෙන්නේ නැහැ. මේක තව ටිකක් කරන්න තිබුණා කියන දේ තමයි. හැම නිර්මාණයක් කෙළවරදීම අපිට හිතෙන්නේ. පොදුවේ බලන කොට ලොකු දෙයක් කළා කියලා හිතන්න පුළුවන්, ලංකාවට සාපේක්ෂව. නමුත්, මීට වැඩිය දේවල් අපිට කරන්න පුළුවන් කියන හැඟීම එනවා. සෑහෙන කාලෙකට බලන්න තරම් හොඳ චිත්‍රපටයක් ආවේ නැහැ නේ. ඒ අඩුව පිරවිලා තිබෙනවා කියන එක හිතන්න පුළුවන්.
———————————————————————————

කතා බහ – භාතිය ගුණසේන

Share

7 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.