Sri Lanka's Best Cinema Portal

 

විප්ලවීය තේමාවක් සිනමාවට ගෙනා “පුරම්පෝක්කු” – අනුෂා සිවලිංගම්

0
Posted October 16, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
anusha

උපුටා ගැනීමකි.

සටහන : අනුෂා සිවලිංගම්

**********************************************************

දෙමළ සිනමාවේ සමාජ විප්ලවීය තේමා අන්තර්ගත වීම තරමක් අඩු බව කියන්න පුළුවන්. බොහෝ වෙලාවට එවැනි සමාජ විප්ලවීය තේමා අන්තර්ගත කරමින් නිෂ්පාදනය වන චිත්‍රපට එකී අදහස කොතරම් දුරට ජනතාව වෙත නිවැරදිව ගෙන යන්නේද කියන එක ප්‍රශ්නයක්. නිර්මාණ තුළ කුමන ම හෝ දේශපාලනයක් අන්තර්ගතයි. චිත්‍රපට ද එසේය. චිත්‍රපට තුළ කුමන හෝ මතවාදයක් අන්තර්ගත දේශපාලනයක් ඇතුළත් වෙනවා. එය තිරපිටපත මත හෝ අධ්‍යක්ෂවරයාගේ කෝණයෙන් ඉදිරිපත් වන දෙයක්.

ඒ චිත්‍රපටයේ මතවාදය නිසි ලෙස ජනතාවට ලබා දෙන්න නොහැකි නම් ඒ මත රැදී ප්‍රේක්ෂකයින්ටත් විවිධ දේශපාලන අර්ථකතන ලබා දෙන්න පුළුවන්. ඔහු එහෙම වෙනවා.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක, එස්. පී. ජනනාදන්

“ඕනෑම චිත්‍රපටියක දේශපාලන තියනවා. මම මගේ චිත්‍රපට වල කතා කරන්නෙ මගේ දේශපාලනය ගැන. ඒ වාමාංශික දේශපාලනය. ඒ තමයි මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වූ දේශපාලනය.”

වාණිජ චිත්‍රපට වැඩි වශයෙන් දකුණු ඉන්දියාවේ බිහි වෙනවා. ඒවා ජනතාව නැතිනම් ප්‍රේක්ෂකාගාරය කේන්ද්‍ර කර ගත් චිත්‍රපට. ඒ තුළ සමාජ ප්‍රශ්නත් වැඩි වශයෙන් කතා කරනවා. වාණිජ චිත්‍රපට බිහි වීම වැරදි කියා කියන්න බැහැ. එහෙත් වමේ දේශපාලනය කේන්ද්‍රකරගනිමින් චිත්‍රපට දකුණු ඉන්දියාවේ බිහි වනවා ඉතා අඩුයි. ඒ අඩු කොටසට එකතු වෙනවා 2015 දී චිත්‍රපටයක්. ඒ “පුරම්පෝක්කු”. චිත්‍රපටියට සංගීතය ලබා දී තිබෙන්නේ ශ්‍රී කාන්ත් දේවා. පසු බිම් සංගීතය වඩාත් සුදුසු ලෙස යොදා ගෙන තිබෙනවා.

මේ චිත්‍රපටයේ ආරම්භය ලංකාවට ගොඩක් සමීපයි.

කතාව ආරම්භ වෙන්නෙ මෙහෙම. සංවර්ධිත ධනේශ්වර රටවල් විසින් ඔහුන්ගේ රටේ කුණු ඉන්දියාවට ගෙනවිත් දානවා. කුණු ප්‍රශ්නයට පිළියම එක් තැනක තිබෙන කුණු කන්දරාවක් තවත් තැනකට දමා පෙර තැන්හි තිබු ගැටළු විසදීම නොවන බව ඉන්දියානුවන්ටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් නොදන්නවා වෙන්න බැහැ. මේක හරියටම කිව්වොත් කොළඹ කුණු වෙනත් දිස්ත්‍රික්ක වලට දමන්න යැයි කොලොම්තොටේ ප්‍රජාව කියන වගේ දෙයක්. ඒ කියන්නෙ කුණු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව මුළු ලෝකයාම සිතන මට්ටම ඉතා බාලයි.

මේ ප්‍රශ්නයෙන් ආරම්භ වන චිත්‍රපටය පසුව වෙන වෙන කතන්දර ගොඩක් කියනවා.

