වසර දහඅටකට පසු නැවතත් තිරයට එන John Constantine

Avatar Kavinu Weerakkody | October 22, 2022 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ඇමරිකානු රංගන ශිලපී Keanu Reeves ප්‍රධාන චරිතය නිරූපණය කළ Constantine චිත්‍රපටය තිරගත වුනේ මීට වසර දහසයකට පෙර, 2005 වසරේදී යි. DC කොමික් විශ්වයේ Hellblazer නැමැති ග්‍රන්ථය පදනම් කරගෙන නිපදවුනු Constantine සිනමාපටය එවකට විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වුනු නිර්මාණයක් නම් නෙමෙයි. වාණිජ ධාරාවේ ලෝක සිනමාව තුළ එතරම් දැක ගැනීමට නොහැකි Super – Natural ශානරයට අයත් වූ ඒ සිනමාපටයට විචාරකයින්ගෙන් පවා ලැබුනේ යම් තාක් දුරකට මිශ්‍ර ප්‍රතිචාරයක්.
කෙසේ වුවත් ඩොලර් මිලියන 300කට ආසන්න සාර්ථක බොක්ස් ඔෆිස් ආදායමක් රැස් කරගන්නටත් එය සමත් වුනා.

Constantine සිනමාපටයෙ හි කතාව ගොඩ නැගී තිබුනේ පෘථීවිය සහ අපායට ගමන් කළ හැකි භූත විශේෂඥයෙතු සහ ඔහුට මුණ ගැසෙන පොලිස් නිලධාරිනියක වටායි. පොලිස් නිලධාරිනියගේ ප්‍රශ්නයක් සඳහා උපකාරයට පැමිණෙන ඔහුට එම සිද්ධි දාමය නිසා නොසිතූ ප්‍රශ්නයකට මුහුණ දීමටයි අවසානයේදී සිදුවන්නේ. Keanu Reeves මෙහි නිරූපණය කළේ John Constantine නැමැති එම ප්‍රධාන චරිතයයි.

තිරගත වූ කාල සීමාවේදී එතරම් ප්‍රේක්ෂක අවධානයට ලක් නොවුනත්, 2010න් පසු අවධියේදී මෙය යළිත් සිනමා රසිකයින්ගේ කතාබහට ලක් වන්නට පටන් ගත්තේ එක්වරමයි. එනිසා, නැවත වතාවක් ලෝ පුරාම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට Constantine චිත්‍රපටයට හැකියාව ලැබුනා. එම ජනප්‍රියත්වයත් සමඟින්, මෙම සිනමා නිර්මාණය වටා යම් තාක් දුරකට Cult Following ආකර්ෂණයකුත් ඇති වූ බවයි විචාරකයින් පවා සඳහන් කරන්නේ.
මෙම දැවැන්ත ජනප්‍රියත්වයෙන් පසු Constantine සිනමාපටය සඳහා දෙවන දිගහැරුමක් නිෂ්පාදනය කරන ලෙස ඉල්ලා රසිකයින් බොහෝ දෙනෙකු Warner Bros. ආයතනයෙන් ඉල්ලීම් කළ අතර ඇතැම් අවස්ථාවන් හිදී Warner Bros අධ්‍යක්ෂක මණ්ඩලය තුළ මෙම දෙවන දිගහැරුමක් ගැන සාකච්ඡා ඇති වුනු බවට පවා හොලිවුඩ් මාධ්‍ය වාර්තා කළා.

මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Francis Lawrance විසින් Constantine සීක්වල් චිත්‍රපටයක් ගැන ඔහුගේ පළමු නිවේදනය නිකුත් කරන්නේ මෙයින් පසුවයි. ඒ 2011 වසරේ මුල භාගයේදීයි. තම නිර්මාණය තිරගත වී වසර ගණනකට පසුව හෝ මෙවැනි දැවැන්ත ජනප්‍රියත්වයක් ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත්, Constantine දෙවන චිත්‍රපටයක් නිර්මාණය වුවහොත් එය පළමු චිත්‍රපටයට පවා අතිශයින් Dark සහ Scary වනු ඇති බවටත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
නමුත් Warner Bros. ආයතනයෙන් දෙවන චිත්‍රපටයක් නිෂ්පාදනයට සූදානම් වන බවක් ඔහු එහිදී පැවසූයේ නැහැ.

