විශ්‍රාම යෑමට පසු ජීවිතය – அம்மணி (අම්මණි) – අනුෂා සිවලිංගම්ගේ සටහනක්

Avatar Nisanka Weheraduwa | August 24, 2018 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

උපුටනයකි.

සටහන : අනුෂා සිවලිංගම්

**********************************************************

அம்மணி කියලා කියන්නෙ දෙමළ සංස්කෘතියේ ආදරයෙන් පිරුණු නාමයක් මටත් මගේ තාත්තා ඉදලා හිටලා මෙහෙම කතා කරනවා. ඒ ආදරේ උතුරපු දෑසක් ඔහුට ලැබුණාම. මං හරි ආසයි එහෙම තාත්තා මට කතා කරනවා අහන්න. ඒත් දැන් මම කියන්න යන්නේ ඒ නාමයෙන් සැදුණු අමුතු ෆිල්ම් එකක් ගැන.
ජී යන දකුණු ඉන්දියානු දෙමළ භාෂා නාලිකාවක අධ්‍යක්ෂවරිය තමයි ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්. ඇයගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වුණු සාක්ච්ජාමය වාර්තා වැඩසටහ තමයි “කියන හැම දෙයක්ම ඇත්ත” වැඩසටහන. මේ වැඩසටහනට පැමිණි කාන්තාවගේ සත්‍ය කතාවක් ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරනවා. ඇය එහි ප්‍රධාන චරිතයත් රඟ දක්වනවා. චිත්‍රපටයේ නම අම්මණි. ඒත් ප්‍රධාන චරිතයේ නම සාලම්මා. අම්මණි කියන්නෙ අතුරු චරිතයක්. මේ අතුරු චරිතයේ අන්තර්ගතය තමයි සාලම්මා පසු දිනක අවබෝධ කරගන්නා ජීවන අවබෝධය වෙන්නෙ.

සාලම්මා වැඩ කරන්නේ රෝහලක. ඒ ආයා කෙනෙක් ලෙස. සාලම්මාගේ සැමියා මිය යාමෙන් පසු රැකියාව සාලම්මාට ලැබෙනවා. ඒ වැඩිමහල් පුතා අවු 7 දී සහ බාල පුතා අවු 5 දී සිටින විට. අමාරුවෙන් දරුවන් තිදෙනෙක්වම හදා වඩා ගෙන ඔවුන් දෙදෙනාට කසාද බන්දනවා. ඇය දිරිය ගැහැනියක්. මහන්සිය හිසට නොගන්නා ඈ ඇගේ දහදිය සුවඳට ප්‍රේම කරනවා. සෑමවිටම ඇගේ නළල දහඩියෙන් දිලිසෙනවා. ඒක හරියට අපි හැමෝම ආස කරන අපේ තාත්තාගේ දහදිය සුවඳ වගේ.

රැකියාව කරන රෝහලේ ණයක් ගෙන නිවස සාදනවා. තවත් පුංචි කාමරයක නිවෙසක් ඇයට තිබෙනවා. මේ කාමරයේ කුලියට නතරවෙලා ඉන්නේ අම්මණි. ඇයගේ වැඩේ රාත්‍රියට පාරේ තියන කුණු නැතිනම් පරණ බඩු එකතු කරන එක. ඒවා විකුණනවා. ඇය පෙනුවෙන් අතිශය මහළු ගැහැණියක්.

මේ අතරතුර සාලම්මාගේ මුණුපුරා (සාලම්මාගේ දුවගේ පුතා. ඇය සාලම්මාගේ කැමැත්ත පිටුපා විවාහයක් කර ගත්තා යැයි කියා ඇය සමඟ කිසිඳු කතා බහක් සාලම්මාට නැත) එනවා. හැමෝම කියන්නෙ මේ ඇවිත් තියන්නේ මොනවහරි ඉල්ලන්න කියලා. මමත් හිතුවා මොකද්ද ඒ කියල. චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිත්තු 90 කට. මැදක් හරියේ තේරෙනවා ඒ මොකද්ද කියලා. සාලම්මාගේ විශ්‍රාම ගාස්තුව. මුණුපුරා ඇවිත් තියෙන්නේ අධික ණය බරින් තිබෙන ඔහුගේ පවුල නිසා. ඔහු සුදානම් වෙන්නේ පිටරට රැකියාවකට යන්න සාලම්මාගේ විශ්‍රාම ගාස්තුව ඉල්ලගන්න. වරෙක ඔහුව එය සාලම්මාට කියනවා. එය අසන සාලම්මා අධික ලෙස දුක් වෙන්නෙ අනෙත් දරුවන් සේම ඔහුත් මේ ගාස්තුව නිසා ඇයට ආදරෙන් සිටීම ගැන. මේ අතරතුර නිවෙස ලියා ගන්න බාල පුතා බොරු ආදරයක් පෙන්වනවා. විටෙක කවදාවත් පයින් එන අම්මාව ත්‍රිවිලයට නොනග්ගවා ගන්නා ඔහු නිවස ලියා දෙනවා යැයි කියූ විට ත්‍රිවිලයට නගින්න මං ගිහින් ගෙදර බස්සනම් යැයි කියනවා. එවිට සාලම්මාගේ මුවින් පැමිණෙන හැගීම අපූරුවට හසු කරගන්නේ චිත්‍රපටියේ කමරාශිල්පියා ඉම්රාන් අහමත්. ඒ පෙන්වන හැගීම ව්‍යාජ ආදරය හා මුදල් අතර තිබෙන තීව්‍ර සහසම්බන්ධය පෙන්වනවා.