මෙවැන් අසාධාරණයන්ට එරෙහිව කටයුතු කරන කණ්ඩායමක් ඉන්දීය රාජ්‍ය හඳුන්වන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස. චිත්‍රපටිය චරිත මගින් ආරම්භ වෙන්නෙ මේ කණ්ඩායමේ කෙනෙකු වන ආර්යා ව අත්අඩංගුවට ගැනීමෙන්. ආර්යා ඉන්දීය රජයට අනුව, කොමියුනිට්ස් ත්‍රස්තවාදියෙක්, නැතිනම් යුධ අපරාධකරුවෙක්. අත්අඩංගුවට ගන්නෙ ඉන්දීය රාජ්‍ය. අධිකරණය විසින් කියන සියළු චෝදනා ආර්යා චෝදනා ලෙස දකින්නේ නැති බවත්, ඔහුව යුධ අපරාධකරුවකු ලෙස වෙඩිතබා මරන්න යැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන සාකච්ජා කිහිපයක්ම සිදු වෙනවා. එක් රූපවාහිනී නාලිකාවක් මේ මරණ දණ්ඩනය ගැන සාකච්ජා කරනවා. රාජ්‍ය මතවාදය ස්ථාපිත කරන විද්වතෙකු පවසන්නේ වැරදි වලට දඬුවම් ලබා දිය යුතු බවත්, ඉන්දීය රජය වෙඩිතබා මැරීම අනුමත නොකළ බවත් සහ, සාමාන්‍ය ලෙස එල්ලුම් ගසට යවා මරණ දණ්ඩනය දිය යුතු බව සාමකාමී දෙයක් ලෙස දකින බවත්ය. විරුද්ධ අදහසක් එක් කරන විද්වතෙක් අහනවා “ මරණ දඬුවමක් සාමකාමී පියවරක් ලෙස කියන්නෙ කොහොමද? කියා. ඔහුට අ මරණ දණ්ඩනය යනු රාජ්‍ය උපක්‍රමශීලීව සිදු කරන මිනීමැරුමක්.

ආර්යාව එක්කරගෙන එනවා සිරකඳවුර වෙතට. ඒ අතර ආර්යාට මරණ දණ්ඩනය ලබා දෙන්න යැයි උද්ඝෝෂණයක්. පොලිස් නිලධාරියා අසනවා “ඔයා ජනතාව වෙනුවෙන් සටන් කරනවා කියල කියනවා. ඒත් ඒ ජනතාවම ඔයාව එල්ලුම් ගහට යවන්න කියලා මේ අරගල කරන්නෙ?”. “ඔයා මේ බලන මිනිසුන් විතරක් නෙමෙයි ඉන්දීය ජනතාව යැයි ආර්යා ඊට පිළිතුරු දෙනවා.

ඉන්දීය රාජ්‍ය තීරණය කරනවා කෙසේ හෝ මේ පුද්ගලයාට එල්ලුම් ගහ නියම කරන්න ඕන කියල. එහෙත් රහසිගතව. මේ රහසිගත මරණය නියම කර එම කාර්ය රහසිගතව සිදු කිරීමට භාර දෙන්නෙ ජෙෂ්ට පොලිස් නිලධාරී ෂාම් ට. ඔහුගේ අරමුණ වෙන්නෙ කෙසේ හෝ මේ පුද්ගලයාව එල්ලුම් ගහට යවන්න. ඒත් ඒ ශාම්ගේ තීරණයක් නෙමෙයි. මේ කාර්ය සිදු කිරීමට අලුගෝසුවන් කිහිපදෙනෙක් සිටියත් ශාම්ට අවශ්‍ය වෙනවා වෙන පුද්ගලයෙක්. මොකද මෙය රහසිගත එල්ලුම් ගස් යැවීමක් වන නිසා. ෂාම් සොයාගෙන යනවා අපූරු පුද්ගලයෙක් ව. ඔහු තමයි විජේ සේදුපදී.
මෙතැන් ඉද, කතාව තුළ තව තවත් කතන්දර ගොඩක්.

