Sri Lanka's Best Cinema Portal

 

විශ්වාසයත් ආදරයත් අතර දෝලනය වූ අන්ධකාරයේ පුරාවෘත්තය

0
Posted August 13, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
2

සටහන : තාරුක පෙරේරා

****************************************************

ජයන්ත චන්ද්‍රසිරි නව්‍ය සිනමා ආමන්ත්‍රණය, “ඝරසරප” නැරඹුවෙමි. ආදරයත් විශ්වාසයත් ඒකාබද්ධ නොවූ තැන ජය ලබන මිත්‍යාවේ පුරාවෘත්තය සිනමාත්මකව සමාජගත කිරීමෙහිලා සමර්ථ වූ මෙම සිනමා කෘතිය කාලීනව මෙන්ම නිර්මාණ අගයෙන් ද ඉතා වටිනේය. “ඝර” යන සංස්කෘත වචනය ගෙය යන්න අර්ථවත් කරන අතර ගෙට ඇතුළුවන සර්පයා මෙහි වාච්‍යාර්ථයයි. හෘදය නැමැති ගෙය ආදරය, විශ්වාසය ආදී දෙයින් හිස්වූ තැන එම ගෙට ඇතුළුවන අදෘශ්‍යමාන ජීව ප්‍රතිරූපකයා ඉන් මත්තට එකී ගෙයි ඇතිකරන ව්‍යසන මෙම සිනමා කාව්‍ය මත හරි අපුරුවට කතා කර තිබිණි. “සදරැස්” – “විද්‍යා” ප්‍රේම වෘතාන්තය සහ කළු මහත්තයා නැතිනම් කළු කුමාරයාගේ මනෝ ආක්‍රමණය මෙහි කතාවේ හරය ලෙස පෙන්වාදිය හැකිය. සිනමාපටයේ කතාව කුමක්දැයි දැනගැනීම ප්‍රේක්ෂකයා සතු කර්තව්‍යයක් බැවින් කතාව නොලියන අතර මෙහි මා දුටු හොද නරක සහ ඇගයුම් ගැරහුම් මෙතැන් පටන් සටහන් කරමි.

