විසාකේස, පාංශු චිත්‍රපට කණ්ඩායම සමග Pune යයි
නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ ලංකාවේ සිනමාව ඇතුලේ වෙනස් විදිහේ දේවල් කරන්න උත්සහ කරන අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වුනු “සයපෙති කුසුම” හරහා ඔහු දේශීය සිනමාවට අලුත් මාතෘකාවක් පිලිබඳ සාකච්චාවක් ගොඩනගන්න උත්සාහ කළා. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයත් දැන් තිරගත කිරීමට සුදානම්. මේ දිනවල විසාකේස ඉන්නේ ඉන්දියාවේ. ඒ, Pune International Film Festival 2019 සඳහා සහභාගී වෙමින්. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වන “පාංශු” එහි තරගකාරී අංශය නියෝජනය කරමින් තිරගත වනවා. මිට පෙර දෙරණ “හෙට දවසේ සිනමාව” සිනමා උළෙලේදී චිත්‍රපටයේ world premier දර්ශනය පැවැත්වූ විසාකේස, එහි International Premier දර්ශනය කැනඩාවේ මොන්ට්‍රියෙල් සිනමා උළෙලේදී පැවැත්වුනා. දැන් සිනමාපටය ලොව වටා සිනමා උළෙල කිහිපයකටම යොමුකොට ඇති බවත් සඳහන්. ඒ අනුව මේ දිනවල පූනේ අන්තර්ජාතික සිනමා උළෙලේ එය ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපට කණ්ඩායම ඉන්දියාවට ගොස් තිබෙනවා.
“අපේ රටේ විවිධ කාලවල තරුණ අරගල ඇති වුනා. 1971 කැරැල්ල සහ 88,89 කාලය මින් විශේෂයි. නමුත් මේ තරුණ අරගල, එහි පසුබිම සහ ඒ හරහා සිදුවුණු ජන සංහාරය අපේ සිනමාවට මගහැරිලා කියල මට හිතුනා. ඒ නිසා අන්න ඒ මහා ජන සංහාරය ගැන චිත්‍රපටයක් කරන්න මම තීරණය කළා. ඒ විදිහටයි පාංශු නිර්මාණය වුනේ. ඒ සියල්ල අමතක වෙලා වගේ අවු 30කට ආසන්න කාලයක් අපි ජිවත් වුනත්, තවදුරටත් එහෙම නිද්‍රා සහගතව ඉන්න මට පුළුවන් කමක් නැහැ, ඒ නිසා මගේ කලා මාධ්‍ය ඇතුලේ මට හැකි මැදිහත්වීම කරන්න මම තීරණය කළා. ඒ තුළ, යමක් කරන්න මට හැකිවුනා කියල විශ්වාස කරනවා.” අධ්‍යක්ෂ විසාකේස, චිත්‍රපටය පිළිබඳව cinema.lk සමග පිළිසඳරකදී ප්‍රකාශ කළා.
Written by Nisanka Weheraduwa