ඒ අතර තවත් කතා ගොඩක් වෙන්න එක් අවස්තාවක බාල පුතා සහ වැඩිමහල් පුතා අතර වන පුංචි රණ්ඩුවකදී, වැඩිමහල් පුතාට නිවෙසින් එළියට යන්නැයි බාල පුතා කියනවා. එවිට වැඩිමහල් ලේලි සාලම්මාට දොස් කියන විට සාලම්මා කියන්නෙ කාමරයක් තරම් වූ නිවෙස ඔවුන්ට ලියා ඇති බවයි. වැඩිමහල් ලේලි “ අපි යන්නම් එහෙ. ඒත් උඹ විතරක් අඩිය තියන්න එන්න එපා. බාල පුතා “ ඒ කොහොමද මගේ ගෑනිටයි අම්මටයි එකට ඉන්න බෑ. අම්මා එහේ තමයි ඉඳීවි”

සියල්ල අවබෝධ කරගත් සාලම්මාගේ බුද්ධිය සහ සිත කඩා වැටෙනවා. වැළපෙනවා. හරි මං මෙතෙක් කිව්වේ නෑනේ අම්මණි ගැන. අම්මණි තමයි ජීවිත දර්ශනයේ සංකේතය. ඇයට දරුවෝ නැහැ. ඇගේ සැමියා ආදරෙන් මෑව බලාගත්තලු. ඔහු මිය ගියාලු. ඔහු අතේ පැළඳ සිටී මුද්ද අම්මණි මාලයක් විදිහට දාගෙන ඉන්නෙ. ඒ එයාව මතක් වෙන්නලු. සාලම්මට කියනවා ඈ, “අය්යෝ ජීවිතය සරලව හිතන්න. බලාපොරොත්තු නැතිව සිටියොත් දකින හැම කෙනාම නෑයින් තමයි” මේ සිනමා කෘතියේ ප්‍රබල ඩයලොග්ස් තියෙන්නෙ.

“කණ්ණ මූඩිට්ටා, අනාදයා පොරෝමා?, ආරවාරමා පොරෝමා? නු තෙරියවා පොගුදු” (“ඇස් වහගත්තොත්, අනාථක් විදිහට යනවද, තොරණේ යනවද කියලා බලාගෙන ඉන්නෙ නෑනේ”)
අන්ද වෙලිච්චම් පෝනා, නම්බ නිළල් කූඩ නමකු සොන්දම් ඉල්ල” (“අර එළිය නැති වුණොත්, අපේ සෙවණැල්ලවත් අපිට අයිති නෑ”)

ඇය සල්ලි හොඳට උපයා පුංචි දරුවන්ට කෑම අරන් දෙනවා. ඇය ඔළුව පීරන විට කණ්ණාඩිය බලා කියන්නෙ ඇයට අතිශය තරුණ සිංදු. විටෙක ඇය කියන්නෙ එම්.ජී. ආර්ගේ සිංදු නෙමෙයි,සූර්යාගේ “මුන්බේ වා, එන් අන්බේ වා” සිංදුව. ඒ සිංදු කියලා ඈ සතුටු වෙනවා.

සල්ලි අතේ නැති විට නැති නෑකම් සල්ලි තිබෙන විට එන බව අම්මණි දන්නවා. ජීවිතයේ අනිත්‍ය හින්දූන්ටත් වඩා මේ අම්මණි අවබෝධ කරගෙනයි ඉන්නෙ.

අම්මණි වගේ වෙන්න අමාරුයි. මොකද බැඳීම් අපිව ගැටගහගෙන ඉන්නෙ මහා කබයකින්. අපිත් හරියට සාලම්මලා වගේ. හැබැයි අවසානයේ කවදා හෝ අපිත් අම්මණි වගේ වෙයි. ඒ මැරෙන්න මොහොතකට කළින් වෙන්නත් පුළුවන්.

මේ චිත්‍රපටයේ අවසානය මරණයක්. ඒ අම්මණි ද? සාලම්මාද? නැතිනම් වෙන කෙනෙක්ද? එහෙමත් නැත්නම් අපේ ආශාවන්ද? චිත්‍රපටය බැලුවොත් දැනගන්න පුළුවන්.

– අනුෂා සිවලිංගම් –

Share

4 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.