සේදුපදී, ඔහු සෑම වේලාවකම ඉන්නෙ රේල් පාරක් ළඟ. පුදුම විදියට මත්ද්‍රව්‍ය භාවිත කරනවා. විජේ සේදුපදීගේ පියාගේ රැකියාව වෙලා තිබුණේ මේ අළුගෝසු රැකියාව.පියාගේ අවෑමෙන් පසුව එය පුතාට සිදු කිරීමට භාර වෙනවා. එහෙත් කිසිම සම්බන්ධයක් නොමැතිව කෙනෙක් ව මරා දැමීමේ රැකියාව කරන්න ඔහු කැමති නැහැ. ඔව්. ඔහු ඒ රැකියාව කරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නෙ අඟුරු අහිදීම වගේ වෙන වෙන රැකියාවල්. මේ අලුගෝසුවාගේ චරිතය හෝ රැකියාව ගැන ටිකක් කල්පනා කළොත්, අසාධාරණයක් වෙනුවෙන් නැතිනම් කුමන හෝ සම්බන්ධතාවක් වෙනුවෙන් එය ඇතැම් විට මුදල් ගනුදෙනුවක්, තරහක්, නැතිනම් වෙලාවකට ආදරයක් මත හෝ මිණී මැරුම් සිදු කරනවා අපි අසා තියනවා. මේ මිනීමැරුම් කරන පුද්ගලයින් සහ මරණයට පටන් වන පුද්ගලයින් අතර කුමනම හෝ සම්බන්ධයක් තියනවා. සම්බන්ධයක් තිබෙන්න ඕන. එහෙත් කිසිඳු සම්බන්ධයක් නොමැතිව කෙනෙක්ව සිය අතින් මරා දමන අලුගෝසුවාගේ රැකියාවත් එසේම චරිතයත් හා බැඳුණු මිනිස් සංකීර්ණ සම්බන්ධය ඉතා ගැඹුරු සහ වෙනස් එකක්. මෙවැන් මරණ රැකියාවක් වෙනුවෙන් සිදු කරන විට ඇතිවන මානසික වේදනාව නැතිනම් එම මනෝභාවමය සංකීර්ණතාව පහසුවෙන් සිතිය හැකි දෙයක් නොවෙයි.
සේදුපදීගේ පියාද මෙම රැකියාව අතර මැදදී අත්හල පුද්ගලයෙක්. සේදුපදී අතින් නිරපරාධී පුද්ගලයෙක් එල්ලුම් ගසට යනවා. එය දරාගත නොහැකිව ඔහු රැකියාවෙන් පිටමං වෙනවා. ඔහු වරක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අයදුම්පතක් දමනවා. ඔහු ඒ ගැන කියන්නෙ මෙහෙම.

“මගේ අතින් හොඳ මනුස්සයෙක් මැරුණා. මට ඒක දරාගන්න බැරිව මං ඔහේ බීගෙන අතන මෙතන වැටිලා හිටියා. මං අදුරන කෙනෙක් ඇවිල්ල කිව්වා ජනාධිපති කෙනෙක් වුණොත් ඔයා ඔයාට එන “කරුනෛ මනු” (මරණ දඬුවම් සඳහා ජනාධිපති සමාව ඉල්ලුම් කරන අයදුම්පත්) ඔක්කොටම ඔයාට සමාව දීලා ඔවුන්ව නිදහස් කරන්න පුළුවන් කියල. එකයි මං ඉල්ලුම් කළේ”

එහෙත් ෂාම් සොයාගෙන එන්නේ සේදුපදී ව. ඔහු විවිධ කාරණා කියා සේදුපදිව මෙම රහසිගත එල්ලුම් ගස යැවීමට කැමති කර ගන්නවා. මේ අතරතුර ආර්යාගේ කණ්ඩායමේ කාර්තිකා ආර්යාව බේරා ගැනීමට සේදුපදිගෙන් උදව් ඉල්ලනවා. නැහැ. ශාම්ට වැරදුණා. සේදුපදී ශාම්ගේ ඉල්ලීම පිළිගන්නේ ආර්යාව බේරා ගැනීමට. ඒ සඳහා වන එකම මාර්ගය ඔහු බව ඔහු විශ්වාස කරනවා.

කතාව ගලායන්නේ ආර්යාව බේරා ගැනීමට දරන උත්සාහය සහ බේරා ගැනීමට උත්සාහ කරන බව ශාම්ට නොතේරීමට කටයුතු කිරීම මගින්. මේ චිත්‍රපටය තුළ අන්තර්ගත භාෂාව තරමක් වාමාංශික දෙබස් වලින් අඩංගු වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන වෙන්නෙ කතාව. ප්‍රසිද්ධ චරිත තුනක් ම යොදා ගෙන තිබුණත්, ඒ චරිත මත ආකර්ෂණයක් ඇති නොවන ලෙස ත්, කතාව ප්‍රධාන ලෙස දැනෙන ලෙසත් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. සිර ගෙදරක් හා දේශපාලන සිරකරුවන් පිළිබඳවත් හා අනෙකුත් සිරකරුවන් පිළිබඳවත් ඉතා ගැඹුරු ලෙස අන්තර්ගත වන කතාවක් ඇතුළත් චිත්‍රපටයක් එතෙක් දෙමළ සිනමාව තුළ තිබුණේ නැහැ. විශේෂයෙන් සිරකඳවුරක ජීවත් වන මිනිසුන්ගේ ජීවිකාව පිලිබඳ විශාල තොරතුරු ගොන්නක් මේ චිත්‍රපටිය තුළින් ලබා දෙනවා.
දකුණු ඉන්දියාවේ චිත්‍රපටියක් බලලා සිනමා ශාලාවෙන් එළියට පැමිණෙන සාමාන්‍ය ප්‍රේක්ෂකයාගෙන් චිත්‍රපටිය පිළිබඳව අදහස් ඇසීම ඒවා රූපවාහිනී නාලිකා වල තිරගත කිරීම සාමාන්‍යයෙන් වන දෙයක්. වචනයකින් හෝ වචන දෙක තුනකින් සිය අදහස පරාශ කිරීම තමයි දැකගන්න පුළුවන් වෙන්නෙ. එලෙස වූ වැඩසටහනක දී පුද්ගලයෙක් කියනවා, “හිරගෙදරක ජීවත් වුණා වගේ දැනුණා ෆිල්ම් එක බලද්දී” කියා.

