විශිෂ්ටයෙකුගේ අවසාන James Bond රංගනය

Avatar Nisanka Weheraduwa | October 25, 2021 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

බ්‍රිතාන්‍ය නළු Daniel Craig, ඔහු රඟපෑ “James Bond” චරිතය නිසාම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුනා. 1992 සිටම ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වුවත් ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වූයේ 2006දී Casino Royale චිත්‍රපටයත් සමඟයි. ඒ ඔහු රඟපෑ පළමු james bond චිත්‍රපටයයි. එතැන් සිට චිත්‍රපට පහක් පුරාවට මේ බ්‍රිතාන්‍ය MI6 රහස් පරීක්ෂකයාගේ චරිතය නිරූපණය කළ Daniel Craigට ලෝ පුරා දැවැන්ත රසික ජනප්‍රියත්වයක් හිමි වුනා. ඒ වගේම ඔහු රඟපෑ චිත්‍රපට සියල්ලම අති-සාර්ථක ආදායම් වාර්තා සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තා. අද වන විට බ්‍රිතාන්‍ය වාණිජ සිනමාවේ සලකුණක් ලෙසත් ඇතමුන් Daniel Craigව හඳුන්වනවා.

Daniel නිරූපණය කරන James Bond නැමැති සිනමා චරිතය, බුද්ධිමත් සහ දක්ෂ බ්‍රිතාන්‍ය නිල රහස් පරීක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කමාන්ඩ’වරයෙක් විදිහටත් චිත්‍රපටයේ හැඳින්වෙනවා. ඉතින් James Bond චරිතය නිරූපණය කරන Daniel Craigටත් පසුගියදා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් කමාන්ඩර්’වරය ප්‍රදානය කළා. ඒ ඔහු බ්‍රිතාන්‍යය වෙනුවෙන් සිදු කළ සේවයට ගෞරවයක් විදිහටයි. මේ සිදුවීමත් සමඟ Daniel Craig සහ ඔහු සිනමාවේ නිරූපණය කරන චරිතයත් තනතුරින් එක සමාන මට්ටමට පැමිණියා. ඔහුව මෙම ගෞරව නිලය පිරිනැමුවේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ඉහළම නිලය දරන නාවුක නිලධාරීවරයා වන First Sea Lord Admiral Tony Radakin විසිනුයි. 2006 වසරේ සිට 007 චරිතය වෙනුවෙන් කැපවූ මෙවැනි දක්ෂ රංගන ශිල්පියෙකුට උපහාර පුදන්නට ලැබීම තමන්ට සතුටක් බවත් Tony Radakin ප්‍රකාශ කර තිබෙනවා.

“Daniel Craig is well known for being Commander Bond for the last 15 years, a naval officer who keeps Britain safe through missions across the globe.”

ඩැනියෙල්ගේ සිනමා රංගනය පිළිබඳව ඔහු එසේ වැඩිදුර අදහස් පළකළා. බොහෝ සිනමා විචාරකයින් පවසන්නේ මෙම James Bond චරිතය නිසා ලෝ පුරා සිනමා රසිකයින් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට සහ රාජකීය නාවුක හමුදාවට ඇලුම් කරන්නට පටන් ගත් බවයි. තමන් වසර ගණනාවක සිට නිරූපණය කරන චරිතය නිසා ලැබුණු මේ ගෞරවය බොහොම වටින එකක් බව රංගන ශිල්පී Daniel Craig මාධ්‍යයට පවසා තිබුනා. මේ වනවිට James bond චිත්‍රපට හතරකට රංගනයෙන් දායක වී ඇති Daniel Craigගේ පස්වන සහ අවසාන 007 සිනමාපටය වන No Time to Die පසුගියදා නිකුත් වුනා. පැය 2 මිනිත්තු 43කින් යුතු මේ චිත්‍රපටය තමයි දැනට නිකුත් වුණු වූ 007 චිත්‍රපටි අතුරින් දීර්ඝතම චිත්‍රපටය විදිහට හැඳින්වෙන්නෙත්. Cary Joji Fukunagaගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි තිර පිටපත රචනා කළේ Neal Purvis විසින්. Daniel Craigට අමතරව Rami Malek, Lea Seydoux, Lashana Lynch සහ Ben Wihshaw වැනි ප්‍රධාන පෙළේ රංගන ශිල්පීන් ගණනාවක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ James Bond චිත්‍රපට මාලාවේ 25වන දිග හැරුමයි.

ඩොලර් මිලියන 250කට අධික නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ මෙම චිත්‍රපටය මෑතකාලීන බ්‍රිතාන්‍ය සිනමාවේ වැඩිම පිරිවැයක් යොදා නිමකළ චිත්‍රපටයක් විදිහටත් හඳුනා ගැනෙනවා. චිත්‍රපටයේ වැඩ කටයුතු 2016 තරම් ඈතකදී ආරම්භ වීම තුළින්ම මෙය කෙතරම් දැවැන්ත ව්‍යාපෘතියක්ද යන්න පැහැදිලි වනවා. මුලදී මෙහි අධ්‍යක්ෂකවරයා ලෙසින් ගිවිසුම් ගත වුණේ Slumdog Millionaire, 127 hours, Yesterday වැනි චිත්‍රපට නිර්මාණය කළ Danny Boyle වුණත් පෙර-නිෂ්පාදන කටයුතුවල යම් යම් ගැටළු නිසා ඔහු ඉන් ඉවත් වී තිබෙනවා. Cary Joji Fukunaga අධ්‍යක්ෂකවරයා විදිහට එකතු වන්නේ ඉන් පසුවයි. James Bond කතාමාලාවේ පළමු වතාවට 65mm IMAX කැමරා use කරන්නෙත් No Time to Die චිත්‍රපටය තුළයි.

මෙහි ක්‍රියාදාම දර්ශන රූපගත කරන අතරතුරදි Daniel Craigට යම් අනතුරු කිහිපයකට මුහුණ දීමට සිදුවූ බවත් හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් චිත්‍රපටය මුලදී සිනමාශාලා ප්‍රදර්ශනයට නිකුත් වන්නට තිබුනේ 2020 අප්‍රේල් මාසයේදීයි. නමුත් ලෝකයටම බලපෑ කෝවිඩ් වසංගතය නිසා බොහෝ කාලයක් එය ප්‍රමාද වුනා. එමෙන්ම පසුගිය Grammy සම්මාන උළෙලේදී Best Song written for Visual Media අංශයෙන් ජයග්‍රහණය කළේත් No Time to Die සිනමාපටයයි. ඒ Billie Eillish ගායනා කළ මෙහි තේමා ගීතය වෙනුවෙනුයි.

Share

69 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.