වැඩිපුර ආගම අදහන්නෝ භයානකයි – John Abraham

Avatar Nisanka Weheraduwa | January 7, 2020 475 Views 0 Likes 0 Ratings

475 Views 0 Ratings Rate it

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන John Abraham විසින් කළ ප්‍රකාශයක් ලොවපුරා විවිධ මතිමතාන්තර සමග ගැටෙමින් ප්‍රචාරණය වෙමින් තිබෙනවා. Abraham John සහ Firoza Irani දෙමව්පියන්ට දාව උපත ලැබූ තමන්ට කිසිදු ආගමක් ඇදහීම සඳහා බලකිරීමක් නොවූ බවත්, තමන් සිව් හැවිරිදි වියේදී සිය පියා තමා කැමති ඕනෑම ආගමක් අදහන ලෙස තමන්ට පැවසූ බවත් සඳහන් කොට තිබෙනවා. “ඔබට ඕනෑම ආගමක් ඇදහීමට සහ පන්සලකට, දේවස්ථානයකට හෝ ගුරුද්වාර ආයතනයකට යෑමට නිදහස තිබෙනවා, නමුත් සැබවින්ම ඔබට දෙවියන්ට සමීප වීමට අවශ්‍ය නම් මිනිසුන්ට සේවය කරන්නැයි මගේ පියා මට පැවසුවා” යැයි ජෝන් ඒබ්‍රහම් ප්‍රකාශ කළා. “කර්ම සූත්‍ර” ග්‍රන්ථයේ බ්‍රේල් පිටපත එළිදක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“ඔබට හොඳ මිනිසකු වීමට අවශ්‍ය නම් ඔබ නිතරම ආගමික ස්ථාන වලට යායුතු වන්නේ නැහැ, හොඳ පුද්ගලයකු වීමට අවශ්‍ය වන්නේ හොඳ දේවල් කිරීම පමණයි. වඩා වැඩිපුර ආගම අදහන පුද්ගලයින් වඩාත් බිහිසුණු පුද්ගලයින් කියලයි මගේ අදහස, මම මේ කියන දේ වරදවා තේරුම් ගන්නවත්, කෙනෙකුට අගෞරවයක් ලෙස සලකන්න වත් අවශ්‍ය නැහැ, නමුත් මම දන්නා ඇත්ත මේකයි. ආගමින් ඈත් වී සිටීමත්, ආගමේ එන මගපෙන්වීම් නිසි පරිදි ප්‍රායෝගිකව අනුගමනය කිරීමත් තමයි වඩාත් වැදගත්ම කාරණය. ආගමික මගපෙන්වීම් අනුගමනය කිරීමට අමතරව සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් යහපත ඉටු කිරීම තමයි වඩාත්ම වටින්නේ” යැයි ඉන්දීය නළු ජෝන් ඒබ්‍රහම් වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ගේ ජාතික සම්මේලනය මගින් සංවිධාන කොට තිබූ මෙම වැඩසටහනට ජෝන් ඒබ්‍රහම් ආරාධිතයකු ලෙස සම්බන්ධ වී සිටියා. ඔහු එම සම්මේලනය සමග දශකයක කාලයක් තිස්සේ විවිධ කටයුතු වලට සම්බන්ධ වෙමින් සිටිනවා. වැඩසටහනේ සිය අදහස් දැක්වීම අතරතුර ජෝන් ඒබ්‍රහම් මෙලෙසද ප්‍රකාශ කළා.

“දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ ඉදිරිගමන ඉන්දියාව තුළ එතරම්ම සුබවාදී නැහැ, මේකට ප්‍රධානම හේතුව ඔවුන්ට යටිතල පහසුකම් ලබාගැනීමට ඇති අපහසුතාවය විය හැකියි. බොහෝ යුරෝපිය රටවල් සහ ඇමරිකාවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් වගේම සතුන් වෙනුවෙනුත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. නමුත් අපේ රටේදී එවන් පුද්ගලයින් නොසලකා හැරීමත් සතුන්ට ගල් ගැසීමත් සිදුවනවා. අපි ඔවුන් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. මේක හරිම කණගාටුදායක තත්වයක්. අපේ රටට කරුණාවන්ත මිනිස්සු වැඩි වැඩියෙන් අවශ්‍යවන කාලයක් මේක. මිනිස්සුන්ට විතරක් නෙමෙයි, සතුන්ටත් කාරුණිකව සලකන මිනිස්සු අපිට අත්‍යවශ්‍යයි. යටිතල පහසුකම් අතින් ගත්තත්, අපේ රටේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇති පහසුකම් ප්‍රමාණවත් නැහැ. අපි ඔවුන් වෙනුවෙන් සූදානම් වුනු රටක් නෙමෙයි. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු වඩා පහසුවෙන් කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි වැඩියෙන් ලබාදීමට අපි හැමදෙනාම සිතට ගත යුතුයි. පොදු ප්‍රවාහන සේවයේදී වගේම අනිකුත් පොදු සේවාවන්හිදී ඔවුන්ට පහසුකම් සැළකීමට අපි තවම සමත් නැහැ. අපේ ජීවිත කාලය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මීට වඩා පහසුවෙන් ජිවත් වනවා දැකීම අපි හැමෝගෙම අපේක්ෂාව විය යුතුයි”

Copied from : news18.com

Share

475 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.