සිරකඳවුර තුළ මරණ දණ්ඩනය නියම වුණු කිහිපදෙනෙක් ආර්යා සමඟ කතා කරමින් ඉන්නවා. ඔවුන් කතා කරන්නෙ මරණ දණ්ඩනය ලබා ඇදෙන විවිධ ක්‍රම ගැන. ඒ අතර එල්ලුම් ගස, විදුලි පුටුව, විෂ එන්නත් වැනි ක්‍රම ගැන කතා වෙනවා. මේ අතර වැරැද්දකට පෑනක් නොදැන අරන් දුන්න යැයි කියා තරුණයෙකුට මරණ දණ්ඩනය නියම වී සිටිනවා. ඔහු අසනවා ඉක්මනින් මැරිලා යන්නන පුළුවන් නේද විදුලි පුටුවෙන් කියා. ආර්යා කියනවා ඒක එතරම් ලේසි නැහැ. තෝමස් අල්වා එඩිසන් මේ ක්‍රමය සොයා ගන්න කාලෙදීම මේ ක්‍රමය ෆේල් වුණා කියල. ඒ තරුණයා අසනවා මෙහෙම, කවුද අර බල්බ් එක සොයා ගත්ත කෙනාද මිනිස්සු මරන්න මේ ක්‍රමයත් සොයා ගත්තේ? කියල. මිනිසුන්ගේ ජීවිතයට ආලෝකය සොයා ගැනීම සහ ඒ ආලෝකය නිවා දැමීමේ දේශපාලනය මෙයින් අපූරුවට හඳුනාගන්න පුළුවන්. ආර්යා කියනවා කිසිම සොයා ගැනීමක් මිනිසුන් වෙනුවෙන් කරන්නෙ නැහැ. ඒවා මුදල් මත සහ ආර්ථිකය මත කරන සොයා ගැනීම් කියල.

එක් පුද්ගලයෙකුව නිරපරධී කියා නිදහස් කරනවා. ඔහු චෝදනා ලබා සිරගත වන්නෙ අපචාර නඩුවකට. ඔහු මෙසේ කියනවා. මාව ස්ත්‍රී දූෂණ අපරාධයක් කළා යැයි චෝදනා කර හිරේට දැම්මා. මං කිසිම දෙයක් කළේ නැහැ. ඒ අවමානය දරා ගන්න බැරිව මගේ දුවයි, බිරිදයි සියදිවි නසා ගත්තා. දැන් මාව නිර්දෝසයි කියා නිදහස් කරනවා. මේ නිදහස මට මොකටද?”

මේ අතර මිනිසුන් එකා දෙන්නා මිය යනවා. ඔවුන් මරණ දණ්ඩනය නිසා නෙමෙයි මිය යන්නේ.මෙතැන සිදු වන දේශපාලනය ගැන කිව යුතු නැහැ.

මෙම පුරම්පෝක්කු චිත්‍රපටය හුදෙක් වාමාංශික දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව, සාමාන්‍ය මිනිස් ජීවිත තුළ මුණගැහෙන සිරකරුවන් හා සිරකඳවුරු දේශපාලනය ගැන කියන අපූරු සිනමා නිර්මානයක් ලෙස හැදින්විය හැකිය. මෙතෙක් ලෝක සිනමාව තුළ කතා කළ සිරකරුවන්ගේ ප්‍රශ්න එහෙත් එහි ගැඹුරු දේශපාලනය ගැන කතා නොකළ සිනමා කෘති අතර පුරම්පෝක්කු ඉතිහාසයට එකතු වන ඉතිහාසයකි.

අනුෂා සිවලිංගම්.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2