නමුත් 2012දී Guillermo del Toro විසින් “John Constantine” ඇතුළු තවත් DC සිනමා විශ්වයේ චරිත කිහිපයක් ඇතුළත් කොට Justice League Dark චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුම් කළත්, එම ව්‍යාපෘතියත් අතරමඟ නතර වුනා. නමුත් 2017 වසරේදී නිකුත් වූ Justice League Dark ඇනිමේෂන් චිත්‍රපටය තුළ “John Constantine” ගේ චරිතයත් දැකගත හැකි වුනා.
2019 වසරේදී මේ චිත්‍රපටය ගැන නැවතත් රසිකයින්ගේ අවධානය යොමු වුනේ රංගන ශිල්පී Keanu Reeves විසින් “Constantine චරිතය නැවත නිරූපණය කිරීමට තමන් අතිශය කැමැත්තෙන් සිටින බව” පැවසීමත් සමඟයි.
ඔහු මේ බව පැවසූයේ, Constantine දෙවන චිත්‍රපටයක් පිළිබඳව නැවත සැලසුම් කරමින් සිටින නිසා බවයි ඇතැම් රසිකයින් විශ්වාස කළේ. ඊට වසරකට පසුව 2020දී Constantine දෙවන චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹීමට සූදානම් යැයි පළමු වරට මාධ්‍යයට අණාවරණය වුනා. නමුත් එතැන් සිට 2022 වනතෙක්ම එහි වෙනත් කිසිදු විස්තරයක් යාවත්කාලීන වූයේ නැහැ.

නමුත් පසුගිය මාසයේදී Constantine 2 හි අධ්‍යක්ෂකවරයා සහ එහි සෙසු ශිල්පීන් ගැන නිල නිවේදනයක් නිකුත් කළේ එහි නිෂ්පාදන ආයතනය විසින්මයි. ඒ අනුව පළමු චිත්‍රපටයේ ජෝන් කන්ස්ටන්ටයින්ගේ චරිතයට පණ පෙවූ හොලිවුඩ් නලු Keanu Reevesව නැවතත් මෙම Sequel නිර්මාණය හරහා රසිකයින්ට දැකගත හැකියි.

එමෙන්ම මෙම දෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණයට ගිවිසුම්ගත වී තිබෙන්නේත් මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Francis Lawrence විසින්මයි. Hunger Games චිත්‍රපට මාලාවේ නිර්මාණකරු වන ඔහු I am Legend සහ Red Sparrow වැනි ජනප්‍රිය චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා ද වනවා.
Constantine 2 සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට ගිවිසුම්ගත වුනත් ඔහුට එහි රූගත කිරීම් ඇරඹීමට සිදු වන්නේ එළඹෙන වසර මැද භාගයේදී යි. ඊට හේතුව වන්නේ Francis Lawrence මේ දිනවල සිය හතරවන Hunger Games චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී සිටින නිසායි. The Hunger Games: The Ballad of Songbirds and Snakes යනුවෙන් නම් කොට තිබෙන එම සිනමාපටයේ රූගත කිරීම් පසුගිය ජුනි මාසයේදී ඇරඹුනු අතර මේ වනවිට යුරෝපයේ ප්‍රදේශ කිහිපයකම දර්ශන තල ඊට යොදාගෙන තිබෙනවා.

පළමු Constantine සිනමාපටයේ තිර පිටපත රචනා කළ Kevin Brodbin මෙම සිනමාපටයට සම්බන්ධ නොවන අතර මෙහි තිර පිටපත රචනා කරන්නේ ඇකඩමි සම්මානලාභී රචකයෙකු වන Akiva Goldsman විසිනුයි. තිර පිටපත රචනයට අමතරව මෙහි නිෂ්පාදනය සඳහාත් ඔහු එකතු වනවා. Constantine (2005)ට පසු Francis Lawrence අධ්‍යක්ෂණය කළ I am Legend චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද ඔහු විසිනි.

Keanu Reeves අවසාන වතාවට රඟපෑ The Matrix: Resurrections සිනමාපටය ද බලපාරොත්තු වූ තරම් ජනප්‍රියත්වයක් හිමි කර නොගත් නිසා බොහෝ රසිකයින්ගේ අවධානය මීට යොමුව තිබෙනවා. කියානුගේ රංගන ජීවිතයේ iconicම චරිතය වන “Neo” වටා ගෙතෙන The Matrix චිත්‍රපට මාලාවේ සිව්වන චිත්‍රපටය වූ එය නිකුත් වන තෙක් බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් සිටියත්, කිසිවෙකුත් නොසිතූ පරිදි එය අතිශය අසාර්ථකත්වයට පත් වුනේ The Matrix චිත්‍රපට මාලාවේ ඍණාත්මකම ප්‍රතිචාර ලබා ගත් සිනමාපටය බවට පත්වෙමිනුයි.

ඊට අමතරව එළඹෙන 2023 මාර්තු මාසයේදී Keanu රඟපෑ John Wick 04 සිනමා නිර්මාණයත් ලෝ පුරා තිරගත වීමට නියමිතයි.

Share

51 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.