ප්‍රථමයෙන් සිනමාපටයේ රංගකාරික පිරිවරේ කාර්‍යසාඵල්‍යය වෙන වෙනම විමසීම සුදුසුය. දෙව්නක පෝරගේ මෙහිලා කැපීපෙනෙන සදරැස්ගේ තරුණ අවදියේ චරිතය රංගනය කරන තරුණ රංගන ශිල්පියාය. ඔහු  රූපවාහිනිය සේවනය කළ රසික අපට ආගන්තුක නැත. ලිපිය ලියන මගේ සමකාලීන ළමා නළුවෙකු ලෙසින් මා බාල වියේ රංගනයට ප්‍රවිශ්ට වූ දෙව්නක පිළිබද අප තැබූ විශ්වාසයත් සමග ඔහු ද උස් මහත් වී යොවුන් සිනමා රංගනයක නියැළීම පුද්ගලිකව මා අත්විදි සතුටකි. ඔහුගේ රංගනයන් කතාවේ චරිතය හා ස්වභාවිකව ගැළපුණේ, ආයසයක් දරා මවා ගතයුතු චරිතයක් ඔහුට හිමි නොවුණු බැවිනි. දෙව්නකට තිබුණේ තමාගේ නිසි වයස් නියෝජනයක තිරපිටපතට අනුව සදරැස් ගොඩනැංවීමය. එහිලා ඔහු සමතෙකු වූවේය. එතෙක් යොවුන් ගායිකාවක ලෙසත්, “අතුල-සමිතා” සත්සර සුසංයෝගයේ අනුප්‍රාප්තිකාව ලෙසත් අප හදුනාගෙන සිටි කාවින්ද්‍යා අධිකාරි සිනමාවරම් ලබනුයේ ද මෙහි විද්‍යාගේ තරුණ කල චරිතය හරහාය. කුළුදුල් සිනමා නිර්මාණය වුවත් කාවින්ද්‍යා සිය චරිතය තුළ රංගනයට ආධුනික බවක් නොදැක්වීය. දෙව්නක හා කාවින්ද්‍යා දෙපළම සිය චරිතයන් ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කරන්නට සමත් වූයේ කෙළිළොල් ප්‍රේමයක අහිංසක චමත්කාරය ද ගම්‍යමාන කරමිනි. ආධුනික වුවත් දෙදෙනා තුළම දුටු ප්‍රතිභාපූර්ණ පොදු ලක්ෂණයක් ප්‍රේක්ෂකාගාරයේ සිටි මා හට ග්‍රහණය කර ගැනීමට හැකිවිණි. එනම් ඔවුන් දෙදෙනා තුළින් වරින් වරම දුටු තත්පර ගණනක හැගීම් රහිත හිස් මුහුණුය. එය මෙසේ විස්තර කිරීම උචිතය. වර්ණාලිප්ත මල් බදුනකට මල් දමනවාට වඩා වර්ණ රහිත සුදු හෝ වීදුරු බදුනකට මල් දැමූකළ මල්වල සුන්දරත්වය දැකගැනීම පහසුය. එමෙන්ම හැගීම් නිරූපිත මුහුණකට වඩා හිස් මුහුණකින් ප්‍රේක්ෂක චින්තනය රිසි ලෙස හැසිරවිය හැකිය. ඔවුන් දෙදෙනා ඔවුනොවුන් දෙස බලන ප්‍රේමාන්විත මුහුණු ඔවුන්ගේ ප්‍රේමය පමණක් පෙන්වන අතර ඔවුනොවුන් හමුවන අතරමැද වන තත්පර ගණනේ නිරුවත් මුහුණු රසිකයාට සුදුසු හැගීම් ධාරාවක් චරිතයට ආරෝපණය කිරීමට අවකාශය සලස්වා දී ඇත. භාව ප්‍රකාශනයන්ගෙන් පොහොසත් චරිත නිරූපණය තුළ සුළු වශයෙන් භාවයෙන් හිස් මුහුණ තිරයේ ගෙනහැර දැක්වීමෙහි වරදක් නොමැති බව හැගේ. වයස අවුරුදු දහසය – දහඅට අතර කාල පරාසයේ හිරිමල් යෞවනයේ ආදරය චංචල බව අධ්‍යක්ෂවරයා නිර්මාණශීලිව කතාගත කර තිබුණි. සදරැස් සහ විද්‍යාගේ වැඩිහිටි අවදියන් නිරූපණය කරන කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න ද චිත්‍රපටය තුළ නිදහසේ උපරිම රංගනයක් වෙත ළගාවෙනු දක්නට ලැබිණි. චිත්‍රපටය පසසන මා දුටු චිත්තාකර්ෂණීයම අංගය චිත්‍රපටයේ චරිතවල පෙර පර සන්ධි එකිනෙකට හරි අපූරුවට ගැළපී තිබීමය. “දෙව්නක – කාවින්ද්‍යා” සහ “කමල් – සංගීතා” පුදුමාකරව එකට ගැළපුනි. කමල් අද්දරආරච්චි මෙහි කළ ආචාර්ය සදරැස්ගේ චරිතය පරිණත නමුදු නිදහස් සැහැල්ලු විනෝදකාමි සැමියෙකු තිරය මතට කැන්දාලීය. සංගීතා වීරරත්න කළ මනෝවෛද්‍ය විද්‍යාගේ චරිතය ද පරිණත මෙන්ම සුහදශීලි වෘත්තිමය ස්වරූපයක් නිරූපණයට