විප්ලවීය විජේවීර – ළඟදීම රිදී තිරයට පැමිණෙයි

Avatar Nisanka Weheraduwa | December 31, 2018 164 Views 0 Likes 0 Ratings

164 Views 0 Ratings Rate it

1977 නොවැම්බර් 24 වැනිදා මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන පිරිසකි. 71 තරුණ නැගිටීමට සම්බන්ධ බවට චෝදනා නගා අත්අඩංගුවට පත් මේ පිරිස වසර හයක් සිර දඬුවම් ලබා තිබිණි. පිටතට පැමිණි මේ තරුණ පිරිස යළි සුපුරුදු දේශපාලනික ක්‍රියාකාරකම් ඇරඹීමෙන් පසු මැතිවරණය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්විය. 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් චන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමට මේ තරුණ කණ්ඩායම සමත් විය. සමාජවාදය විශ්වාස කළ මේ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ රෝහණ විජේවීර නම් තරුණ විප්ලවවාදියාය.

1983 මැයි රැළියේදී දැක්වූ සංවිධානාත්මක බව සහ ඔවුන් කෙරෙහි වූ ජනතා ආකර්ෂණය හමුවේ දක්ෂිනාෂික දේශපාලනික ව්‍යාපාර කලබලයට පත්වූ බවක් පෙනෙන්නට තිබිණ. කෙසේ නමුත් උතුරේ 1983 සිට හටගත් ජාතිවාදී ගැටුම් වලට මේ තරුණ විප්ලවවාදීන් සම්බන්ධ බව නිවේදනය කළ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් සන්විධායනක් බවට දැනුම් දෙන්නේ ඔවුන්ගේ දේශපාලනික ගමන අඩපණ කිරීමේ අරමුණිනි. නමුත් පසුබා යන විජේවීර ඇතුළු පිරිස රහසිගතව සැඟවී සිටිමින් සිය දේශපාලනික කටයුතු දිගින් දිගටම කරගෙන යනු ලැබිණි. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග ඉන් කුපිත වන තරුණ විප්ලවවාදීන් සන්නද්ධ අරගලයකට අවතීර්ණ වන්නේ කෙසේහෝ සටන ජයගැනීමේ අභිලාෂයෙන් වුවත්, බිඳවැටීම් පරාජයවීම් පසුබැසීම් සහ පාවාදීම් හමුවේ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නොලැබේ. අවසානයේ රෝහණ විජේවීර අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්වේ.

IMG_6829 IMG_4645 IMG_3953 IMG_6108 IMG_6256 IMG_5832 IMG_4860ඉතිහාසයේ අඳුරු කාල වකවානුවක් නියෝජනය කරන මෙම දේශපාලනික අර්බුධය සහ විජේවීර ඇතුළු විප්ලවීය තරුණයන්ගේ ජිවිත කතාව ඇසුරින් මෙරට සිනමාවට එන අලුත්ම සිනමාපටය ළඟදීම තිරගත කිරීමට දැන් සියල්ල සුදානම්ය. අනුරුද්ධ ජයසිංහ සම්මානනීය සිනමාවේදියාගේ අධ්‍යක්ෂණයක් ලෙස නිර්මාණය වුනු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය චමත්කා පීරිස් නිෂ්පාදනය කොට තිබේ. රෝහණ විජේවීර ලෙස කමල් අද්දරආරච්චි, චිත්‍රාංගනී විජේවීර ලෙස සුලෝචනා වීරසිංහ, ගමනායක ලෙස ජගත් මනුවර්ණ, ලයියා ලෙස ප්‍රියන්ත සිරිකුමාර, සෝමවංශ අමරසිංහ ලෙස සුජීව ප්‍රියාල් යද්දෙහිගේ මෙහි චරිත නිරුපනයේ යෙදෙති.

අදාළ චරිත ඒ අයුරින් ජීවමාන කරවීමේ වගකීම දරමින් වේශ නිරූපණ කටයුතු නාරද තොටගමුව විසින් සිදුකොට ඇත. කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙනි. ආරියවංශ ධම්මගේ තිර රචනය සිදුකොට ඇති චිත්‍රපටය රවින්ද්‍ර ගුරුගේ අතින් සංස්කරණය වී තිබේ. දිල්හානි ඒකනායක, විශ්වජිත් ගුණසේකර, හර්ෂ තෙන්නකෝන්, දීපානි සිල්වා, ජෙහාන් අප්පුහාමි සුරාජ් මාපා, ප්‍රසන්නජිත් අබේසුරිය, තුසිත ලක්නාත්, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, හංසමාලා ජානකී ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකවී තිබේ.

මෙවර OSCAR සම්මාන උළෙලේ ප්‍රධාන තරග අංශයේ චිත්‍රපට අතරට එක්ව තරග වැදීමට ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය සුදුසුකම් ලබා තිබේ. එළඹෙන 18 වැනිදා සිට දිවයින පුරා රිද්මා සහ CEL මණ්ඩලයේ සිනමාහල් වලදී මෙම චිත්‍රපටය නැරඹීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ.

Share

164 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.