සමත් විය. කතාවට අනුව සදරැස් සහ විද්‍යා යන දෙදෙනාම වෙන් වෙන් වශයෙන් විවාහක නමුත් ආධ්‍යාත්මිකව එකට බැදී වසර ගණනක් ශක්තිමත් දුරස්ථ හෘද බන්ධනයකට හිමිකම් කියන දෙදෙනෙක් වූ අතර කමල් – සංගීතා සංයෝජනය මෙකී බන්ධනය නිර්මාණශීලිව හා සිනමාත්මකව තිරය මත ස්ථාපනය කෙරීය. ඉන් මත්තේ චිත්‍රපට කථකයා වු කළු මහත්තයා ගැන කතා කරනුයේ නම් එය මනෝකාය සමග බැදී ඇති චරිතයකි. රංගධර ජැක්සන් ඇන්තනී කළු කුමාරයා ආරූඪ කරගත් අයුරු ප්‍රශංසා කටයුතු වේ. මන්ද වෙනදා අප ජැක්සන්ගෙන් දකින ප්‍රතාපවත් මුහුණ වෙනුවට තමා නිර්භය යැයි පෙන්වීමට හදන බියෙන් වෙළෙන අසරණවූ කළු කුමාරට ඔබින ලෙසින් වූ විලම්භීත මුහුණක් මෙහිදී දක්නට ලැබිණි. කළු කුමාරයා වඩ වඩාත් ගණුදෙණු කළේ තරුණ සදරැස් හෙවත් ගල් මූසලයා සමගින් ය. තොයිල් බිමේ ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදය සිත්ගන්නාසුළුය. ඒ කෙසේද යත් ; ප්‍රේමය හමුවේ වීරයෙකු වූ සදරැස් ද යටහත් පහත්ව කළු කුමාර ඇමතුමත්, තම ගොදුර සොදුර කරගත් සදරැස් වෙත අවුත් කාරුණික මෙන්ම විශ්වාසනීයව කළුකුමාර ඇමතුවමත් රසික අප මොහොතකට හෝ ඉවතට නොගත් ජවනිකාවක් වූ බව විශ්වාසය. සමස්තයක් ලෙස ජැක්සන්, කමල් හා සංගීතා සුපුරුදු භාව ප්‍රකාශන සහ රංග වින්‍යාසයන් අගතැන්පත් කරවීමෙහිලා මුවහත් කළ තවත් මනෝරම්‍ය රංගනයන් තුනක් “ඝරසරප” හරහා දක්නට ලැබුණි. එමෙන්ම හදුන්වාදුන් දෙව්නක හා කාවින්ද්‍යා හරහා ද මතු බලාපොරොත්තු තැබිය හැකි තරමේ සියුම් භාව නිරූපණයන්ගෙන් පොහොසත් රංගනයක් දක්නට ලැබිණි. මින් මත්තට හමුවන මීළග කැපීපෙනෙන චරිත ද්විත්වය දේවගැතිවරයා සහ ෆ්‍රැන්කිය. ශ්‍රියන්ත මෙන්ඩිස් දේවගැතිවරයා ලෙස කළ රංගනය නියමාකාර කිතුණු පූජකයෙකු තාත්ත්වික කළ බව හැගේ. එමෙන්ම සදරැස්ගේ බිරිද වූ ෆ්‍රැන්කී ද තරමක් තැකිය හැකි රංගනයක නියැළීය. ෆ්‍රැන්කී ලෙස චරිත මැවූ අමීෂා කාවින්දී ඊට පෙර තිරයට පැමිණියාට වඩා හාත්පසින්ම රසිකයා කැමති වන ආකාරයකින් ස්වකීය චරිතය ගෙනහැර දැක්වීය. මීට අමතරව රූපණයේ අතිවිශිෂ්ට භාව ප්‍රකාශයන් සහිත සිනමාපටයේ වූ චරිතය නිරූපණය කළේ ජයන්ත බෝදානන්දය. අදෘශ්‍යමාන මෙහෙයවීම් මත සිහියෙහි නොපිහිටා ක්‍රියාකරන මානසික ව්‍යාධිකයෙකු ලෙස අන්තෝනි නමින් චරිත මැවූ බෝදානන්ද චිත්‍රපටය තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් බව නොරහසකි. මීට අමතරව මානසික ව්‍යාකූලතා ඇති අදෘශ්‍යමාන වහලුන් ලෙස රංගනය කළ ජයතිස්ස අතුලසිරි, රජිත හිරාන් චාමිකර, නෝමන් පලිහවඩන, ගාමිණි ජයලත්, චතුර පෙරේරා, සංජීව දිසානායක, උපතිස්ස බාලසූරිය, චින්තක වාස් ඇතුළු පිරිවරද තම කාර්‍යෙහි උපරිමය වෙනුවෙන් කැපවී රංගනය කර තිබුණි. එම කැපවීම මත කතාවේ ගමනාගමනයට අවශ්‍ය රස පදමේ හාස්‍යයද යම් යම් තැන්වල රසිකයාට, චිත්‍රපටය ග්‍රහණය කරගැනීමේ වෙහෙස ඉවත්කිරීමට සමත් වුණි. මෙහි අවශේෂ චරිත කළ වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, සේනක ටයිටස්, අයිෂාරා අතුකෝරළ, මියුරි සමරසිංහ, සුගත් ජානක ආදීන්ටද චරිතාවබෝධයෙන් නිදහසේ රංගය මත ජීවත්වී හැසිරෙන්නට ජයන්ත චන්ද්‍රසිරි ඉඩහසර වෙන්කර දී තිබුණි. “ඝරසරප” සිනමාකර්ෂණීය නොවන්නේය යැයි කියන්නවුන්ට පිළිතුරු මෙසේය. “ඝරසරප” හි අතීත කතාව හෙවත් කතානායක දෙපළගේ තරුණ අවදිය තිරයට ගෙනෙන්නේ 1980 යන කාල නිර්ණය සමගින්‍ ය. ඊට අනුගතව අතීත කතාවේ බාහිර පරිසරය, ඇදුම් පැළදුම් ආදී සියල්ල මනාව ගැළපුණ බව විශ්වාසය. සමකාලීන ඇතැම් නිර්මාණවල මෙන් අසූව යුගය යැයි ලේබල් කර අද්‍යතන නිෂ්පාදිත සහිත කඩ තිරයට ගේමට තරම් “ඝරසර්ප” නොසැලකිලිමත්වී නැතිබව සතුටට කරුණකි. අධ්‍යක්ෂවරයාගේ මිත්‍ර සමාගම මෙහිලා ඔහුට සිය උපකාරය නිර්ලෝභීව පිරිනමා ඇත. ජයන්තගේ චිත්‍රපට රැසක මහා පොදු සාධක වූ ජැක්සන්, කමල්, සංගීතා, ශ්‍රියන්ත උක්ත ප්‍රස්තුතය සප්‍රමාණ කරන අතර ඌන පූර්ණය ලෙස ගරු රංගනයකින් යශෝධා විමලධර්මද මෙයට සිය රංගන දායකත්වය ආරාධිත ශිල්පිණියක ලෙසින් සපයා තිබිණි. ජයන්තගේ “සමනල සංධ්වනිය” හි ඉතා සුළු කොටසක ආරාධිත රංගනයක් ජැක්සන් කළා සේම “ඝරසරප” හි ආතුර යැයි අනුමාන කළ හැකි ලියකගේ චරිතයක් යශෝධා රංගනය කිරීම සිත්ගන්නාසුළුය. චිත්‍රපටයේ ආරම්භයේම එහි නර්තන අධ්‍යක්ෂණය පිළිබද මම පැහැදුණෙමි. මන්ද කළු කුමාර යැයි අප ගොඩනගා ඇති පුරාවෘත්තය පලුදු නොවන ලෙස අසරණ බව, භීතිය උපදවන සුළු බව ආදිය ගැබ්කොට ගෝත්‍රික නර්තන සම්ප්‍රදාය සිහිගන්වන වින්‍යාසගතව මෙහි ජැක්සන් ඇන්තනී කරන කළු කුමාර නර්තන ජවනිකාව ඉතා විචිත්‍රවත් ලෙස මෙහි නර්තන අධ්‍යක්ෂ ගයාන් ශ්‍රීමාල් සිදුකොට තිබිණි.වේශ නිරූපණය සහ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතය ද ඉහළ මට්ටමක ප්‍රමිතියකින් නිර්මාණයෙහි සාර්ථකත්වයට යොදාගෙන තිබුණි. දියණියගේ රංගනයට මව විසින් ගී ගැයීම ද මෙම චිත්‍රපටයේ අමරණීය සිනමා අවස්ථාවකි. සමිතා එරන්දතී, භාචි සුසාන් සහ දුමාල් වර්ණකුලසූරිය ආදීන්ගේ ගී ගායනා ද නළු නිළියන්ගේ භාවය හා කදිමට ගැළපීමෙන් චිත්‍රපටය තුළ නීරසක් නොදැනිනි. කිතුණු දේව යැදීම් සහ ස්තෝත්‍ර ගායනාවලදී පසුබිම් ගැයුම සමග රූපණයේ දෙතොල් සමනොවීමක් ප්‍රධාන කොට කිහිපවරකම දිටිමි. එය සිදුවීමෙන් චිත්‍රපටයට හානී වුවාදැයි කියනවාට වඩා රසිකයාගේ අවධානයට එම වැරැද්ද ක්ෂණයෙන් ස්පර්ශ වූ බව කීම සාධාරණය. සමස්තයක් ලෙස සලකාබලන කළ ජයන්ත චන්ද්‍රසිරිගේ “මහරජ ගැමුණු”, “සමනල සංධ්වනිය” ආදී ආසන්තම නිර්මාණවලට වඩා වෙනස් තේමාවකින් මානව ලාලසාවන් පුබුදුවාලු, අන්ධකාර විශ්වාසයන්ට වඩා සවිඤ්ඤාණය ප්‍රබල බව ඒත්තුගැන්වෙන “ඝරසරප” කාලීන අවකාශය තුළ අග්‍රේසර රූපකාව්‍යයක් බවත්,මතු අනාගත සිනමාවට ප්‍රබල ඉගි රාශියක් තිළිණ කළ පෝෂිත සිනමාවේ වැදුම්හලක් ලෙසත් සිංහල සිනමා වංශය මත වටිනා කෘතියක ලෙසින් ජනගත වනු නොඅනුමානය. මිත්‍යාව මතම යැපෙනවා වෙනුවට ආදරය විකල්පයක් කොටගෙන විශ්වාසය නිශ්වලව තබන්නවුන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටය “ඝරසරප” යැයි කීම අතිශය සාධාරණය.

සටහන : තාරුක පෙරේරා

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2